FB_IMG_1634090966923

” මහින්ද මහත්තයා වශි තෙල් ටිකක් මුගෙ ඇඟේ ගාන්න ඇති.”

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ ස්ටාලින් සිටින චායාරූපය මා මිතුරියකට යැවු විට ඒ ඇය මට ලියා එවූ පිළිතුරයි.

මගේ මතකය නිවැරදි නම් ඒ ලාල්කාන්ත සහෝදරයාගෙ මවගේ අවමඟුල් දිනයයි. එක්වරම එහි පැමිණියේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමායි.

මහින්ද එන බව දැනගත් සැනින් ජනතාව සමග කතාබස් කරමින් සිටි අනුර කුමාර දිසානායක අතුරුදහන් විය. මහින්ද පැමිණ සියල්ලන් සමග කතාබස් කර පිට වී සුළු මොහොතකින් දහඩියෙන් බත් වී මකුළුදැල් පිහිදාමින් එන අනුරය.

” කොහෙද සහෝදරයා ගියේ..? ” එතැන සිටි අයෙක් ඇසුවේය.

” මම මෙතන ඉන්නවා දැක්කා නම් ජනාධිපතිතුමා ඇවිත් මාව බදාගන්නවා. ඊටපස්සෙ වටේම ඉන්න පත්තරකාරයො ටික ඕක අරගෙන ෆොටෝ දැම්මාම මට පාරෙ බැහැලා යන්න බැරි වෙනවා ”

අනුර කුමාර මහින්ද පිටව යන තුරු ගෙදර ගබඩා කාමරේ සැඟවිලා ය.

ඒ තමයි මහා වශී බන්ධන මහින්ද…

තවත් වරක් එජාපයෙන් චන්දය ඉල්ලූ උපුල් ශාන්ත සන්නස්ගල වේදිකාවල මහින්දව පතුරු ගැසුවේය. එහෙත් එක්වරම හෘදයාබාධයක් හැදුණ ඔහු බයිපාස් සැත්කමකින් පසුව දිවි ගලවා ගත්තේය.

පසු කලෙක ඔහු පුවත්පතකට ප්‍රකාශ කර සිටියේ.

” උපුල්. ඔහේට වෙන්න ඕනම දෙයක් තියෙනවානම් මට කියන්න. ලංකාවෙ ඔහේව හොඳ කරන්න බැරිනම් ලෝකෙ කොහේ හරි ගෙනියලා මම ඔහේව හොඳ කරනවා. මහින්ද මහත්තයා මට එහෙම කිව්වා. ඒත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තවම මගෙන් මොනවද උනේ කියලා ඇහුවෙ නෑ..”

ඒ තමයි මහා වශී බන්ධන මහින්ද..

” එදා මම කකුල උස්සගෙන ඇවිද්දින්නවත් බැරුව එක්තැන් වල ඉන්නකොට ඒක පත්තරෙන් දැකලා මහින්ද මහත්තයා මාව අරගෙන ගිහින් බෙහෙත් කලේ නැත්නම් අද ලසිත් මාලිංග කෙනෙක් නෑ ”

ලසිත් මාලිංග කිව්වෙ එහෙමයි.

ඒ තමයි මහා වශී බන්ධන මහින්ද..

මහින්ද 2006 පක්ෂෙන් නෙරපූ මංගල සමරවීර සමග යාළුකම මංගල මිය යන තෙක්ම තිබුණා. විරුද්ධ දේශපාලන මත දරන අයට මහින්ද හතුරෙක් වෙන්නැති ඒත් මහින්දගෙ හිතේ හතුරො හිටියෙ නෑ. පක්ෂ විපක්ෂ කලාකාරයො, ක්‍රීඩකයො, මාධ්‍යවේදීන්ට උදෙන්ම සුබ පැතුම එන්නෙ මහින්දගෙන්.

ඒ තමයි මහා වශී බන්ධන මහින්ද…

2015 මහින්ද මහත්තයාව පරද්දලා තමන්ගෙ දරුවො, සහෝදරයො පවා හිරේට යැව්ව සිරිසේන ජනාධිපතිවරයා ගැන ඇති වූ කතාබහකදි අසල සිටි අයෙකු ” සිරිසේන ” කියා පැවසු සැණින් මහින්ද කියා සිටියෙ ඔහුට එහෙම කතා නොකරන ලෙසයි. තමන්ගෙ දරුවොනගෙ දෑතට විලංගු දැම්ම සිරිසේනගෙ දියණය සමග මහින්ද කතා කරේ දෙඅතින් අල්ල ගෙන.

ඒ තමයි මහා වශී බන්ධන මහින්ද…

වසර හතළිහකට පනහකට එහා තමන්ට හමු වූ පුංචිම මිනිහෙකුට පවා මහින්ද මහත්තයා අදටත් ඔහුගෙ නමින් කතා කරනවා. ඒ PR එක පට්ටයි.

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ බිහි වූ දැවැන්තම දේශපාලන පෞරුෂය තමයි මහින්ද, මහින්ද මහත්තයා, මහින්ද අයියා. ඒ හිත හොඳ කම හින්දා තමයි මහින්ද 2015 ගෙදර ගියේ. ඒ හැමදාම ඔහු තමන්ගෙ එවුන්ව ආරක්ෂා කරපු නිසා.

දේශපාලන වේදිකාවල, පාර්ලිමේන්තුවෙ මහින්දට බනින මිනිස්සු මහින්ද මූනට මුන හමු උනාම ඇඹරෙන්නෙ ප්‍රින්සිපල් ඉස්සරහා ඉස්කෝලෙ කට්ටි පැනලා අහුවුන ලමයි වගේ.

ඒ තමයි මහා නීච වශී බන්ධන මහින්ද…

එහෙව් මහින්ද ඉදිරියෙ ස්ටාලින් ඇඹරෙන එක අහන්න දෙයක් නෙවේ. මහින්ද පිටට තට්ටු කරා කියන්නෙ ඉතිං බඩුම තමයි.

නිලන්ත සත්සර ගමගේ ✍️

About The Author

Leave a Reply