1634477536544-01

පිටරට සේවය කරන මගේ පාසල් මිතුරෙක් මගෙන් ඇහුවා මම ජනපති නම් මේ ඩොලර් අර්බුදයට මොකද කරන්නේ කියා.

එය හොඳ ප්‍රශ්නයක්.

මම කීවා මම ජනපති වුණත් වෙන අයෙක් ජනපති වුණත් විශ්වකර්ම විසඳුම් නැහැ කියා. අපට ප්‍රයෝගිකව කළ හැකි දේ මම කරනවා කියා.

මොනවාද ඒ?

අපට විදේශ විනිමය ලැබෙන්නේ ක්‍රම තුනකින්.

1) ලංකාවේ සම්පත් සහ නිෂ්පාදන අපනයන කිරීමෙන්
2) විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීමෙන්
3) සංචාරකයන් ලංකාවට පැමිණ වියදම් කිරීමෙන්.

මම යෝජනා කරන විසඳුම්:

1) ලබන වසර “අපනයන වර්ෂය” ලෙස නම් කර හැකි සෑම අයෙකුම හැකිතරම් අපනයනය කිරීමට සැලසීම. ඒ සඳහා දැනට ඇති විවිධ නීතිමය බාධා වසරකට අත්හිටුවීම.
අපනයන ප්‍රවර්ධන මණ්ඩලයට වැඩ කරන්න පුළුවන් නූතන තාක්ෂණය සහ අන්තර්ජාතික වෙළෙඳපොළ ගැන දන්නා කණ්ඩායමක් පත්කිරීම. මෙය කිරීමේදී 20% පමණ අකටයුතුකම් විය හැකියි.
නමුත් මේ අර්බුද අවස්ථාවේ එම අවදානම ගත යුතුය (risk acceptance). කුඩා ප්‍රමාණ ඇති අයගෙන් එකතු කර විශාල ප්‍රමාණ හදා අපනයනය කිරීමට අතරමැදියන්ට අවසර දීම (aggregation).
මෙයින් යම් විදේශ විනිමය ආදායමක් ඉදිරි වසරේ ලබා ගත හැකිය.
කිසිම තේරුමක් නැති බොරුවට කාලය කා දමන අවසර අනුමැති දීමේ පටිපාටි වසරකට නවතා දැමිය යුතුය.

2) හැකි සෑම අයෙකුටම විදෙස් රැකියා සඳහා යාමට උනන්දු කරවීම.
වසර දෙකකට විදෙස් රටක සේවය කිරීමට සියලු රජයේ සේවකයන් නිදහස් කිරීම.
එම සේවයට වරප්‍රසාද දීම.
උදාහරණයක් ලෙස වෛද්‍යවරුන්ට පිටරට සේවය කිරීමෙන් සිය රාජ්‍ය සේවා කාලය අඩු වීමේ ප්‍රතිපත්තිය වසර දෙකකට ඉවත් කිරීම.
රැකියා සඳහා යන අයට හැකි තරම් වරප්‍රසාද දීම.

3) විදේශ විනිමය අනුපාත පාලනය නොකිරීම.
මෙමගින් විදෙස්ගත ශ්‍රමිකයන් අනීතික ක්‍රමයට මුදල් එවීම වැලැක්විය හැකිය.
වෙනත් හේතු නිසා එසේ කිරීමට නොහැකි නම් අඩුම තරමින් ඔවුන්ට ලංකාවේ බැංකු හරහා මුදල් එවීම දිරිමත් කිරීමට අනාගතයේ ප්‍රතිලාභ ලැබෙන බැඳුම්කර වැනි අලුත් මූල්‍ය මෙවලම් ඉදිරිපත් කිරිම.

4) සංචාරකයන් ගෙන්වා ගැනීම.

5) අන්තර්ජාලය හරහා සේවා සපයා විදෙස් විනිමය උපයන freelancer ලාට හැකි තරම් පහසුකම් සැපයීම.
ඔවුන්ගේ ප්‍රේරණ සඳහා අනාගතයේ ප්‍රතිලාභ ලැබිය හැකි මූල්‍ය මෙවලම් හඳුන්වාදීම.

දැන් මේ ආකාරයට හෝ වෙනත් ක්‍රමයකින් හෝ උපයා ගන්නා විදේශ විනිමය අරපරිස්සමින් වියදම් කළ යුතුය. මෝඩ මන්ත්‍රිලාට වාහන ගෙන්වීම,කකූල් දෙකේ වහු පැටවුන්ට පිටිකිරි ගෙන්වීම, ටික් ටොක් මල්ලිලට අයිෆෝන් ගෙන්වීම වැනි අධිපරිභෝජනවාදී කාමසුඛල්ලිකානු විලම්බීත වැඩ වලට අමාරුවෙන් උපයාගන්නා විනිමය වියදම් නොකර රටේ ආහාර නිෂ්පාදනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා හැකි තරම් දියුණු කිරීමට පමණක් එම විනිමය වියදම් කළ යුතුය.
ලංකාවට දරාගත නොහැකි සංවර්ධන පඩශෝ වලට ගත් ණය ගෙවීමට විදෙස්ගත ශ්‍රමිකයන් හම්බ කරන මුදල් නාස්ති නොකළ යුතුය.

මේ මා මගේ මිතුරාට දුන් පිළිතුරයි.
මම ජනපති නම් කරන්නේ මේවාය.
අලුතෙන් හිතන්න පුළුවන් දක්ෂ මිනිසුන් එකතු කරගෙන මේවා ඉක්මණින් සැලසුම් කර ජනතාව දැනුවත් කර ඒවායේ දුර්වලතා විසඳා ඒවා ක්‍රියාත්මක කරමි.
මේ සියල්ල මම විසින්ම සිතූ ඒවා නොවේ.
තවත් අයත් මේවා සිතා ඇත.
මෙයට වඩා හොඳ යෝජනාද තිබිය හැකිය.
වසර දෙකක් පමණ අපට මෙම අර්බුදයට මුහුණ දී එකමුතුව එය ජයගත හැකිය.
ධර්මය අපට මග වේවා!

-එරන්ද ගිනිගේ –

About The Author

Leave a Reply