FB_IMG_1636552945410

සාලුමරද තිම්මක්කා යනු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සිටින අවුරුදු 110ක් වයසැති පරිසරවේදිනියකි. ඇයට තමන්ගේ ම කියා දරුවෙක් සිටියේ නැත. ඒ නිසා ඇය නුග ගස් 400කට මවක් වුනා. මේ නිසා ඇයව ‘වෘක්ෂ මාතාව’ යනුවෙන් ඉන්දියානුවන් හදුන්වනවා.

මේ නුග ගස් 400ට අමතරව ඇය තවත් ගස් 8000කට අධික ප්‍රමාණයක් පසුගිය වසර හැටක කාලය තුල දී සිටුවා තිබෙනවා. බොහෝ දෙනා ඇය පිලිබඳව උනන්දු වූයේ ඇය හුලිල් සහ කුඩුර් ගම්මාන දෙක අතර කිලෝමීටර් හතරක් යා කරමින් නුග ගස් 400ක් සිටුවීම නිසයි.

ඇයට කුඩා කාලයේ දී ආර්ථික අපහසුතා තිබූ නිසා පාසල් අධ්‍යාපනයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඇය වයස අවුරුදු දහයේ පටන් තම නිවෙස කිට්ටුව පතලක කම්කරුවෙක් ලෙසින් රැකියාවේ නියැලුනා. ඉන් වසර කිහිපයකට පසු ඇය විවාහ වෙනවා.

විවාහ වී වසර විසි පහක් ගත වුනත් මේ දෙපළට දරුවන් ලැබුනේ නැහැ. මේ හේතුව නිසා බොහෝ දුක් පීඩා විඳි ඇය වයස අවුරුදු හතලිහේ දී සියදිවි නසාගැනීමට පවා තැත් කලා.

දරුවන් නොමැතිව දුකට පත් වී සිටි යුවළ දුක තුනී කර ගැනීමට අලුත් උපක්‍රමයක් භාවිතා කලා. මේ දෙදෙනා සැමදාම උදයෙන් ම නැගිට නව ගස් සිටුවීම, ගස් වලට පොහොර දැමීම හා වතුර දැමීම සිදු කලා. ක්‍රමක්‍රමයෙන් මෙය ඔවුන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත්වී දවසේ වැදගත් ම මෙහෙවර බවට පත්වුනා.

තමන්ට දරුවන් නොසිටි නිසා ඇය තම ජීවිත කාලය පුරාවට ම ගස් තමන්ගේ දරුවන් ලෙසින් රැකබලා ගත්තා. තිම්මක්කාගේ මේ අනුන් ගැන සිතන ගුණාංගය නිසා 2019 වසරේ දී ඇයට පද්ම ශ්‍රී සම්මානය පවා හිමිවුනා.

වර්තමානයේ දී තිම්මක්කාගේ නමින් අරමුදලක් තිබෙන අතර එම මුදල් පරිසරය රැකගැනීමේ ව්‍යාපෘති, පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා ඇති අයට පහසුකම් සැලසීම වෙනුවෙන් යොදාගනු ලබනවා. ඇය තමන්ගේ වයස නොතකා තමන් ජීවත් වන ගමේ මිනිසුන්ට වැසි ජලය එකතු කර වැවක් සෑදීම සඳහා ද කටයුතු යොදමින් සිටිනවා.

මහා පරිමාණයෙන් පරිසරය වෙන හානිය ඒවා වළක්වන්නේ කොහොමද කියලා බොහෝ ස්ථාන වල මිනිසුන් කතාබහ කිරීමට පෙළඹෙනවා. නමුත් තනි තනිව කල හැකි දේ ගැන ඔවුන් සිත යොමු කරන්නේ නැහැ. සාලුමරද තිම්මක්කා වචනයෙන් නොකියා ඒ දේ කරලම පෙන්වූවා.

ඒ විතරක් නෙමේ, ඇය ඔප්පුකරලා පෙන්නුවා මව්පදවිය තීරණය වෙන්නේ අපි ඒක නිර්වචනය කරන විදිහ අනුවයි කියලා… !

~ ඩියෝන් මිතිල ප්‍රනාන්දු ~

About The Author

Leave a Reply