
නිකිනි ඇගේ විවාහයෙන් පසු ගෙවන අපහසුම සමය උදා වූයේ ආකාශ් ගේ මහගෙදර පදින්චියට යෑමෙනි. ගත වූ වසර පහලොවක කාලය තුල ඇය මව් සෙනෙහස නොලැබ විදි අසීමිත වේදනාව හමාර බව ඇය ඇගේ හදවතට කියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. නමුත් ආකාශ්ගේ මව ඇයට මවක් වීමට පෙරම නැන්දම්මා ලේබලය ඇගලා සිටියාය.
විවාහ උත්සවයේ දී නිකිනිගේ මව පිළිබඳව නැගුන කසු කුසුව තවමත් ආකාශ් ගේ මවගේ මතකයක් අතර රැව් දෙමින් තිබිනි.
නිකිනිව සාදරයෙන් පිලිගන්නවා වෙනුවට ඇය, නිවස පිටුපසට වී කල් මැරුවේ හිතේ උපන් කේන්තියකිනි.
මවගේ වෙනස දුටු ආකාශ්, නිකිනිව නිවස තුළට රැගෙන ගියේ සිදුව ඇති දෙය නොදැනය. දින කිහිපයක් ගතව ගියද ආකාශ් ගේ මව නිකිනි සමග සුහදත්වයෙන් සිටීමට උත්සාහ නොගැනීම පිළිබඳව ආකාශ් ගේ සිත තුළ ඇති වූයේ කුතුහලයකි. විවාහයට පෙර නිකිනිත් මවත් අතර තිබූ සුහදත්වය මැකී ගොසිනි. නිකිනිගේ බතට වතුර වැඩිය, හොද්දට ලුනු වැඩිය, තේ එකට කහට වැඩිය, අතු ගෑ මිදුලේ රටා නැතිය. මේ ඇයට මව නගන මැසිවිලිය.
ආකාශ්ගේ ඉවසීම වැට කඩොලු පැන ගිය සවසක ඔහු , මවගෙන් මේ පිළිබඳව විමසීමට සිතා ගත්තේය.
ඇයි අම්මෙ ඔයා ඔහොම නිකිනිට නපුරු වෙන්නෙ.
ඇයි උබට ඒකි එහෙම කිව්වද?
මව ඇසුවේ නොරිස්සුම් බැල්මක් හෙලමිනි.
මොකක්ද අම්මා ඔයා ඔය කතා කරන විදිය. මම වෙනම ඉමුයි කියද්දි නිකිනිටයි ඕන කලේ අම්මා එක්ක ඉන්න.
ඇත්තද පුතේ. ඒකිත් ඒකිගෙ අම්ම වගේම කපටි ගෑනියක්
අම්මා….. මොනාද මේ කියන්නෙ. නිකිනිට ඇහෙයි.
ඇහුනාවෙ. මට මොකද. මේක මගෙ ගෙදර. මගුලට කලින් ඕකුන්ගෙ පැටිකිරිය දැන ගත්ත නම් පුතේ, මම කීයටවත් මේ මගුලට කැමති වෙන්නෑ.
මව කීවේ ශෝකයෙනි.
මොකක්ද අම්මා පැටිකිරිය.
ආකාශ්, උඹ දන්නැද්ද ඔය කෙල්ලගෙ අම්ම මැරුනෙ ඇයි කියලා.
අම්මා ඒව පරන කතා.
ඒ ගෑනි කරපු සේරම එදා මේකිගෙ නැන්දල මාමල හරි ලස්සනට අපේ නෑයො ඉස්සරහ දිග ඇරිය. රට රටවල් ගානෙ ගිහින් කොරන් ආපුව. ලෙඩ හදන් මැරුන හැටි.
මෙතෙක් සියල්ල සාවදානව අසා සිටි නිකිනිගේ ඉවසුම් නැති වූයේ ඇගේ අවසන් වචන පෙළ හමුවේය.නිකිනිගේ දෙනෙත් කදුලෙන් තෙත් විය.
අම්මා….
නිකිනි ඔවුන් වෙතට පැමිනියේ දෑසින් වැටෙන කදුලු කැට පිස දමමිනි
ඒ කතාව ඇත්තක් නෙවෙයි.
නිකිනි හැඩුම් අතරින් වදන් තෙපලුවාය.
මීට අවුරුදු ගානකට කලින් මගෙ අම්මව රට රස්සාවක් හොයල හදිස්සියේම රට යැවුවෙ ඔය නැන්දල මාමලම තමයි. ඒ මගෙ තාත්තගෙ අක්කල නන්ගිලා.
මගෙ අම්මට මාවවත් තාත්තවත් දාල රට යන්න කිසිම කැමැත්තක් තිබුනෙ නෑ. ආච්චි නිතරම තාත්තට කරදර කරා අපි හිටපු තැනින් යන්න කියලා. අප්පච්චිටත් කුලී වැඩ මිසක රස්සාවක් තිබුනෙ නෑ. මට ඒ කාලෙ කිසි දෙයක් නොතේරුන කමට මම කැමති වුනා අම්මා රට යනවට. රටින් ගේන ටොෆි, චොකලට් වලට වඩා අපට ලස්සන ගෙයක් හදාගන්න. රට රස්සාවල බරපතලකම මට හරියට නොතේරුනාට ඒක තාත්ත හොදටම දැනගෙන ඉන්න ඇති. අම්මා ගිය දා ඉදල තාත්තා කවදාවත් හරියට නිදා ගන්නව මම දැකල නෑ. අම්ම එවන ලියුම් දිග ඇරන් එලියට වෙලා හූල්ලනවා.
අම්මව ආපහු ගෙන්නගන්න තාත්ත නොකරපු දෙයක් නෑ. එයාගෙ සන්තකටම තිබුන බයිසිකලයයි මගෙ කනේ තිබුන කරාබු දෙකත් නැන්දලටම උකස් උනා. අම්ම එද්දි ටොෆි චොකලට් ගෙනෙයි කියල මම ආසාවෙන් බලන් හිටියට එයා ආවෙ හිස් අතින්. අරන් ගිය ඇදුම් බෑග් එකවත් එයාගෙ අතේ තිබුනෙ නෑ. ආව දවසෙ ඉදල තාත්ත අම්මව දොස්තරල ලගට අරන් යනවා. අම්ම හරියට කෑවෙ බිව්වෙ වත් නෑ. නැන්දල කවදාවත් අම්මව බලන්නවත් ආවෙ නෑ. දවසක් මන් ඉස්කෝලෙ ගිහින් එද්දි අම්ම වත්ත පහල බාගෙට බැදපු ලිද ඇතුලට කකුල් දාගෙන ලින් බැම්ම උඩ ඉදගෙන අඩ අඩ හිටිය. රට යනකොට හිටපු අම්ම නෙවෙයි ආපහු ආවෙ කියල මට හොදටම දැනුන. මම ගොඩක් බය වුනා අම්ම ලගට යන්න.
ඔය සිද්ධිය වුන දවසෙ අම්මා නැන්දලගෙ ගෙදර ඉදල ආවෙ අඩ අඩ. මොනවා වුනාද කියල මම දැනගෙන හිටියෙ නෑ. හවස තාත්ත ගෙදර එද්දිත් අම්ම ගෙදර හිටියෙ නැති නිසා අපි දෙන්නම අම්මව හොයන්න ගියා.
නිකිනිගේ දෙනෙත් රත් පැහැයට හැරෙමින් තිබිනි.
අම්ම හිටියෙ වත්ත පහල අඹ ගහක.. එල්ලිලා…
නිකිනිගේ දෑසින් කදුලු ගලා යමින් තිබිනි.
අප්පච්චී මහ හයියෙන් කෑ ගැහුවත් කවුරු ආවෙ නෑ. අපි දෙන්න පිස්සුවෙන් වගේ වීල්බැරෝවෙ අම්මව දාගෙන ඉස්පිරිතාලෙ වෙනවකල් ගියා. ඒ යද්දිත් අම්ම අපිව සදහටම දාල ගිහින්.
තාත්ත කවදාවත් අම්මට වරදක් කිව්වෙ නෑ. තාත්ත මට නොකියපු ලොකු දෙයක් දැනගෙන හිටියා. එයා අම්ම එවපු ලියුම් රෙදි පෙට්ටයක දාල පරිස්සම් කලා. මීට අවුරුදු දෙකකට කලින් මට ඒව හම්බ වුනා.
අම්මට එහෙදි ගොඩක් කරදර වෙලා. එයාව පුච්චලා. වද දීලා. එයාගෙ ලස්සන කොන්ඩෙ කපල දාලා. එයාගෙ අතපය තුවාල කරල. කාමර වල හිර කරන් ඉදල, ඔය වගේ දේවල් තමයි ඒ හැම එකකම තිබුනෙ.
මගෙ තාත්ත කොච්චර විදවන්න ඇතිද. කාටවත් කියාගන්න බැරුව. අම්ම ආපහු ආවත් නැන්දල එයාට ජීවත් වෙන්න දුන්නෑ. කතා පැතිරුව, බැන්න. අම්ම මැරෙද්දි අම්මට තව දරුවෙක් ලැබෙන්න හිටිය කියල දැනගත්තෙ මම මෑතකදි. එයා වරදක් නොකර සෑහෙන විදෙව්වා. ඒ දරුව ඉපදුනා නම් ඒ දෙන්නට ම මැරි මැරි ජීවත් වෙන්නයි සිද්ධ වෙන්නෙ. නැන්දල ,මගෙ අම්මගෙ ජීව්තේ නැති කර ගන්න තැනට වැඩ කරා.
අද ආකාශ් ගෙ අම්ම මට මෙහෙම සලකද්දි මට මෙච්චර වේදනයි නම් එදා මගෙ අම්ම විදපු වේදනාව මට තේරුම් ගන්න පුලුවන්. මට ඕන කලේ නැන්දම්මෙක් නෙවේ. අම්මෙක්. ආකාශ්ට වගේම වරදට ආදරෙන් තරවටු කරන. ආදරේ පිරුණු අම්මෙක්. මගෙ අම්මා වරදක් කලේ නෑ. එයාට වරදක් වුනා මිසක.
ආකාශ්ගේ මවගේ මුහුන ශෝකයෙනුත් ලැජ්ජාවෙනුත් පිරී තිබිනි. ඇය කිසිවක් නොපවසා කාමරටය ගොස් දොර වසා ගත්තාය.
නිමි.
H.M.තමෝද්‍යා ප්‍රසාදි ජයරත්න