2021.11.28.12h47m13s-01

එතිලිනා හාමිනේ මට සීනි ඩින්ගක් දෙනවද ,පොඩි එකාට උදේට කහට දෙන්ට බෑනෙ. අපේ මනුස්සය ආයෙත් ආගි අතක් නෑ.

එතිලිනා හාමිනේ බුදුන් වැදීමට කඩමින් සිටි මල් දෝතත් ගෙන ගෙට ගියේ සිනාවකින් මුව පුරවා ගනිමිනි. එතිලිනා විශ්‍රාම ලද ගුරුවරුවරියකි. විවාහයේ සුන්දත්වය යහමින් විදි යහපත් බිරිඳකි. කුසින් දරුවන් නොවැදුවද දහසක් දරුවන්ගේ හදවතේ ලැගුම් ගත් ගුරු මෑණියකි. වසරකට ඉහතදී හදවත් රෝගයකින් මිය ගිය සැමියා හා සෙනෙහසින් තනා ගත් නිවසෙහි , ඇය තනිවම දිවියේ අවසන් කාල පරිච්ඡේදය ගෙවා දමයි. ඈ කාටත් හොඳ හිත තැනැත්තියකි. සැමියා මිය ගිය දා පටන් ඇය සතෙකුට බත් මිටක් දී හෝ නිතරම සැමියාට පින් අනුමෝදන් කරයි. ඇයගේ සැමියාද ජීවත්ව සිටියදී ඇය හා සාමයෙන් සතුටින් සෙනෙහසින් කාලය ගත කල අයෙකි. සැමියාගේ මරනයෙන් පසුව එතිලිනාට නිතරම උදව් උපකාර කලේ ස්වර්ණා සහ ඇගේ කුඩා පුතු විසිනි. ඇය තම අසන්වර සැමියාගේ තාඩන පීඩන මධ්‍යයේ දරුවා සමග ජීවත් වීමට පොර බදන ගැහැනියකි.. ඇය යමක් නැති විටක මිස වෙනයම් වේලවක එතිලිනාගෙන් යමක් නොඉල්ලයි.

පොඩ්ඩක් හිටින් ස්වර්ණා..

එතිලිනා ගෙතුලින් පිටතට ආවේ මල්ලක් පුරවාගෙනය..

මේ මොනවද හාමිනේ.

ස්වර්ණා ඇසුවේ දෑස් ලොකු කරමිනි.

අද මගෙ පෙන්ශන් එක හම්බුනා. ආයෙ ඉතින් මේ තනි මට ජීවත් වෙන්න මහ සල්ලියක් යනවැයි. අද මාකට් එකෙන් මන් උඹලටත් එක්ක අඩුම කුඩුම ටිකක් ගෙනාව. මේකෙ පොඩි එකාට පොත් පැන්සල් වගයකුත් ඇති.

අනේ හාමිනේ මොකටද මේවා …

ස්වර්ණා හඩන්නට මෙන් මුහුන හැකුලුවේ එතිලිනාගේ ගුනයහපත් කම ඉදිරියේ දැනුන අසරණකම නිසාවෙනි.

ආයේ ඕක මොකද්ද ස්වර්ණා. වැස්සකුත් ලගයි වගේ. දරුවා තනියම ගෙදර නොතිය ඉක්මට ගියානම් හොදයි. අද කාලෙ දරුවෙක්ව තනියෙන් දාල තප්පරයක් වත් එහෙ මෙහෙ වෙන්න බැරි කාලයක්නෙ.
එතිලිනා පැවසුවේ අහස් ගැබට සැපත් වෙන වැහි වලාකුලු දෙස බලමිනි.

එතිලිනාට සමු දුන් ස්වර්ණා ඉක්මනින් නිවස දෙසට දිව ගියාය.

එතිලිනා නිවසෙහි ආලින්දයේ වූ පුටුවකට බර වූයේ මොහොතකින් කඩා වැටෙන්නට නියමිත වරුසාවෙහි සුන්දත්වය විද ගැනීමටය.ඈ පැතුවා සේම මහා වරුසාවක් අහස් ගැබින් පොලවට පතිත විය. සීත සුලන් ඇගේ ගත වෙලද්දී ඇයට සිහි වූයේ ඇගේ ආදරනීය සැමියාවයි. ඔවුන් දෙදෙනා පෙර දිනකදි නම් ආලින්දයේ එක ලග පුටු දෙකකට වී උණු කෝපි කෝප්පයක් තොල ගාමින් වැස්සෙහි රසය විදිති. නමුත් එතලිනා අද තනිවම ආලින්දයේ කෝපි රයෙන් තොරව වැස්සෙහි රසය විදියි. ඇයට ඇගේ දිවියේ තනිකම දැනෙත්ම කුමක් හෝ සුන්දර සිදුවීමක් මතකයට නැගී ඇගේ තනිකමට පා පහරක් දෙයි. එතරම්ම ඇය ඇයගේ දිව් මාවත සරසාගත්තේ සුන්දර සිදුවීම් වලිනි. ඇයට පසු තැවීම් නොමැති තරම්ය.

වැස්සත් එක්ක රසට කියවන්න ඇය ලග පොත් ගොන්නක් විය. එතිලිනා හෙමිහිට ඇගේ සැමියාගේ පොත් ගබඩාව වෙතට ගියේ කියවීමට පොතක් තෝරා ගැනීමටය. නමුත් ඇගේ නෙත ගැටුනේ විශ්‍රාම දිනයේ දී ඇයට ලැබුන ඇගයුම් කීපයකි.ඇය සීරුවට ඉන් කීපයක් පපුවට තුරුලු කරන් ආලින්දයට පැමිනියේ ඇගේ පාසල් සමු ගැනීමේ දිනය සිහි කරමිනි.

විදුහල්පති තුමා කතා කිරීමට මත්තෙන් වේදිකාව පසකට ගොස් කදුලු උනමින් තිබූ දෑස් පිස දමනවා එතිලිනා දුටුවේ අහම්බයෙනි. ඔහු මැදි වියට පා තබමින් සිටි අයෙකි. දරදඬු හිත් පවා ඈ ඉදිරියේ එදා හඩා වැටුනේ ඇගේ වටිනාකම තවත් ඔප් නන්වමිනි. විදුහල්පති තුමාගේ කතාව ඔහු සියල්ලටම ප්‍රතමයෙන් සිදු කලේය.

මේ නොනිමෙන දිවි ගමනේ…
නිවනේ මග පෙනෙන තුරා..
අම්මේ නුඹෙ පුතෙකු වෙලා..
මම එන්නම් සසර පුරා..

හැමදාමත් රලු කතා විලාසයකින් යුත් ඔහු එදින අති සන්වේදී ලෙස ගීත කන්ඩයක් ගැයුවේ බිදී ගිය හඩකිනි. දරුවන් සේම ගුරුවරුන් ද නිසොල්මනේ ඔහු දෙස දෑස් අයා බලා සිටියහ.

ඔහු කතාව ඇරඹුවේ තරමක අපහසුතාවයකිනි.

අම්මා.. මේ අපි කාගෙත් අම්මා. මන් මේ පාසලට තමයි විදුහල්පතිවරයෙක් විදියට මුල්ම පත්වීම අරගෙන ආවෙ. මගෙ වාසනාවට ඒ වෙනකොට හිටපු හැම ගුරු මහත්ම මහත්මියක්ම විශාල සහයෝගයක් ලබා දුන්නා.. හැබැයි ඒ අතර හිටිය එක ගුරු මහත්මියක්. ඇය තමයි මේ පාසලේ එවකට හිටපු පරනම ගුරු මහත්මිය.. ඇය මට දිය යුතු ගරුත්වය ලබා දෙමින් මගෙ රාජකාරිය සතුටින් කරගෙන යන්න විශාල සහයක් වුණා. මගෙ ජීවිතේ මුණ ගැහුන සුන්දරම බිරිඳ ඇයයි. සුන්දරම අම්ම ඇයයි. සුන්දරම ගුරුතුමිය ඇයයි. හරියට මේ ඉස්කෝලෙම අම්ම වුණේ ඇයයි. මේ පාසලේ දරුවන් වෙනුවෙන් ඇය වෙන් කලේ කාලය නෙවෙයි. ඇගේ හදවතයි. ඇතැම් ගැටලු ඇය විසදපු විදිය අදටත් මට තේරුම් ගන්න බෑ. ඇගේ දඩුවම් නිසා දරුවො හැදුන මිසක ආයෙ ඒ වරද කලේ නෑ. ඇගේ ජීවිතේ ඇයට පසු තැවෙන්න කිසිදු කාරනවක් නැති තරමට ඇය පිරිසිදු මාතාවක්… ඈ පිලිබදව දවසක් මුලුල්ලේ කතා කරත් ඉවරයක් කරන්න බැරි තරම් ගුන කදක්. නමුත් ඈ වෙනුවෙන් දරුවන්ටද අවස්තාව දිය යුතු නිසා මම කෙටියෙන් මගේ කතාව හමාර කරන්නම්. නමුත් ඇගේ සමුගැන්මෙන් පසු මේ පාසලට සිදු වන්නේ විශාල පාඩුවක්. නමුත් මේ පාසලේ සිදු වන සෑම සුවිශේෂී දෙයකදීම ඇය අප සමග සිටීවි යැයි මා ඇතුලු අනෙකුත් ගුරු මහත්ම මහත්මියක්ම වාගේම දරුවන්ද විශ්වාස කරනවා…. ඉතින් මෑනියනි ඔබටත් ඔබේ සැමියාටත් දීර්ඝායුෂ පතමින් මගේ කතාව අවසන් කරනවා.

ඉන් පසු ඇයට දරුවන්ගෙන් අපමන තෑගි බෝග ලැබිණි. නමුත් ඇයට ඒ කිසිවක් විවර කිරීමට අවස්තාවක් නොවූයේ ඇගේ සැමියාගේ මරනය සිදු වූ නිසාවෙනි.

ඇය ඇගේ අතීත මතකයන්ගෙන් හිත මුදවා ගත්තේ වැස්සත් සමග පැමිනි ගිගුරුමක් නිසාවෙනි. ඇය පරිස්සමට ඈ අත රැදි සිහිවටන එක බැගින් ගෙන බැලුවේ දෝරෙ ගලා යන සතුටකිනි. ඇතැම් දරුවන් ඇගේ සිතුවම් පවා සිත්තම් කර තිබුනේ අති දක්ෂ ලෙසය. ඇගේ මුවගට සිනහවක් එක් වූයේ පුන්චි දරුවෙකු අකුරු පටලවමින් ලියු ලියමනක් දැකීමෙනි. ඇය ඔවුන්ගේ හදවත් අස්සෙන් පිපුන මලක් මෙන් ඇයට හැගී ගියාය. මීලගට ඇයගේ නෙත ගැටුනේ කුඩා පොතකි. එහි පිටුවක් පිටුවක් පාසා දිනයන් සටහන් කරමින් ඇය සමග එම දරුවාගේ මතකයන් ගොනු කර තිබිනි. එම දරුවා පාසලට පැමිනි දා පටන් වසර දහයක පමන සුවිශේෂී සිදුවීම් පනහක් පමන එහි සටහන් විය. ඇතැම් පිටු එම දරුවා ඉරා දමා තිබිණි. එහි අපූරුව වූයේ එම දරුවා ඒ සෑම සිදුවීමකම යම් අවස්තාවක් සිතුවම් ගත කර තිබීමයි. නමුත් එම දරුවාව එතිලිනාට අමතකව තිබිනි. ඇය කෙතරම් උත්සාහ කලද එම දරුවා කවුරුද යන්න මතයන් අතර නොවීය. තවත් ඉදිරියට කියවන විට ඇයට හැගී ගියේ එම දරුවා ඇය සමග කිසි දිනක කතා නොකල ඇයට දුර සිට සෙනෙහසින් සිටි දරුවෙකු බවයි. ඔහුගේ බොහෝ සිතුවම් වල සිටියේ ඔවුන් දෙදෙනා පමනි.. ගුරුතුමිය ඉදිරියේ සිට අදාල කටයුත්ත කරන අතර හිස් වූ ඩෙස් පුටු ගොඩක් පසුපසට වී දරුවා ඒ දෙස බලා සිටී. එම සිතුවම් ඔහුගේ වයසට වඩා විශිශ්ඨ බවකින් යුක්ත විය. නමුත් 2010 වසරේ මැද සිට ඔහු කිසිදු සිතුවක් සිත්තම් කර නොතිබිනි. ඊට හේතුවක් ද තවම ඇයට සිතා ගත නොහැකි විය.එම වසරේ එක් අවස්තාවක ඔහු විසින් පාසලේ තරගයක් සදහා ගුරුතුමිය වෙත ලබා දුන් සිතුවමක් ඇය විසින් තරගයට ඉදිරිපත් නොකලේ ඔහුගේ අදක්ෂකම නිසා බව සිතා ගත් ඔහු නැවත සිතුවම්කරනයෙහි නොයෙදෙන බව සටහන් විය. එතිලිනාගේ හිසේ සිට පාදාන්තය තෙක් විදුලියක් යන්නාක් මෙන් දැනෙන්නට විය. ඇයට කුමක් හෝ මහහැරී ඇති බව දැනෙත්ම හදවත වේගයෙන් ස්පන්දනය විය.

ඇය මේ ආකාරයට වේදනාවෙන් මෙන්ම පසුතැවීමෙන් කාලය ගත කලාය. මාස කිහිපයක් ගෙවී ගොස් එක් සැදෑවක ස්වර්ණාගේ දරුවාට අවශ්‍ය තොරතුරු වගයක් සෙවීමට එතිලිනා, ඇගේ පොත් ගොන්න මේසය මත එලා ගත්තාය. පොත් වල පිටු පෙරලෙමින් යන ඇයට ඇගේ පාසල් දින සටහන් පොතක් තුල තිබී දෙකට නැමූ කඩදාසි කිහිපයක් හමු විය. එතිලිනා හෙමිහිට ඒවා එකින් එක දිග හැර බැලුවේ දෑසේ කදුලු පුරවාගනිමිනි. එහි වූයේ දරුවන් තිදෙනෙකු පාසල් චිත්‍ර තරගයක් සදහා ලබා දුන් සිතුවම් තුනකි. පාසල අවසන් වූ මොහොතේ ලබා දුන් සිතුවම් තුනක් වූයෙන් පසු දින උදෑසනම විනිසුරු මඩුල්ලට ඉදිරිපත් කරන අටියෙන් ඇය, ඒවා සටහන් පොත තුල දමා ගත් බව එතිලිනාට සිහි විය. ඇගේ පාද වෙව්ලුම් දෙන්නට වූයෙන් එතිලිනා ,අසල වූ පුටුවකට බර වූයේ සුතුවම්ද දෝත දරාගෙනමය.

සැබැවින්ම ඇයට එම කාරනාව මග හැරී ඇත.ඇගේ හදවත ඇයට නොනවත්වාම දොස් නගන්නට වූයේ ඇගේ සුලු අතපසුවීමකින් දක්ෂ දරුවෙකු ඔහුගේ හැකියාව අවතක්සේරු කරමින් සිතුවම් කලාව අත් හැරීම නිසාවෙනි.

එම සිතුවම් වල තේමාව වී තිබුනේ “මා සිත් ගත් ස්තානය” . මෙම මතෘකාව යටතේ සිතුවම් දෙකකම වූයේ මුහුදු වෙරල සහ සීගිරියයි. නමුත් එක් සිතුවක් ඊට හාත්පසින්ම වෙනස් විය. එහි වූයේ සිර මැදිරියක් තුල පිටුපස හැරී ඉදගෙන සිටින කාන්තාවකගේ සිතුවමකි. ඇගේ මුහුනක් නොපෙනෙයි. හාත්පස අදුරු ස්වාභාවයකින් යුක්ත විය. සිර කුටිය තුලින් විශාල ජල දහරාවක් ගලා එන ලෙස සිතුවම් විය. ඉන් ඔහු අදහස් කරන්නට ඇත්තේ ඇය සිරගත වී බොහෝ කලක් බවත් ඇය බොහෝ වේදනාවෙන් කල් ගත කරන බවත් විය හැකි බව සිතමින් ඇය සිතුවම අනෙක් පස හැරවූයේ දරුවාගේ නම දැන ගැනීමටය. එහි විශාල සටහනක් විය.

” මම මේ ලෝකෙ වැඩිපුරම යන්න ආස තැන තමයි හිර ගෙදර. මොකද මගෙ අම්මා මම පුන්චි කාලෙදි තමයි එහෙ ගිහින් තියෙන්නෙ. මට දැන් එයාගෙ මුන හරියට මතක නෑ. එක දවසක් ආච්චි මාව අම්මව බලන්න එක්ක ගියා. ඒත් මම ගියපු නිසා අම්මා අපි එක්ක කතා කරන්න ආවෙ නෑ. එදා මම අම්ම එක්ක ගොඩක් තරහෙන් තමයි ගෙදර ගියේ. ඒත් ආච්චි කිවූවා අම්මට මට මූන දෙන්න බෑ කියල. ඒත් මට හැමදාම එයාව බලන්න යන්න ඕන වුනා. ඒත් මට කවදාවත් එහෙ යන්න ලැබුන්නෑ. මට තාත්තා නැති නිසා අම්මව හිර කරලද කියලත් මට සැකයි. ගමේ හැමෝම වගේම ඉස්කෝලෙ හැමෝමත් මට හිනා වෙනවා. ඒත් ඉතින් මම තවමත් මගෙ අම්ම බලන්න යන්න ආසයි. ලෝකෙට මොන වරද කරත් ඒකට හේතුව මම වෙන්නැති. මම ලොකු වෙලා මගෙ අම්මව ආපහු ගෙදර ගේනවා.

සිතුම් සහස් කුමුදුවිල”

එතිලිනගේ දෑසින් කදුලු කැට කඩා හැලුනේ ඇයගෙන් මහා බරපතල අපරාදයක් එම දරුවාට සිදු වූවා යැයි අගවමිනි. සටහන් පොතේ අයිතිකරුවාත් සිතුවමේ අයිතිකරුවාත් එකම දරුවෙකු බව පසක් වූ

එතලිනා වරද නිවරද කල හැකි මගක් කල්පනා කරන්නට විය. සැබැවින්ම එය නිවරද කල යුතු වූයේ එදින තරගයට ඉදිරිපත් කලා නම් එම සිතුවමට නියතවම විශිශ්ඨ ජයක් ලැබෙන්නට තිබුන බැවිනි.එතරම් එය විශිෂ්ට ලෙස සිත්තම් විය.

එතිලිනාට ඔහුගේ විශිශ්ඨ හැකියාවට වටිනාකමක් එක් කිරීමට අවැසි විය. ඇයට සිහි වූයේ ලන්කාවේ ප්‍රධාන පුවත්පතක කතුවරයෙක් ලෙස කටයුතු කරන ඇයගේ සොහොයුරාගේ දරුවා පිලිබදවයි. කිසි විටෙක අන් අයට හිරිහැරයක් නොවන එතිලිනාට ඇගෙන් සිදු වූ වරද නිවරදි කිරීමට අවශ්‍ය නිසාවෙන් ඔහුගේ පෞද්ගලික දුරකතන අන්කයට ඇමතුමක් ලබා ගත්තාය.

දෙවරක් නාද වන්නට මත්තෙන් ඇමතුම ලබා ගත් ඔහු තම නැන්දනියට සාවදානව සවන් දී පසු දා උදෑසනම පැමිනෙන බවට පවසා ඇමතුම විසන්ධි කලේ සවස වාහන තදබදයට කොටු වී සිටි බැවිනි.

එතිලනාගේ හදවත සැහැල්ලු වන බවක් ඇයට දැනිනි. ඇය මීලඟ ඇමතුම ලබා ගත්තේ ඇය රැකියාව සිදු කල පාසලටය. එතිලිනාට එම දරුවාව මුණගැහෙන්න අවශ්‍ය වුවද පාසලෙන් ලැබුනේ සුභදායක පිලිතුරක් නොවේ. ඒ වන විට ඔහු පාසල් ගමන නවතා දමා මිත්තනිය සමග වෙනත් පෙදෙසකට ගොස් ඇති බව දැනගන්නට ලැබිනි.

පසුදා උදෑසනම නිවසට ගොඩ වූ තම සහෝදරයාගේ පුතු වූ අසන්කට ඇය සිදු වීම විස්තරාත්මකව ඉදිරිපත් කලේ සිතුවමුත් දින පොතත් පෙන්වමිනි. ඔහු දෙවරක් නොසිතාම එම සිතුවම පුවත්පතෙහි පල කර ඊට පිටුපස කතාවද පල කරන බවට පොරොන්දු විය. එම දරුවාගේ දින පොතද කෘතියක් ලෙස එම දවාරුවාගේ අත් අකුරින්ම එලි දක්වා දරුවා සොයා යන බවට එතිලිනාට පැවසුවේ සිනහවකින් මුව සරසා ගනිමිනි.

ඊට සතියකට පසු ඔහුගේ සිතුවමත් පිටුපස කතාවත් පූවත්පත් වල මෙන්ම සමාජජාල තුලද විශාල ප්‍රසිද්ධියකට පත් වූ සිදු වීමක් විය. ඔහුගේ දින පොත ද ආදායම් වාර්තා තබමින් ඉක්මනින් අලෙවි වන්නට විය.

මෙම සිදු වීම සිදු වී වසර නවයකට පසු එක් උදෑසනක එතිලිනා , සැරයටියෙ වාරුවෙන් මිදුලට බැස ගත්තේ බුදුන් වැදීමට මල් දෝතක් නෙලන අටියෙනි. කලු පැහති මෝටරථයක් ඇගේ මිදුල පැමිනියේ ඇය ආපසු යාමට සැරසෙත්මය. ඉන් බැස ගත්තේ කඩවසම් තරුනයෙකි. ඔහුගේ මුහුනෙහි සුන්දර සිනහවක් සටහන් විය.

එතිලිනා මිස්..

ඔහු දනිස් පොලවේ තබා ඇයට වැද ආචාර කලේය.

කවුද මේ දරුවා.?

එතිලිනා ඇසුවේ බිදුන වෙව්ලුම් දෙන හඩකිනි.

මිස් මම සිතුම් සහස් කුමුදුවිල

දෙයියනේ… මම හැමදාම ප්‍රාර්ථනා කලේ මේ දරුවව මගෙ මරනයට පෙර මුන්ගස්වන්න කියල.

මිස් නිසා මම දැන් ආයෙම චිත්‍ර අදිනවා. පොතුත් ලියනවා. ඒ වගේම මම ලෝයර් කෙනෙක්.පත්තරේ සිද්දියෙන් පස්සෙ ගොඩක් දෙනෙක් මාව හොයන් ආව. මට උදව් කරන්න ඉදිරිපත් වුණා. මම ආයෙ ඉගනගත්ත. අවුරුදු කීපෙකට කලින් මන් රට ගියා. ගිය සතියෙ ලන්කාවට අවෙ මගෙ අම්මව කොහොම හරි බේර ගන්න. මම ඒ දේ කලා. මගෙ අම්මා නිර්දෝශී ගැහැනියක්. මිස් නිසයි මට හැමදේම ලැබුනෙ. එදා මම චිත්‍ර තරගෙන් දිනුව නම් අද මම මෙච්චර දුරක් එන්නැති වෙයි. මිස්ට ඒක මග ඇරුණ නිසයි වටිනාකම වැඩි වුනේ. ගොඩක් පින් මිස්ට.

සිතුම් දෙවන වරටත් ඇගේ දෙපා මත නලල තැබුවේ මහත් ගෞරවයකිනි.

එතිලිනාගේ හදවත වලාකුලක් මෙන් සැහැල්ලු විය. එතිලිනා මහා යුද්ධයක් නිමා කලාක් මෙන් දිගු සැනසුම් සුසුමක් පිට කලාය.

සමාප්තයි

තමෝද්‍යා ප්‍රසාදි ජයරත්න

About The Author

Leave a Reply