රැකියාවක් යනු හුදෙක් ආර්ථික ප්‍රතිලාභය පදනම් කොටගත් ක්‍රියාවලියක් නොවේ. මුදල් ඉපයීම පමණක්ම ඉලක්ක කොටගෙන ප්‍රියමනාප භාවයකින් තොරව රැකියාවේ නිරතවීම තුළින් ඌන නිපැයුම, මානසික පරිහානිය වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවන අතර, තෘප්තිමත්ව රැකියාවේ යෙදීම තුළින් නිසැකවම සාර්ථකත්වය කරා ළගා විය හැකිය.
මාරත් ටිමෙන් වරෙක මෙසේ සඳහන් කරයි. ” සේවකයා තම සේවයෙන් ලබන සතුට ඉහළ නගින තරමටම මුදලින් ඔහු ලබන වේතනය ද ඉහළ නගියි”. ඔහු එය “සේවයේ න්‍යාය” යනුවෙන් හඳුන්වයි. මෙකී සේවයේ න්‍යාය හෙවත් සේවය කිරීමේ සතුට කරා ළගා වෙන්නේ කෙසේදැයි දැන් විමසා බලමු.
🔴 ආත්ම සම්භාවනාව
රැකියාව තුළින් සතුට ලැබිමේ දොරටුව විවෘත කරන්නේ ආත්ම සම්භාවනාව තුළිනි. එය ඔබේ ජයග්‍රහණයේ අඩිතාලමද වනු ඇත. මම මගේ සේවයට ඉතා වටිනා පුද්ගලයෙකි. මා තුළ දක්ෂතා, නිපුනතා, හැකියා හා දැනුම් සම්භාරයක් ගැබ් වී ඇත යන ආත්ම අභිමානය ඔබ තුළ ආරෝපණය කර ගැනීම මෙයින් අදහස් වේ. මෙවන් ආත්ම සම්භාවනාවෙන් හෙබි ඔබ, ඔබේ සේවා ස්ථානය පරාජිතයන්ගෙන් පිරි ඇතත් කිසිදා පරාජයට පත් නොවනු ඇත.
🔴 තමා ඇමතිම
අපගේ රැකියාව තුළින් සතුට ළගාකර ගැනීමට නම් දෛනිකව අප ඉටුකළ කාර්යභාරය පිළිබඳව අපගේ මනසට පෙරලා මතක් කර දීම අවශ්‍යය. එය කරනුයේ ස්වයං භාෂණය හෙවත් තමා ඇමතිම මගිනි. මෙතුලින් ඔබ නිරතුරුවම ඔබගේ ක්‍රියාකලාපය විනිශ්චය කිරීමට පොළඹවයි. ඔබ තුළ ඔබ හඳුනාගන්නා වැරදි නිවැරදි කර ගැනීම තුළින් ඔබගේ ප්‍රතිරූපය ගොඩ නංවයි.
🔴 ආකල්ප
තෘප්තිමත්ව සේවයේ යෙදීමට සුභවාදී වූත්, ධනාත්මක වූත් ආකල්ප දැරීම අත්‍යවශ්‍ය වේ. සුභවාදී ආකල්ප ශරීරයට හා ආත්මයට පෝෂණය සපයයි. සුභවාදී සිතුවිලි හා ධනාත්මක ආකල්ප මගින් ශරිරයේ එන්ඩොෆින් නැමැති රසායනික ද්‍රව්‍ය නිපදවීම උත්තේජනය කරන අතර, එන්ඩොෆින් මගින් කෙනෙකු තුළ වේදනාව දැනීම අඩු කරන අතර අප්‍රසන්න උත්තේජන ඇති කිරීම වසා දමයි. ඔබගේ ආකල්ප තෝරා ගන්නේ ඔබම නිසාවෙන් යහපත් ආකල්ප තුළින් ජයග්‍රහණය කරා යොමුවිමේ වගකීමද ඔබ සතු වේ.
🔴 සිහින සිතුවිලි
වැදගත් යමක් ඉටුකර ගැනීමට පෙරමං කියන්නේ අප හිත් තුළ සක්මන් කරන සිහිනයයි. අපගේ ආශාවන්, අපගේ ආධ්‍යාත්මය හා අප අපේක්ෂා කරන සතුට පිළිබඳ සිහිනයත් අප සෑම කෙනෙකු තුළම වෙයි. වැඩකිරීමේ සතුට සඳහා සිහින මැවීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය. ඔබ ඔබේ සිහින වලට ආදරය කරන්න එමෙන්ම ක්‍රියාකාරී වන්න. ඔබ ඔබගේ සිහින කරා ළගා වීමට දිනකට අඩු වශයෙන් එක කටයුත්තක් හෝ සම්පූර්ණ කරන්න.
🔴 අභිමාර්ත නිර්ණය කිරීම
පැහැදිලි අරමුණක් සහිතව වැඩ කිරීම මින් අදහස් කරයි. පැහැදිලි අරමුණක් ඇතිව ක්‍රියා කරන්නෙකු නතර කිරීමට කිසිවෙකුට නොහැක. දැනටමත් සිය අභිමතාර්ථ සපුරා ගත් අය සමග හෝ ඔබගේ ඉලක්කයන්ට සමාන අභිලාෂවලට ළංවීමට තැත් දරන්නන් හා එකතු වන්න. ඉහළ මට්ටමේ අභිමතාර්ථ ඇති කර ගන්න. ඉන් අනතුරුව එකී අභිමතාර්ථ කරා ළගා වීමට සක්‍රීය ලෙස ක්‍රියා කරන්න. එහි අතුරු ඵල නම් සතුට, ධනය හා ජයග්‍රහණයයි.
🔴 සැළසුම් කිරීම
ජයග්‍රහණය, ධනය, සතුට හදිස්සියේ හට ගන්නා දේ නොවේ. ගුණාත්මක සැළසුමක නියත ප්‍රතිඵල වේ. සැළසුම් සහගත පුද්ගලයා තමන් යන එන තැන දනී. යන අතර මඟ තමාගේ ප්‍රගතිය දකී. තම අවසන් අරමුණු පිළිබඳව පැහැදිලි දර්ශනයක් ඔවුනට ඇත. ඔබගේ සැළසුම්වල වඩා වැදගත් අරමුණු සඳහා වැඩි කාලයක් වෙන් කිරීම වැදගත් සාධකයකි. ඔබගේ මුල් සැළස්ම අසාර්ථක වුවහොත් නැවත උත්සාහ ගැනීම මිස අතහැර දැමීම නොකළ යුතුය. සිහින හා ජයග්‍රහණ යාකරන පාලම වන්නේ සැළැස්මයි.
🔴 නොපසුබට උත්සාහය
අප බොහෝ දෙනෙකු අතින් සිදු වන වරදක් නම් කරදර අවස්ථාවන්හිදී උත්සාහය අතහැර දැමීමයි. පරාජය සදාකාලික දෙයක් නොව කල්දැමූ ජයග්‍රහණයක් ලෙස සිතන්න. ඒබ්‍රහම් ලින්කන් චරිතාපදානය මීට කදිම නිදසුනකි. අන් අය වැඩය අතහැර යන කළ ඔබ එම වැඩය අඛණ්ඩව කරගෙන යාමට ක්‍රියා කිරීම තුළින් නොපසුබට උත්සාහය පුරුදු පුහුණු කළ හැකිය. මෙය ඉතා බලසම්පන්න න්‍යායකි.
🔴 ස්වයංවිනය
ස්වයං පාලනය ඇති කිරීමට පොළඹවන අභ්‍යන්තර හික්මීම ස්වයං විනය වෙයි. අතහැර දිවයාමට සිතන කළ නොගොස් එහිම රැඳී සිටින්න. දැඩි මහන්සියෙන් වැඩෙහි යෙදෙන්න. කෝපය පිටකරන්නට සිතන විට දහයට ගණන් කරන්න. ඇතුළතින් කඩා වැටීමට ආසන්නව සිටියදී සිනාවෙන් මුව සරසා ගන්න. තමාගේ ජීවිතය තමා විසින්ම පාලනය කරගත හැකි වූ කල්හී පුද්ගලයෙකුට තම ශක්තිය හා දක්ෂතාවය තුළින් නිසැක සාර්ථකත්වයට ළගා විය හැකිය.
🔴 ස්වයං අපේක්ෂාව
සතුටින් වැඩ කරන්නෙකුගේ ආදර්ශ පාඨය වන්නේ ” මම අන් අයගෙන් මෙන්ම මගෙන්ද හොඳම දේ අපේක්ෂා කරමි” යන්නයි. සුවිසල් ජයග්‍රහණ ලද පුද්ගලයන් ගැන කල සමීක්ෂණ වලින් ඔවුන් සියළු දෙනාම උසස් බලාපොරොත්තු තැබුවෝ බව තහවුරු වී ඇත.
🔴 ඔබ හොඳින් සිටීම
ඔබ තුළ බොහෝ කුසලතා ගැබ්වී ඇතත් ඔබ ඉන් භාවිතා කරන්නේ ඉතා අල්පයකි. මිනිස් හැකියාවෙන් 90% ක් ප්‍රයෝජනට නොගෙන සැඟවී තිබෙන බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. රැකියාව තුළින් තෘප්තියක් ලැබීමට නම් ඔබ ඔබේ හැකියාවන් හඳුනාගෙන, ඒවා වැඩි දියුණු කරන තුරු, අවස්ථාවක් ලද වහාම භාවිතා කිරීම කළ යුතුය. වාසනාව, පින වැනි සංකල්ප ජයග්‍රහණය කෙරෙහි අල්ප බලපෑමක් සිදුකරන නමුදු අප උපතින් අරගෙන ආ දෙයක් නැත. ග්‍රහ තරු වලට ජයග්‍රහණය උදාකළ නොහැකි අතර, ජීවිතය ජයගත් සියල්ලෝම ස්වකීය හැකියා තේරුම් ගෙන වෙහෙස මහන්සි වී අඛණ්ඩව වැඩකර නව අරමුණු කරා ළගා වූවෝ වෙති.
🔴 තම හිසට තම අතමය
ඔබේ ජීවිතය ඔබ විසින්ම කළ යුතු කාර්යයවලින් පිරි වැඩ මල්ලකි. සතුටින් ජීවිතය ගත කරන සියළු දෙනාටම පොදු දර්ශනය ” තමා විසින්ම කළ යුතුය” යන්නයි. දාර්ශනික ප්ලේටෝ පවසන පරිදි සෑම දෙයින්ම සතුට ළගාකර ගැනීමට පෙළබෙන මිනිසා තමා මතම යැපෙයි. බාහිර අය හා සංසන්දනයට සූදානම් නොවී ඔබගේම ප්රමිතීන් ඇති කර ගන්න. ඔබ ඔබම කෙරෙහි විශ්වාසය තබන්න.
🔴 ඉඩ ප්රස්ථා
වරෙක මහා ඉංග්‍රීසි නවකථා කරු ජෝර්ජ් එළියට් මෙසේ ලියුවේ. “ජීවන ගංගාවේ රන්වන් අවස්ථා අප පසුකර ඉදිරියට ඇදී යයි. නමුත් වැලි හැර අන් කිසිවක් අපි නොදකිමු. දේව දූතයෝ අප කරා එති. නමුත් අපි ඔවුන් නොදකිමු” මෙය සැබෑම වූ යථාර්තයකි. අප වාසනාව එන තෙක් ඉදිරිපස දොරටුව දෙස නෙතු අයා සිටින කල්හි ජනේලවලින් ඇතුළුවන අවස්ථා අපට මඟ හැරී යනු ඇත.” හෙට බලමු ” යන සිතුවිල්ල තුරන් කරන්න. විවෘත මනසකින් කල් ගෙවන්න. හොඳින් ඇහුම් කන් දෙන්න. අනාගත නැඹුරුතා වටහා ගෙන තම රැකියාව තුළ අන් අයට වඩා එක පියවරක් හෝ ඉදිරියෙන් සිටින්න. අංග සම්පූර්ණ ඉඩ ප්‍රස්ථාව ඔබ කරා එන තෙක් බලා නොසිට එන සෑම ඉඩ ප්රස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න.
🔴 අවස්ථාවට අනුරූපී වීම
වැඩ කිරීම හා ජීවත් වීම සම්බන්ධයෙන් ඔබ තේරුම් ගත යුතු එක ලක්ෂණයක් නම් නොකඩවා සිදුවන වෙනස් වීමයි. වෙනස්වීම සාමාන්‍ය දෙයක් සේ සලකා ඊට අනුගත වන්න. කුඩා දේවල් වලින් වික්ෂිප්ත නොවන්න.
🔴 පෙළඹීම
පෙළඹීම යනු ඔබ අභ්‍යන්තරයෙන් පැන නගින ආශාවකි. ඉලක්ක කරා එක එල්ලේ ළගා වීමට පෙළඹීම අත්‍යවශ්‍ය වේ. දිනපතා ඔබ භාවිතා කරන වචන මාලාවේ ඔව් මට පුළුවන් /Yes I Can යන වචනය මුලින්ම යොදන්න.
🔴 වගකීම
රැකියාව තුළින් තෘප්තිය ලැබීමට ඇති ප්‍රධානතම බාධාවක් වන්නේ අන් අයට දොස් පැවරීමයි. අන් අයට දොස් පැවරීමෙන් අපට අපගේ වැරදි නිවැරදි කර ගැනීමට ලද අවස්ථාවන් මඟ හැරී යයි. කිසිවිටකත් පෞද්ගලික වගකීමෙන් බැහරවීමට උත්සාහ නොකරන්න. වගකීම් දැරීමට බිය නොවන්න. වගකීමේ මූලධර්මය එනම්, අවංකභාවය, වෙහෙස වී වැඩකිරීම, සාධාරණත්වය පුරුදු පුහුණු කරන්න. සෑම අයිතිවාසිකමක්ම හා බැදුනු වගකීමක් පවතින බව තරයේ මතක තබා ගන්න.
🔴 පූර්වතා
මේ කෙටි ජීවිත කාලය තුළ සියල්ල සම්පූර්ණ කළ නොහැකි බැවින් කළ යුතු කාර්යයන් ඔබේ දින සටහනේ සඳහන් කර වඩා වැදගත් කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය දෙන්න.
🔴 අවධානම් දැරීම
ජීවිතය ස්වාභාවයෙන්ම අවදානම් සහිතය. අන්තවාදීව හෝ මෝඩ ලෙස අවදානම් දැරීම නොකළ යුතු අතර, සාධාරණ අවදානම් දැරීමට හුරු වන්න. පිම්ම පැනීමට පෙර ඔබගේ අවදානමෙහි ප්‍රතිඵල සියල්ල හොඳින් සළකා බලා, අශුභ කරුණු හැකි උපරිමයෙන් ඉවතලා අවදානමට මුහුණ දෙන්න.
🔴 ඉගෙන ගන්න
වැඩ කිරීමෙන් සතුට ලැබීමට නම් ඔබේ වැරදීම් තුළින් උගනින්න. පරාජය අත්දැකීමක් කොට ගන්න. ඔබට එල්ල වන විවේචන තුළින් උගනින්න. අදාළ අවස්ථාවන්හි අවංකව හා විෂය මූලිකව පිරික්සා බලන්න.
🔴 උද්යෝගය
ඕනෑම කාර්යයක් නිපුනතාවයෙන් යුතුව ඉටු කිරීමට උද්යෝගය අවශ්‍ය වේ. උද්යෝගය හේතුවෙන් දෛනික කාර්යය සැහැල්ලු වන අතර, සාමන්‍ය දක්ෂතා අති විශිෂ්ඨ දක්ෂතා බවට පත් වේ.
🔴 සන්නිවේදනය
දුර්වල වෘත්තීය සබඳතා රැකියා ක්ෂේත්රය තුළ ඔබේ සතුට හීන කර දමයි. සහෝදර සේවකයන් සමග කුළුපඟ අදහස් හුවමාරුව, අත්සන් අගය කිරීම ඵලදායී ලෙස විවේචනය කිරීම, මැනවින් ඇහුම්කන්දීම හා අන් අදහස් වලට ගරු කිරීම මෙහිදී වැදගත් වේ.
🔴 සහයෝගීතාවය
පුද්ගලයෙකු කෙතරම් බුද්ධිමත් වුවද, කෙතරම් වෙහෙස වී වැඩ කළද සෙසු අය සමග සහයෝගයක් නොමැතිව ක්‍රියා කිරීමෙන් රැකියාව තුළ තෘප්තිය හීන කරයි.සෙසු අය අභිබවා යාමට තැත් දරන මිනිසුන් සිය අභ්‍යන්තරයේ හිස් බව බාහිර වටිනාකම්වලින් ආවරණය කර ගැනීමට තැත්දරයි. ඔබව පරාජය කර මම දිනනවා යන ආකල්පය බැහැර කර ‘ මම ඔබට දිනන්නට උපකාර කළ හොත් මා ද දිනනු ඇති ‘ යන ආකල්පය වගාකළ යුතුය. මනා සහයෝගීතාවයක් සමග ඉදිරියට යාමට නම් ඔබ තුළ විශ්වාසවන්තභාවය, හොඳහිත, ප්‍රිය මනාප බව, පිළිවෙළ, විවෘත බව, උද්යෝගය, ආචාරශීලී බව, අවංකභාවය හා අනුකම්පාව යන සාධක ආරෝපණය වී පැවතිය යුතුමය.
🔴 ධනය
ධනය යනු ඔබ රැස්කළ දේපළ නොවේ. හිතකර වූත් උද්යෝගී වූත් ජීවන රටාවක් බව සකස් කරගෙන ඇත්නම්, ඔබ අන්‍යන්ට ආදර්ශමත් පුද්ගලයෙකු නම් සැබැවින්ම ඔබ ධනවතෙකි. මුහම්මද් තුමන් පවසන පරිදි මිනිසෙකුගේ නියම ධනය වන්නේ ඔහුගෙන් ලෝකයට සිදුවන යහපතයි.
🔴 බලය
අප සෑම කෙනෙකු තුළම බලයක් පවතී. තමාට තමාගේ ඉරණම පාලනය කර ගැනීමේ බලයක් පවතින බව දත් පුද්ගලයා තෘප්තිමත්ව සේවයේ යෙදේ. දැනුම නම් විසල් බලයකි. එය ඔබ කෙරේ කතු කර ගැනීම ඔබේ වගකීමකි. ඔබ භාවිතා කරන වචන තුළද බලයක් ගැබ්ව ඇත. කුමන අංශයේ රැකියාවක් කළද පුළුල් වදන් මාලාවකින් පොහොසත් සේවකයා අන්අයට වඩා ඉලක්ක සාර්ථක කර ගනියි. නැපෝලියන් පවසන පරිදි ‘ කඩුවේ බලය හා චිත්ත බලය වශයෙන් ලොවෙහි බල දෙකක් ඇත. දිගුකාලීනව හා සැමවිටම කඩුව පරයා සිත ජය ගනියි’
🔴 සාර්ථකභාවය
අපතුළ පවතින ප්‍රබලම දුර්වලතාවය වන්නේ සාර්ථකභාවය මුළුමනින්ම භෞතික සම්පත් මත රඳවා ගැනීමයි. මෙය සම්පූර්ණ මිත්‍යා මතයකි. 19 වන සියවසේ විසූ ජෝර්ජ් සැන්ඩි නම් ප්‍රකට නවකථාකරු පවසන පරිදි චාම් අන්දමට රස විඳිය හැකි වීම, ප්‍රමාණවත් ධෛර්යක් තිබීම, ආත්මාර්ථකාමී නොවීම, වැඩ කිරීමට කැමැත්තක් තිබීම හා පැහැදිලි මනසකින් යුක්ත වීම සාර්ථක පුද්ගලයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ වේ.
🔴 සතුට
සතුට උපදින්නේ ඔබ තුලිනි. ඔබ සාර්ථකව වැඩක් නිම කිරීම තුළින් නිකැලැල් සතුටක් ලැබිය හැකිය. වැඩ කිරිමෙන් සතුට ලැබීම යනුවෙන් අදහස් කරනුයේ ඔබ සෑම කාර්යක්ම ඉටු කරද්දී ඔබේ හදවත සිනහවකින් සැරසී තිබීම හා තමා සංවර්ධනයවීම තමා විසින්ම දකිනු ලැබීමයි. සතුටින් වැඩ ඔබට සියල්ලෝම ඇළුම් කරති. ශුභවාදීකම හා සතුට එකිනෙකට අත්වැල් බැඳගෙන සිටියි. අවසානයේ බලන කළ ඔබේ සතුටේ නිර්මාතෘවරයා ඔබමයි
✍️ සටහන ඇල්පිටිය මූලික රෝහලේ හෙද නිලධාරිනී ප්‍රතිභානී මොල්ලිගොඩ