1637949823391

ලංකාවේ මෙතෙක්, අපරාධකරුවන් නොමැතිව අභිරහසක් වූ මිනිමැරුම් නඩු ගොන්නට මෙම නඩුවද එක්වන්නේ මහාධිකරණයේ ඉංග්‍රිසි කතාකරන ජූරි සභාවක් හමුවේ මරණ දඩුවම නියමූ පද්මිණී කුලරත්නගේ සැමියා, නැන්දම්මා සහ ඔවුන් ජීවත් වූ ගාලුකොටුව පවුර මත සයුරට මුහුණලා පිහිටි “සමුද්‍රසිරි” නිවසේ සේවක සොපියා නැමැති පුද්ගලයන් තිදෙනා අභියාචනාධිකරණයට යොමු කල අභියාචනායක් හමුවේ නිදොස්කොට නිදහස් වීම මතයි.

 

ඔවුන් නිදහස් වූයේ කෙසේද..?

 

ඉපැරණි ලන්දේසි ක්‍රමයට ඉදිවූ සමුද්‍රසිරි නිවසේ උරුමක්කරු වූයේ සුප්‍රකට වෛද්‍යවරයකු වූ කුලරත්න මහතා ය. ඔහුගෙන් පසුව ඔහුගේ පුතා වන වෛද්‍ය

ඩේමන් ගාමිණි ද සිල්වා කුලරත්න (පළමු චූදිතයා) සහ ඔහුගේ මව “ලෝරා කුලරත්න” (දෙවන චූදිතයා) සහ සේවකයන් වන, ආහාර පිසීම කරන “සොපියා” (තෙවන චූදිතයා) සහ “සිසිලින්” ද කුලරත්න මහතාගේ රියදුරු “රොමියෙල්” සහ තවත් මෙහෙකරුවෙකු වූ “බණ්ඩා” ද ජීවත් විය. මොහු කලක් රජයේ වෛද්‍යවරයකු ලෙස කැකිරාව රෝහලේ සේවය කර ඇත.

 

ඔහු 1947 සැප්තැම්බර් 28 වෙනි දින විශාල බූදලයකට උරුමකම් දැරූ විසිතුන් හැවිරිදි පද්මිණි සුසිලා පෙරේරා සමග විවාහ දිවියට පිවිසීය. පසුව ඇය පද්මිණි කුලරත්න විය. මෙම යුවල විවාහ වී සමුද්‍රසිරි නිවසෙහි පදිංචි වී බොහෝමත් සතුටි කල් ගෙවූයේ අවුරුදු කිහිපයකි. තෙවෙනි ළමයාගෙන් පසුව වෛද්‍ය කුලරත්න රජයේ රැකියාවෙන් අයින් වී පදිංචි ප්‍රදේශයේ පෞද්ගලික ඩිස්පෙන්සරියක් ආරම්භ කලේය. එහි සේවය සදහා රූමත් තරුණ යුවතියක් වූ “ආරියවතී” තම බිරිදගේ අකමැත්ත මත තොරාගත්තේ ය.

 

කාලයේ ඇවෑමෙන් ඔහු ඇය සමග අයුතු සම්බන්දයක් ඇති කර ගත්තේ ය. පසුව කුලරත්න මහත්මියට ඔහු ඇයත් සමග සමීපව ඩිස්පෙන්සරිය තුල හැසිරෙන විට අත්ටම ඇසුවිය. මෙම කාලය යහපත් කාලයක් නොවීය. නිතර අඩදඹර ඇතිවිය. පද්මිණි කුලරත්න මහත්මියගේ නැන්දම්මා වූ ලෝරා මහත්මියද ඇයට අකමැත්තක් දැක්වූ අතර සෑම අඩදඹරයක දීම පුතණ්ඩිය ගේ පැත්ත ගෙන ඇයට වෙනස්කම් කෙරුවා ය.

ඉතා කෙටි කලක් තුල ඔහු ඇයට මානසික රෝගයක් ඇති බව පවසා අංගොඩ රෝහලට ඇතුලත් කිරීමට වෙහෙසක් දැරුව වුවද ඇයගේ නැගනියක් වූ “ලලනි” නිසා එය වැළකුණි. ඔහු වරක් ඇයට අශ්වයන්ට තලන කසයකින්ද පහර දී ඇත. ඔහු සහ ඔහුගේ මෑණියන් ද එක්ව ඇයව උඩුමහලේ අදුරු කාමරයක් තුල සිරකර ලණුවක ආධාරයෙන පහත සිට ජනේලයකින් ආහාර ලබා දී ඇත. මෙම කාල වකවනුවේදීම ඔහු ඇයගෙන් 50000/- මුදලක් දී දික්කසාදය ඉල්ලුවද ඇය ඊට අකමැති විය. කාලය ගෙවුනි. මවැනි මානසික පීඩනයකින් යුක්තව ඇය කල් ගෙව්වාය.

 

දිනය 1967 අප්‍රෙල් 9 වැනිදාය.

 

පෙර පරිදිම වේවැල් කූඩයේ බහා උඩුමහලට යැවූ ආහාර ගෙන මදකට පසුව ඇයට අධික උදරයේ වේදනාවක් සමගම නොනවත්වා වැසිකිළි යාමට ආරම්භ වූ නිසා ඇය අප්‍රාණිකව ඇද මත පෙරලී ඇත. සිය සොහොයුරියට දුරකථනයෙන් ” මට හරි අමාරුයි මාව රෝහලකට අරන් ගියොත් බේරගන්න පුලුහන් වෙයි” ලෙස පණිවිඩයක් දී ඇත. සොහොයුරිය පොලීසියද රැගෙන එහි යනවිටත් ඇය මියගොස් තිබුනි.

 

පශ්චාත් මරණ පරීක්ෂණය ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු වූ වෛද්‍ය H V J ප්‍රනාන්දු මහතා විසින් සිදු කල අතර මෙම සිද්ධියේ ඇය විසින් දැමූ වමනය සහ ආමාශගත තිබූ සාම්පල පරීක්ෂාවෙන් ඇයගේ ආමාශයේ “පාසානම්” හෙවත් පොටෑසියම් ආසනික් (K3As) නැමති විශ ද්‍රව්‍ය 730mg අඩංගු විය. ඒ අනුව කිසිදු සැකයකින් තොරව පද්මිණි කුලරත්න ගේ මිය යාමට හේතුව විෂ රසායනික ද්‍රව්‍යයක් බව පසක් විය. මෙම විශ ශරීර ගත වී ඇත්තේ එම මොහොතේ ඇය අනුභව කරන ලද “බිලිං අච්චාරුවක්” මගින් බවට සැක පල කලේය. විෂ සහිත ආහාර පිසින ලද්දේ සොපියා වන බවත් ඊට අනුබල දීම නැන්දම්මා සහ ස්වාමියා ලෙසත් සැක කෙරිනි.

 

පොලීසිය විසින් ඇයගේ සැමියා නැන්දම්මා සහ සේවක සොපියා මිනීමැරීමට අනුබල දීම, මිනීමැරීමට කුමණ්ත්‍රණ කිරීම හා මිනීමැරීම යන චෝදනා සදහා සැක පිට අත්තඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමකින් ඉංග්‍රීසි කතාකරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කෙරිනි. නඩු විභාගයෙන් පසුව මොවුන් තිදෙනාට මරණ දණ්ඩනය නියම විය.

 

පසුව අධිනීතිඥ කොල්වින්.ආර් ද සිල්වා මහතා ඇතුලු අනෙකුත් අධිනීතිඥවරුන් විසින් චූදිතයන් වෙනුවෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කල අභියාචනය විභාගයේදී පහත කරුණු සලකන ලදී.

 

01) කිසිදු ඇසින් දුටු සාක්ෂියක් නොමැතිවීම.

 

02) මෙහෙකාරියක් වූ සිසිලින් විසින් විෂ රසායනික ද්‍රව්‍ය එක්කල ආහාර සැකසීම සිදු කල බව සැක කල හැකි වුවද පැමිණිල්ල විසින් සාක්ෂියට කැදවා නොතිබීම.

සිසිලින්ට එරෙහිව චේතනාව පිළිබඳ කිසිදු සාක්ෂියක් නොතිබුණි ඒ සමගම ඇයට කිසිදු චේතනාවක් නොමැති බවට කිසිදු සාක්ෂියක් ද නොවීය.

 

03) පද්මිණි කුලරත්නගේ කුඩා දියනිය වූ අචිනි නම් දැරිවියගේ සාක්ෂි පරස්පර වීම සහ යම් සාක්ෂි පිළිගත් නොහැකි වීම.

 

04)සාපරාධී නඩුවකදී සොයාගැනීම් වල අනන්‍යතාවය නිවැරදිව තිබිය යුත්තේ

ඔප්පු කළ හැකි ඍජු සාක්ෂි මගින් මිස අනුමාන කිරීමෙන් නොවේ. නඩු විභාගයේදී විශ්ලේෂකයා විසින් ආසනික් ඇති බවට සොයාගත් පද්මිණීගේ ආහාර පිගාන වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කල නමුත්, එම පිගාන තමා වෙත ගෙන ආ පොලිස් කොස්තාපල්වරයාට හෝ පොලිස් පරීක්ෂකවරයෙකුට ලබා දුන් අචිනිට හෝ එම තහඩුව හඳුනා ගැනීමට කැඳවූයේ නැත.

 

05) කුලරත්න මහතාගේ ඩිස්පෙන්සරිය තුල අල්මාරියක තිබී සොයාගත් බෙහෙත් සදහා යොදාගත් ආසනික් බෝතල් දෙක නිසා පද්මිණි කුලරත්න මහත්මියගේ ආමාශයේ තිබූ පොටෑසියම් ආසනික් එයම බවට ජූරිය නොමග යා හැකිව තිබූ බව.

 

06) විනිසුරුවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 230 ට ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි තිබේද නැතහොත් සාක්ෂි සාධාරණද, විශ්වාසදායකද, තීරණාත්මකද, නැතහොත් වෙනත් වචනවලින් කිවහොත්, සාක්ෂි වල බර සත්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අනුව විත්තිකරුගේ වරද තහවුරු කිරීම සඳහා පැමිණිල්ල විසින් ඔප්පු කළ යුතු විවිධ කාරණා සම්බන්ධයෙන් සාක්ෂි තිබේද යන්න විනිසුරුවරයා විසින් තීරණය කළ යුතුය. එවැනි සාක්ෂි සහ වරදින් තහවුරු වී තිබේද යන්න ජූරි සභාව විසින් තීරණය කළ යුතුය. එසේහෙයින් ජූරි සභිකයන් වෙත විය හැකි කරුණු සියල්ල පෙන්වාදීය යුතුව තිබියදීත් මෙම ඝාතනය සියදිවි හානිකරගැනීමක් විය හැකි බවට ජූරිය වෙත කරුණු නොදැක්වීම.

 

07)අපරාධ නඩු විධාන සංග්‍රහයේ 122 වන වගන්තිය යටතේ කරන ලද පරීක්ෂණයකදී කරන ලද ප්‍රකාශයක් භාවිතා කළ හැක්කේ එම අංශය විසින් අවසර දී ඇති සීමිත අරමුණු සඳහා පමණි. එය සෑදූ පුද්ගලයාගේ හැසිරීම සැක සහිත යැයි අනුමාන කිරීම සඳහා පදනම සැකසීමට එය භාවිතා කළ නොහැක.

 

08)චෝදනාවක් සංශෝධනය කිරීමට පෙර, විශේෂයෙන් ප්‍රමාද වූ අවධියේදී ආරක්‍ෂාව සඳහා කරුණු ඉදිරිපත් කළ යුතුය. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 හෝ 173 වගන්තිය ප්‍රකාරව නඩු විභාගය වහාම ඉදිරියට ගෙන යා යුතුද නැද්ද යන්න විනිසුරුවරයා තීරණය කිරීමට පෙර, එම සංශෝධනය සිදු කරන්නේ නම්, විත්තියේ උපදෙස් ලබා ගත යුතුය.

 

ඉහත ප්‍රධාන කරුණු සලකා අවසානයේදී අධිකරණ ක්‍රියාපටිපාටියේ වැරදි සහ ජූරි සභාව ඉදිරියේ ඉදිරිපත් කර ඇති කරුණු සාධාරණ ජූරි සභාවක් විසින් ඉදිරිපත් කළ හැකි සාක්ෂි වලින් බෙහෙවින් අඩුවී ඇතැයි යන මතය අභියාචනාධිකරණය විනිසුරුවන් ඒකමතිකව තීරණය කරන ලදී. ඒ අනුව, සාක්ෂි හා කරුණු සලකා බැලීමේදී ජූරි සභාවේ තීන්දුවට සහාය දිය නොහැකි බව ඔවුන්ගේ මතය විය.

 

චූදිතයන් චෝදනා සියල්ලෙන් නිදොස්කොට නිදහස් විය.

 

අද වන විට “සමුද්‍රසිරි” නිවසේ පහත මාලය සංචාරක හෝටලයකි, උඩුමාලය කම්කරු දෙපාර්තුමේන්තුවේ කර්‍යාලයකි.

 

පද්මිණි කුලරත්න මහත්මියව විෂ ශරීර ගත කර ඝාතනය කලේ ද..?

 

එසේ නොමැතිනම් ඇයට පීඩනය දරාගත් නොහැකිව සියදිවි හානි කර ගත්තේ ද..?

එය තවමත් අභිරහසකි.

 

– නීතිවේදී තිනෙත් කොරසගල්ල ගේ සටහනක් –

උපුටාගැනීමකී

About The Author

Leave a Reply