
රාජ්‍ය සේවය රටට බරක් යැයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අයවැයෙන් පසුවය. රජයේ කන්තෝරුවකට ගොස් වැඩක් කර ගැනීමට උත්සාහ කළ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් එම ප්‍රකාශය අනුමත කළ බවට සැකයක් නැත.
මෙරට රාජ්‍ය සේවය අකාර්යක්ෂම බව තර්කයකින් තොරවම සැවොම පිළිගන්නා සත්‍යයකි.
විවිධ අන පනත්, චක්‍රලේඛ වැඩ නොකිරීමට හේතුවක් කරගත්, වැඩ කළත් නොකළත් වැටුප් ලැබෙන බව දන්නා මන්දගාමී, කම්මැලි පිරිසකින් යුත් මෙරට රාජ්‍ය සේවය මෙරට දියුණු කාර්යක්ෂම රටක් බවට පත්කිරීමටත් පවතින ප්‍රධාන බාධාවකි.
මෙම, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන සිය පොකැට්ටුවෙන් බදු ගෙවමින් නඩත්තු කරමින් සිටියි.
මෙරට පුද්ගලික අංශය එයට හාත්පසින්ම වෙනස්ය. පුද්ගල හිමිකරුවන් ලාභ ඉපැයීම අරමුණු කොටගෙන පවත්වාගෙන යන පුද්ගලික අංශය අතිශය කාර්යක්ෂමය. පුද්ගලික අංශයේ අති බහුතරයක් සිටින්නේද වේගවත්, කාර්යක්ෂම, මිනිස්සුය.
වෙළදපොළ තරගකාරීත්වය නිසා ඔවුන්ට කාර්යක්ෂම නොවී බැරිය. පුද්ගලික අංශය සම්බන්ධ වූ තැනක් වේගවත්ය, දැනුමෙන්ද අප්ඩේට්ය. නව තාක්ෂණය, කළමණාකරන ක්‍රමවේද භාවිතා කිරීමට ඔවුන් දෙවරක් හිතන්නේ නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සේවය උපරිම ඵලදායක තත්ත්වයකට ගෙන ඒමට උපරිම උත්සාහ දරමින් වෙනස්කම් කිහිපයක්ම කළේය. එයින් ප්‍රමුඛ වූයේ රාජ්‍ය ආයතන, සංස්ථා, මණ්ඩලට වලට පුද්ගලික අංශයේ අත්දැකීම් සපිරි, උගත් දක්ෂ කළමණාකරුවන් පත්කිරීමය.
බොහෝ විට මෙතෙක් මෙම සංස්ථා මණ්ඩල සභාපතිධූර පත්කිරීම දේශපාලන දොලපිදේනි පමණක්ම වී තිබුනේය.
ඉන් එක් පත්කිරීමක් වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස සංජය මොහොට්ටාල පත්කිරීමයි. ඔබ සංජය මොහොට්ටාල නොදන්නවා නම් ඔහු ලෝකයේ ඉහළම උපදේශන සමාගමක් වන ඩොලර් බිලියන අටකට වඩා ආදායම් උපයන බොස්ටන් කන්සල්ටිං ගෘප් (BCG) හි කළමණාකරණ අධ්‍යක්ෂකධූරයක් දැරූ පුද්ගලයෙකි.
ජනපතිවරයා පුද්ගලිකව සිදු කළ ඉල්ලීම නිසාම ඔහු එපමණ වරප්‍රසාද සහිත ඉහළ තනතුරක් දමා ශ්‍රී ලංකාවට පැමිණියේය.
සැවොම ශ්‍රී ලංකාව අතහැර විදෙස් ගතවීමට සිහින මවන යුගයක, විදේශයක ඉහළම වරප්‍රසාද දමා ශ්‍රී ලංකාවට සිය දැනුමින් සහ අත්දැකීමෙන් සේවය කිරීමට ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආයෝජකයන් ඉදිරියේ ගොඩ නැංවීම, රටට අවැසි ආයෝජන පරිසරය සැකසීම, මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් කළමණාකරනය කරනා, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන ආයතනයයි.
ආයෝජකයන් දිනා ගැනීමට නම් එම ආයතනය ජාත්‍යන්තර ආයතන සමග කටයුතු කරමින්, ආයෝජකයන්ට පහසුකම් සලසන, කඩිනම් සේවාවක් ලබා දෙන ව්‍යූහයක් විය යුතුය. ආයෝජකයන්ට සුව පහසු කඩිනම් සේවාවක් ලබා දීමට තරම් කාර්යක්ෂම විය යුතුය.
මන්ද විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම උදෙසා තරග කරනා එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවේ. අසල්වැසි ඉන්දියාවේ සිට මාලදිවයින, මැලේෂියාව, සිංගප්පූරුව දක්වාම රටවල් වේගවත් සහ ආයතන දහසකටත් වඩා වැඩි ප්‍රමාණයක් කඩිනම් රාජ්‍ය ව්‍යූහ හරහා ආයෝජකයන් දිනාගැනීමේ තරගයක නියැලී සිටියි. එම රටවල් වේගවත්ය.
කාර්යක්ෂමය. නවීනම තාක්ෂණයෙන් අනූනය. ඉතින් ඔවුන් සමග තරග කිරීමට නම් BOI ආයතනයේ ආයෝජන ප්‍රවර්ධන කටයුතු යවත්කාලීන විය යුතුමය.
වෙනත් රාජ්‍ය ආයතන සමග සසඳන විට BOI ආයතනය වේගවත්භාවයෙන් සහ සේවා සැලසීමෙන් ඉදිරියෙන් සිටින ආයතනයකි. මෙරට පුද්ගලික අංශය පවා එය පිළිගන්නා අතර එහි ගෞරවය ඔවුන්ට ලබා දිය යුතුය.
තවද මෙරටට පැමිණෙන ආයෝජකයන් කළමණාකරනය කිරීමෙන් එහා ලෝකයට ගොස් එහි ආයෝජකයන්ට මෙරටට ආයෝජනය කිරීමට ආරාධනා කොට ආයෝජන දිනා ගැනීමට BOI ආයතනයේ ප්‍රධාන අරමුණ විය යුතුය.
එසේනම් පැහැදිලිව ආයෝජකයන් ආකර්ෂණය කරනා, ආයෝජන ප්‍රවර්ධනය කරනා ව්‍යූහයක් BOI ලෙසින් දියුණු විය යුතු බවත් සැකයක් නොවේ. විශේෂයෙන්ම රාජ්‍ය – පුද්ගලික අංශ සහයෝගීතාවයක් ඔස්සේ මෙවැනි ආයතන දියුණු විය යුතුය.
ඉන්දියාව වැනි රටවල් සිය ආයෝජන ආකර්ෂණ ව්‍යූහ සකසා තිබෙන්නේ එලෙසට රාජ්‍ය සහ පුද්ගලික අංශයේ එකතුවක් ලෙසිනි. එලෙසට ගොඩනැගු “ඉන්වෙස්ට් – ඉන්ඩියා” ව්‍යූහය අනඟි ප්‍රතිලාභ ලබාගෙන තිබේ.
ඒ සඳහා මෙරට BOI ආයතනයේ වෙනස්කම් කිහිපයක්ම සිදු විය යුතුය. වත්මන් සභාපති ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය BOI ආයතනයේ සිදුවිය යුතු මෙම වෙනස්කම් හඳුනාගත්තේය.
ඉන්පසු ජනපතිවරයාගේ පූර්ණ ආශිර්වාදයෙන් මෙරට BOI ආයතනය මෙවැනි ආයෝජකයන්ට පහසුකම් සලසන රාජ්‍ය – පුද්ගලික අංශ සහයෝගිතාවයකින් කටයුතු කරනා ව්‍යූහයක් සිදු කිරීමේ වෙනස්කම් සිදුකිරීම ඇරඹීය.
ඒ වෙනුවෙන් ප්‍රථමයෙන්ම BOI ආයතනයේ ව්‍යුහමය වෙනස්කම් සහ ආයෝජන සඳහා බලපාන නීති හා ක්‍රියාපටිපාටි සැකසීමට ඔහු කටයුතු කළේය.
එම කටයුත්ත සඳහා කළමණාකාරීත්වයට පුද්ගලික අංශයේ අත්දැකීම් ඇති පිරිසක් සේවයට බඳවා ගැනීමටත් ඔහු සැලසුම් කළේය. පුද්ගලික අංශයේ ආයතන මගින් BOI ආයතනයට තාවකාලික සේවා මාරු ක්‍රම ඇති කර ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ පුද්ගලික අංශයේ අත්දැකීම් ඇති විශේෂඥයන් පිරිසක් ඉහළ කළමණාකාරීත්වයේ නොමැතිව ආයෝජකයන් දිනා ගැනීමේ සටන ජය ගැනීම සිහිනයකි.
එහිදි I.T ක්ෂේත්‍රය, නීති ක්ෂේත්‍රය, මාකටිං, ආදී ක්ෂේත්‍ර ආවරණය වන ලෙසට අවශ්‍යතාවය මතම පමණක් මේ බඳවා ගැනීම් සිදුවේ.
පුද්ගලික අංශයේ අත්දැකීම් බහුල දක්ෂ ඒ ඒ ක්ෂේත්‍ර වල විශේෂඥයන් සොච්චම් වැටුපකට රාජ්‍ය සේවයට එන්නෙ නැත. එම ගැටලුව නිරාකරනය කිරීමට ඔවුන්ට සාධාරණ වැටුපක්ද ගෙවීමට සැලසුම් සකස් කළේය.
සම්පූර්ණ විනිවිදභාවයෙන් සිදුකෙරෙන මේ කටයුත්ත සඳහා ජනපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේද පූර්ණ අනුමැතිය හිමි විය.
සරලවම කිවහොත් ආයෝජන මණ්ඩලය තවදුරටත් ඊට ගැලපෙන ව්‍යූහයකින් ඩිජිටල්කරණය කළ යුතුය.
ඒ සඳහා දක්ෂ අයි.ටී කලමනාකරුවෙක් අවශ්‍යය. එවැනි ශක්‍යතාවයක් සහිත තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ කළමනාකරුවෙකුට පුද්ගලික අංශයේ මිලියනය ඉක්මවූ වැටුපක් ගෙවයි.
ආයෝජන මණ්ඩලයේ විදෙස් ආයෝජකයන් සමග ගිවිසුම් ඇති කරගන්නා විට එම ආයෝජන ශ්‍රී ලංකාවට වඩා වාසිදායක ලෙස සිදු කළ යුතුය. මේ සඳහා නව නීති රටට අවශ්‍යය.
ඒ සඳහා මෙවැනි විදෙස් වාණිජ ගණුදෙනු පිළිබඳ අත්දැකීම් ඇති ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු සහ නීතිඥ මඩුල්ලක් අවශ්‍යයය. එවන් විශේෂඥයන් පුද්ගලික අංශයේදී ඉහළ වැටුප් උපයන පිරිසකි.
ඔවුන්ට රටට සේවයක් කිරීමට අවශ්‍ය වූවත් ඔවුන් තමන් උපයන මුදලකට වඩා ඉතා අඩු වැටුපකට රාජ්‍ය සේවයට එන්නේ නැත.
මහා ගින්න ඇරඹෙන්නේ මින් පසුවය.
මේ නව නිළධාරී මඩුල්ල සම්බන්ධයෙන් කටකතා පතුරවා හැරීමට ඇතැමෙක් කටයුතු කළේය.
BOI සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය වැඩි වැටුපකට කළමණාකරුවන් බඳවා ගන්නවා යැයිද, එය මහත් නාස්තියක්ද යැයි පෙන්වා පුවත්පත් වල ලිපි පවා පළකිරීමටත් මෙම පිරිස කටයුතු කළේය.
කිසිම සොයා බැලීමකින් තොරවම මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක් උදෑසන පුවත්පත් කියවන මොහොතේ මහා වංචාවක් මෙන් එම පුවත් කියෙව්වේය.
ඔවුන් අදාල පුවත් කියවනවා හැරෙන්න ඒවා සම්බන්ධයෙන් ගවේෂණයක් නොකරන බව පැහැදිලිය.
මෙම පත්කිරීම්හි එහි අවශ්‍යතාවයත්, එයට පාදක වූ හේතුත්, එහි සැබෑ අරමුණත් කිසිවෙකුත් රටට කීවේ නැත.
එහි උපරිම ස්ථානය පසුකරමින් පසුගියදා ජනතාවගේ ඡන්දයෙන් පත්වූ 225න් කිහිපදෙනෙකු නියෝජනය කරනා කෝප් කමිටුවටද BOI ඉහළ කළමනාකාරීත්වය ගෙන්වූයේය.
එහිදි ප්‍රථමයෙන්ම දෙසීය විසිපහේ සාමාජිකයන් 2017- 2019 කාලසීමාවේ සිදුවූ කර්මාන්තපුරයකට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමේදි සිදුවූ මුදල් වියදම් කිරීමක් සම්බන්ධයෙන් එයට අදාලම නැති වර්තමාන BOI සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඔවුන්ගේ අරමුණ වන්නට ඇත්තේ සංජය මොහොට්ටාල කලකිරවීම වෙන්නට ඇත. ලොව ඉහළම සමාගමක සුපිරි වරප්‍රසාද අතහැර මවුබිමට දෙයක් කිරීමට පැමිණි මිනිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේ නොකළ වරදකට අසරණ විය.
ඉන්පසුව ඔවුන් මේ නව පත්කිරීම් සම්බන්ධයෙන්ද ප්‍රශ්න ඇසුවේය. එයට සැබෑ හේතුව පැහැදිලි කළ පසුවත් මෙම තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් BOI ආයතනය තුල නැතිදැයි මන්ත්‍රීවරු ප්‍රශ්න කළේය.
ඒ සඳහා දිය හැකි අවංක පිළිතුර නම් සෙසු රටවල් සමග ආයෝජන සඳහා තරග කිරීමට තරම් මානව සම්පත් නැත යන්නය. මෙම වෙනස්කම් සිදුවිය යුත්තේ පුද්ගලික – රාජ්‍ය අංශයේ සංකලනයක් ලෙසිනි. BOI ආයතනය ප්‍රතිව්‍යූහගත කිරීමේ මූලික සංකල්පය එයයි.
බොහො රාජ්‍ය ආයතන, ඇතැම් දේශපාලකයන් “උස නම් සිකුරුටි, මිටි නම් කම්කරු’ තියරියට අනුව සිය පාක්ෂිකයන්ගේ පත්කිරීම් වලින් පුරවා දමන බව රටම දන්නා කරුණකි.
කාලයත් සමග එම ආයතන වල සුදුසුකම් සහිත දක්ෂයන්, ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් හිඟයක් ඇති වීම පුදුමයක් නොවේ. රාජ්‍ය සේවය අකාර්යක්ෂම සුදු අලියෙකු වීමට වගකිව යුත්තේ මෙවන් ක්‍රියාදාමයන්ය.
ඉතින් නොකළ වැරදි මාධ්‍ය ඉදිරියේ පැටලවීමටත්, මුලු රටම ඉල්ලන පද්ධතියේ වෙනසක් සිදු කිරීමට යද්දී ඊට අකුල් හෙළීමේ කෝප් කමිටුවේ උත්සාහයත් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුය.
ඇතැම් විටෙක කෝප් කමිටුවේ උත්සාහය සහ මෙම වෙනස්කම් වලට විරුද්ධ වෘත්තීය සමිති වල උත්සාහය සාර්ථක වී සංජය මොහොට්ටාල කලකිරී මේ වගකීම් වලින් නිදහස් වූවා නම් පාඩුව ඔහුට නොව රටටය.
එනමුත් සුපුරුදු BOI ආයතනය ඉතිරි වී එහි සිදු කිරීමට ගිය වෙනස්කම් කඩාකප්පල් වූවා නම් ආයෝජකයන් දිනා ගැනීමේ තරගයේ ශ්‍රී ලංකාව තවදුරටත් ලොව සෙසු රාජ්‍යයන් ඉදිරියේ පරාජයට පත්වීමට ඉඩ තිබේ.
පාඩුව රටටය. සංජය මොහොට්ටාල සිදු කළත් වෙනත් කිසිවෙකු සිදු කළත් BOI ආයතනයේ මේ ව්‍යූහමය වෙනස්කම් ජාතික අවශ්‍යතාවයකි. ඒවා සිදු කළ යුතුමය.
ඒවා සිදු කරන්නට යද්දි කකුලෙන් අදින්නේ රටට ආදරය කරනා මිනිසුන් වන්නට නම් බැරිය.
“සිස්ටම් චේන්ජ්” තරම් ශ්‍රී ලංකාවේ මුමුනන වෙනත් වචනයක් නැත.
සිස්ටම් චේන්ජ් තරම් අප රටේ ජනතාව උනන්දුවෙන් ඉල්ලා සිටින දෙයක්ද නැත.
එනමුත් ශ්‍රී ලංකාවේ “සිස්ටම් චේන්ජ්” කිරීම ඉතාම අපහසුය.
එලෙස කිරීමට උත්සාහ දරනා පුද්ගලයාගේ කකුලෙන් ඇද පාගා දැමීමට පැරණි පද්ධතියෙන් ප්‍රතිලාභ ලබා ගන්නා බොහො දෙනෙක් බලාසිටියි. ඒ ශ්‍රී ලංකාවේ හැටිය.
කියනා තරම් “සිස්ටම් චේන්ජ්” කිරීම ශ්‍රී ලංකාවේ පහසු නැත.
එසේ වූවත් රටේ ප්‍රගමනය වෙනුවෙන් “සිස්ටම් චේන්ජ්” නොකරත් බැරිය.
ඒ සඳහා මූලිකත්වය ගත්, දෛර්ය සම්පන්න මිනිසුන් පසුපස සමස්ත රටම සිට ගත යුතුය.
BOI සිදුවීම අපහට කියා දෙන පාඩම එයයි.
– ඉෂාන් ජයසූරිය –