IMG_20211209_061023

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හත්වැනි තරගය වූ ජැෆ්නා කිංග්ස් හා කැන්ඩි වොරියර්ස් අතර තරගය ජය ගැනීමට ජැෆ්නා කිංග්ස්  කණ්ඩායම සමත් වුණා. ඒ, කැන්ඩි වෝරියර්ස් කණ්ඩායම ලකුණු 14කින් පරදවමින්.

 

තරගයේ කාසියේ වාසිය දිනූ වොරියර්ස් පිල පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළ අතර  ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා ගත් අතර ජැෆ්නා කිංග්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා තිසර පෙරේරා පන්දු 33කින් ගොඩ නැගූ සබදතාවය ලකුණු 105ක්.

 

අවිශ්ක ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 7ක් ඇතුළත් වූ අතර, තිලකරන්න සම්පත් යොමු කළ පන්දුවාරයකට පිටපිට හයේ පහර 5ක් එල්ල කිරීමට සමත්කම් දක්වනු ලැබුවා. නායක තිසර පෙරේරා ද ලකුණු 53ක් රැස් කළ අතර හයේ පහර 6ක් හා හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුළත් වුණා.

 

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දු වාර 14 කට සීමා වූ අතර නියමිත පන්දුවාර 14 තුළදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 181ක්.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 14 තුළ දී කඩුලු 5ක් දැවී  ලබා ගත හැකි වූයේ ලකුණු 166ක් පමණයි. පළමු කඩුල්ල සදහා චරිත් අසලංක හා කෙනාර් ලුවිස් අතර ලකුණු 64ක සබදතාවයක් ගොඩ නැගුණා. එහිදී අසලංක හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 42ක් රැස් කළා.

 

අනතුරුව පිටියට පිවිසි රොව්මන් පවෙල් කිංග්ස් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි වේගවත්ම අර්ධ ශතකය  පන්දු 15කින් වාර්තා කළ අතර ඔහු ලබා ගත් මුලු ලකුණු සංඛ්‍යාව 61ක්.

About The Author

Leave a Reply