800

මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති වත්මන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

 

එම බලවේගය තුළින් රටේ අනාගතය අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළ අතර වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද පැවැසීය.

 

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී  ඊයේ (8) පැවති රණවිරු ප්‍රතිභා ප්‍රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

 

සියලු ජාතීන්ගේ සමඟි සන්ධානය මගින් 28 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

 

රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී ඒ මහතා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.

 


දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්‍ෂය කටයුතු කරන බව ද කීවේය.

About The Author

Leave a Reply