1587035801_maxresdefault.jpg

නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුම අද දින අත්සන් තැබීම සිදු කළා.

කේබල් කාර් ව්‍යාපෘතීන් පිළිබඳව වසර  35ක පලපුරුද්දක් සහිත ලෝකයේ රටවල් 20ක කේබල් කාර් ව්‍යාපෘතීන් තිස්පහක් පමණ නිමකොට ඇති Outdoor engineers A.G (Switzerland) ආයතනයේ ශ්‍රී ලංකා සමාගම මගින් ඇමරිකානු ඩොලර් මිලියන 55ක වියදමින් නානුඔය සිට නුවරඑළිය ග්‍රෙගරි වැව දක්වා කිලෝමීටර් හතරක ප්‍රමාණයෙන් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතියේ කටයුතු වසර එකහමාරකින් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරනු ලැබේ. Outdoor Engineers (Switzerland) ආයතනයේ  සභාපති Oswald Graber මහතා ශ්‍රී ලාංකික සමාගම වෙනුවෙන්ද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර සහ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහතුන් නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

අමාත්‍ය සී බී රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාගරික සංවර්ධන අධිකාරීයේ ශ්‍රවණාගාරයේ පැවති මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ජයසූරිය, කේබල් කාර් ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සමාගමේ නියෝජිත අදීශ සිල්වා යන මහත්ම මහත්මීන් ද    සහභාගී වී සිටියහ.

සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ආරම්භ කරනු ලබන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මැතිතුමා දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකන බව නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහිදී පවසන ලදී.

About The Author

Leave a Reply