35 හැවරදි ඇලීසාගේ පියා මෙලොව හැර ගියේ මෙම වසරේ පෙබරවාරි මස 23වනදායි. නමුත් ඔහුගේ අවමංගල්‍ය කටයුතු අවසන් කිරීමටත් පෙර පෙබරවාරි මස 24වනදා රුසියනු හමුදා යුක්‍රේනයට පහරදීම අරඹනු ලැබුවා. කිව් අගනුවර ඉතාමත් කලබලකාරී වූයේ බොහෝ දෙනෙක් එය අතහැර යාමට ඒ වනවිටත් සූදානම්ව සිටි බැවින්.
ඇලීසා හා ඇගේ සැමියා තම මියගිය පියාගේ දේහය වලදැමීම සදහා අවසර ගැනීමට කිව් නගරය පුරා සුසාන භූමි වෙත ගියේ බොහෝ ස්තාන වල ඒ සදහා කිසිවෙකු සොයා ගැනීමට නොහැකි වූ බැවින්. මේ නිසා ඔවුන්ට කිව් නගරයෙන් පිටවීම වැඩි කාලයක් ගත වුනා. ඇලීසා හා ඇගේ සැමියාත් ඔවුන්ගේ සමීප ඥාතීන් කිහිපදෙනකු මෙන්ම වසර 12ක් වයසැති ඇගේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ මහලු සුන්ඛයාත්, නිවසේ සිටි තවත් සුන්ඛයෙකුද රැගෙන අතට අසුවන දේ පමණක් ගෙන ඔවුන් මෙලෙස කිව් නගරය අතහැර යනවා.
ඔවුන් සතු වූ Peugeot 307 වර්ගයේ මෝටර් රථයෙන් ඔවුන් පෝලන්තය වෙත යාමට පිටත් වුනත් කිලෝමීටර් 140ක දුරක් යාමට ඔවුන්ට පැය 16ක කාලයක් ගතවී තිබුනා. ඒ කිව් නගරය අතහැර යන වාහන වල අධික තදබදය නිසාවෙන්. කෙසේ නමුත් මේ කාලය අතර තුර යුක්‍රේන රජය විසින් වයස අවුරුදු 18ත් 60ත් අතර පුරුෂයන්ට රටින් පිටවීම තහනම් කරනු ලැබුවා.
පෝලන්තයට සැතපුම් 10ක දුරක් තිබෙන ගම්මානයකට ඔවුන් එදින රාත්‍රියේ පැමිණි නමුත් එහි වාහන පෝලිමේ රැදීසිට පෝලන්තය වෙත යාමට තවත් දින 5ක්වත් ගතවනු ඇති බවට හැගීගිය නිසා ඇලීසා තීරණය කරන්නේ වාහනය නැවත සිය සැමියාට දී පයින් පෝලන්ත දේෂසීමාව වෙත යාමටයි. මින් ඉදිරියට සැමියාට ඇය හා එක්වීමට නොහැකි වන නිසා එය ඔවුන්ට ඉතාමත් වේදනාකාරී සමුගැනීමක් වුනා.
ඇලීසාට පෝලන්තය වෙත පයින් යාමට තිබූ ඊලග ගැටලුව වූයේ ඇගේ මහලු මිතුරා වූ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුන්ඛයා රැගෙන යාමයි. අනෙකුත් බඩු හා මෙම සුනඛ මිතුරන් දෙදෙනා සමග ඇය පෝලන්තය වෙතයාම අරඹන්නේ පාන්දර 4ට සෙල්සියස් අංශක ඍණ 7ක තරම් සීතල වටපිටාවකයි. කෙසේ නමුත් මීටර් 200ක් පමණ ගිය තැන ඇලීසාගේ මහලු මිතුරා බිම ඇද වැටුනා. අධික ලෙස රෝගාතුරව සිටි මෙම මහලු මිතුරාට තව දුරටත් පයින් යාමට නොහැකි බව ඇයට වැටහුනා.
ඇය තම මිත්‍රයා රැගෙන යාමට කිහිප දෙනෙකුගෙන් උදව් ඉල්ලුවත් කිසිවෙකු ඇයට උදව් කිරීමට ඉදිරිපත් වූයේ නැහැ. ඔවුන් පැවසුවේ සුනඛයාව අතහැර යන ලෙසයි. නමුත් ඇයට එය සිදුකිරීමට කිසි ලෙසකවත් හිත දුන්නේ නැහැ. මේනිසා ඇලීසා සිදුකලේ තම මහලු මිතුරාව කරේ තබාගෙන සැතපුම් 10ක දුරක් පෝලන්තය වෙත රැගෙන යාමයි.
මෙම සිදුවීම විදෙස් මාධ්‍ය තුල විශාල ජනප්‍රියත්වයක් ලබාගත් අතර ඇලීසා පෝලන්තයේදී මාධ්‍යයට පවසා තිබුනේ ඇයට ඇගේ පියා නැතිවුනු බවත්, ඉන්පසුව තම ජීවිතයේ කොටසක් වූ තම සැමියාද යුක්‍රේනයේ අතහැර ඒමට සිදුවුනු බවයි. මේ නිසා තම ජීවිතයේ තමාට සිටි විශ්වාසවන්ත මිතුරා වූ මෙම සුනඛයාව අතරමං කිරීමට තමාට කිසිලෙසකවත් හිත නොදුන් බවයි.
ඇලීසාගේ මිත්‍රත්වය සැබැවින්ම අව්‍යාජයි. ඇයට ඥාතියෙකු බදු වූ ඇගේ සුනඛයා කෙරෙහි ඇයට තිබූ අසීමාන්තික බැදීම අද මුලු ලෝකයටම ආදර්ෂයක් සපයා තිබෙනවා. සීතලේ වෙව්ලමින් ඇය සැතපුම් 10ක් මෙම සත්වයා කරේ තබාගෙන ගොස් තිබීම ඇගේ ධෛර්යයවන්ත බව හා වීරත්වය මනාවට පෙන්වන සිදුවීමක්.
උපූටා ගැනීම මනුජිත් අබේරත්න