b0946b7d-ee04d5ec-129df7e9-protest_850x460_acf_cropped_850x460_acf_cropped

මේ ලිපියේ කතුවරයා මා නොවේ. ඒත් එය අද දවසේ කොයි කවුරුත් විසින් කියවියයුතුම ලිපියකි.

මා අරගලයට සහය නොදෙන්නේ ඇයි ?

මේ අවස්තාවේ මා වැනි තරුණ තරුණියන් සහ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් විසින් සිදු කරන ආණ්ඩු විරෝධි රැල්ලට සහය නොදක්වන්නේ ඇයිදැයි බොහෝ දෙනා අසති.

මේ උදාවී ඇත්තේ ආණ්ඩුවට සමීපව වැඩ කළ කලාකරුවන්, ගායකයන් වැනි පුද්ගලයන් පවා ක්ෂේත්‍රයේ රැඳි සිටීමට සහ තවදුරටත් සමාජජාලා වල ප්‍රතික්ෂේප නොවී සිටීමට ආණ්ඩු විරෝධී සටන් පාඨ අතට ගන්නා සමයකි.

රැල්ල එතරම් තදින් ගසයි.

රැල්ල කොතරම් ප්‍රබල වූවත් අතීතයේ පටන් ජනප්‍රියවාදී රැල්ලට හසු වී ගසා නොගිය පුරුද්දක් මට තිබේ. එම රැල්ලට එරෙහිව යන පුරුද්ද හේතුවෙන් සහ මෙම අරගලය පිළිබඳ මම දකින පූර්ණ චිත්‍රය නිසා මා අරගලයට සහය නොදෙන්නේ ඇයිදැයි මාගේ පරම්පරාවේ උන්ට විස්තර කිරීම යුතුමකි.

එය වටහා ගැනීමට මේ මොහොතේ බහුතරයක් සුදානම් නැති බවත්, හැකියාවක්ද නොමැති බවත් දනිමි. එනමුත් එය කොහේ හෝ සටහන් කර තැබීම මගේ යුතුකමක් සේ සලකමි.

1977 වසරේ පටන් මෙරට ආර්ථිකය දිව්වේ ණයටය.

ආර්ථික චක්‍රයට අනුව අප පාරිබෝජනය කළ යුත්තේ නිෂ්පාදනය කරය.

අප ජාතියක් ලෙසට ඉතිහාසයේ නිෂ්පාදනය වැඩි කිරීමට උත්සාහ කළේ නැත. එනමුත් අපගේ පාරිබෝජනය දිනෙන් දින වැඩි වෙමින් සංකීර්ණ විය.

මෙහි නිෂ්පාදන යනුවෙන් මා අදහස් කරන්නේ අප පාරිභෝජනය කරනා භාණ්ඩ හා සේවා සහ අපනයනය කරමින් ඩොලර් උපයා ගත හැකි භාණ්ඩ හා සේවාය.

රටක් වියදම් කළ යුත්තේ, පාරිභෝජනය කළ යුත්තේ තමන්ට දැරිය හැකි, නිෂ්පාදනය කරනා පරිමාවටය.

අප අතීතයේ පටන් ඩොලර් බිලියනයක් උපයා, ඩොලර් බිලියන පහක පාරිභෝජනය සිදු කළේය.

මේ හිඟය පියවුනේ ණය අරගෙනය.

මේ පාරිභෝජන රටාව නඩත්තු කරන අතරම, පෙර ණය ගෙවා දැමිය යුතු දිනයක් පැමිණේ.

එදිනට අඩු ඩොලර් ප්‍රමාණයකින්, ඊට වඩා කිහිප ගුණයක වියදම්ද ද්‍රා, ණයත් ගෙවීමට සිදුවීමෙන් අර්බුධය උදාවේ.

එවන් කාල අතීතයේ පැමිණි විට අතීත පාලකයන් පාරිභෝජනයට ඩොලර් සොයාගත්තේ රටේ ජාතික සම්පත් විකිණීමෙනි.

පසුගිය යහපාලන රජය ඩොලර් බිලියන 13ක ISB ණය ලබා ගෙන, හම්බන්තොට වරායද විකුණා ඩොලර් ලබා ගෙන මිනිසුන්ට කෑමට බීමට දුන්නේය.

එම මුදල් වලින් යළිත් මුදල් උපයා ගැනීමට ව්‍යාපෘති ආරම්භ කළේ නැත. අප මාසයකට ඩොලර් මිලියන 500ක ඛනිජ තෙල් ආනයනය කරනා ජාතියකි. අපේ ආනයන වියදම් ඉතා ඉහළය.

ඉතින් අතීත පාලයන් වරායවල් විකුණා පවා තෙල්, ගෑස් ගෙන ඒමට මුදල් සෙව්වේය.

රටේ සම්පත් විකුණා දමා හෝ සිදු කරන ඒ පාරිභෝජන රටාව මා ප්‍රතික්ෂේප කරන නිසා මෙම අරගල වලට මා සහය නොදෙමි

යම්තාක් දුරකට නිෂ්පාදන ක්‍රියාවලියක් රටේ ඇරඹීමට උත්සාහ කළේ සිරිමාවෝ අගමැතිනියයි. එදාත් මෙරට මෙලෙසම පෝළිං, භාණ්ඩ හිඟයන් ඇතිවිය.

අපේ වැඩිහිටි පරම්පරාව සිරිමාවෝ ගෙදර යැව්වේ ජේ.ආර්ට හයෙන් පහක බලයක් ලබාදීය. නිෂ්පාදන ක්‍රියාවලියත් ඒ සමඟ නැවතුනි.

ජේ.ආර් යළිත් ණයට ගෙන කන්න දෙන යුගය ඇරඹීය. රටේ ණය බර ක්‍රමයෙන් වැඩි විය.

අද අප කාලයක් පුරා පවත්වාගෙන ආ පාරිබෝජන රටාවේ තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනපතිධූරය දරන මේ සමයේ ක්‍රම ක්‍රමයෙන් විශාල වූ රටේ ආර්ථික අර්බුධය පුපුරා ගොස් තිබේ.

එය හරියට අනුර කුමාර කියූ ලෙස අර්බුධය පුපුරා යන අවස්තාවේ ජනපතිධූරය දරමින් සිටින්නේ ගෝඨාභයයි.

කොරොනා වසංගතයත්, පාස්කු ප්‍රහාරයත් මේ අර්බුධය වසර කිහිපයකින් ඉක්මන් කළ බවත් කිව යුතුය.

ඒ සඳහා වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවන නිසා මම මේ ඊනියා විරෝධ රැල්ලට ගසාගෙන නොගොස් සෘජුව සිටගනිමි.

එපමණක්ද නොවේ!

සිරිමාවෝ යුගයෙන් පසු, ණයට කන ආර්ථිකයට නැවතීමේ තිත තබා යළි නිෂ්පාදන යුගයක් ඇරඹීමට අර ඇද්දේ මේ ගෝඨාභය යුගයයි.

ආනයන අවම කරමින්, අපනයන වැඩි කිරීමට සිරිමාවෝ යුගයෙන් පසු රාජ්‍ය පාලනයක් කටයුතු කළා නම් ඒ මේ යුගයේදීයි.

කහ ආනයනය නවතා දමා මෙරට වගා කිරීමට දිරිමත් කිරීමේ සිට රජය කටයුතු කළ ප්‍රතිපත්තිය වූයේ එයයි.

අප ඉතිහාසය පුරාම කීවේ ශ්‍රී ලංකාව මුහුදෙන් වටවී ඇති රාජ්‍යයක් බවය. එනමුත් අප රටේ මත්ස්‍ය සම්පතෙන් අපනයන වෙළදපොළක් කිසිදා සෑදුනේ නැත.

ඉතිහාසයේ මුල්ම වරට ඒ සඳහා රාජ්‍ය අමාත්‍යධූරයක් සාදා, ඩොලර් මිලියන 500ක අපනයන වෙළදපොලක් සෑදූවේ වත්මන් රජයයි.

මෙරට වගා කළ හැකි සෑම දෙයක්ම ආනයන සීමා කළ, මෙරට නිපදවා ගත නොහැකි දේ පමණක් ආනයනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය විය.

ඒ සඳහාම රාජ්‍ය අමාත්‍යංශ සාදා තරුණ මන්ත්‍රීවරුන්ට භාර දීමට ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා කටයුතු කළේය.

ඉතිහාසය පුරාවටම මෙරට වාර්ෂික අපනයන ආදායම උපරිම ඩොලර් බිලියන දෙකකට සීමා විය.

මේ වනවිට වත්මන් රජය යටතේ මෙරට අපනයන ආදායම මාසිකව ඩොලර් බිලියනයකි.

ඒ රජය විසින් සිදු කළ අපනයන ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රතිඵලය.

ඒ හේතුවෙන් මම රජයට විරුද්ධව සිදු කෙරෙනා විරෝධතාවන්ට සහය නොදෙමි.

මෙම අරගලයේ පදනම වන්නේ ඩොලර් අර්බුධය නිසා ඇතිවී තිබෙනා ඉන්ධන සහ ගෑස් අර්බුධයයි.

දශක කිහිපයකට පෙර ආරම්භ වී කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැවැති අර්බුධයක්, වර්තමානයේ පාලනය වෙනස් කිරීමෙන් නොවිසඳෙන නිසාත්, එමගින් සිදුවන්නේ දේශපාලන ස්ථාවරත්වයත් නැතිවී අර්බුධය උග්‍ර වන නිසාත් මෙම අරගයට මම සහය නොදෙමි.

මෙවන් අර්බුධකාරී වතාවරණ වලට ඉතිහාසයේ වෙනත් රටවල් මුහුණ දී තිබේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය එයට හොදම උදාහරණයයි. මිනිසුන්ගේ ජීවිතය, පාරිභෝජන රටාව යුද්ධයෙන් පසු හටගත් ආර්ථික අර්බුධය නිසා දැඩි වෙනස්කම් වලට ලක්විය.

ජපනුන් සිදු කළේ ණයට හෝ කෑම ලබා දෙන ලෙස ඉල්ලා කැරලි ගැසීම නොවේ.

දිනකට පැය 18ක් කර්මාන්තශාලා වල වැඩ කර, කර්මාන්තශාලා වලම රැය පහන් කර වැඩ කිරීමය. ඒ සමයේ ජපනුන් බජිරි හා තනකොලත් කෑ බව කියවේ.

අද ජපානය ගොඩනැගුනේ එදා ඒ සිදුකළ මහා කැපකිරීම හා දාඩිය වැගිරීම මතිනි.

ජපනුන් මෙන් කැපකිරීම් කරන්නට මා කවදාවත් මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නැත. මෙරට ජනතාවට කිසිදිනෙක එලෙස කිරීමටත් නොහැකිය.

එනමුත් මෙම අරගලයේ නොකියවෙන සටන් පාඨය “සියලූම දේ නවතා ණය වී හෝ අපිට කන්න දීපල්ලා” වීම නිසා මෙම රැල්ලට මම සහ‍ය නොදෙමි.

දැන් දැන් මෙම අරගලය හුදෙක් ජනප්‍රියවාදි රැල්ලක් බවට පත්ව තිබේ.

මෙම අරගලයට සම්බන්ධ බොහෝ දෙනෙක් රටේ ආර්ථිකය අර්බුධය, එහි ආරම්භය, විකාශය සහ වර්තමාන තත්ත්වය පිළිබඳව අවබෝධයකින් පසුවන්නන් නොවේ.

ඔවුන් සිතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා හේතුවෙන් මෙරට ආර්ථික අර්බුධයක් ඇතිවී තිබෙන බවත්, ඒ හේතුවෙන් ඉන්ධන ගෑස් හිඟ ඇතිවී, විදුලි කප්පාදුවක් සිදුවන බවය.

නොදැනුවත්කම, රැවටීම සහ ජනප්‍රියවාදී රැල්ලට යෑම තුලින් කිසිදා හිමිවන සුගතියක් නැත. ඒ හේතුවෙන් මා මෙම අරගලයට සහය නොදෙමි.

පිළිතුර නම් ඉගෙනීම, දැනුවත්වීම සහ තර්කානුකූල චින්තනයයි.

මෙම අරගල පසුබිම තුල ෆේස්බුක් අඩවියේ හුවමාරු වන පුවතක් දුටිමි.

එහි කියවුනේ “ලෝක ඉතිහාසයේ ඒකාධිපතීන් විසින් ලබා ගත් ණය ඔවුන්ගෙන්ම ලබා ගත හැකි ක්‍රමයක් තිබෙන බවත්, ගෝඨාභය ලබා ගත් ණය අප (පුරවැසියන්) ගෙවීමට සුදානම් නැතිබවත්ය.

මේවා හුවමාරු කරගන්නා පුද්ගලයන් නොදන්නා සැඟවුනු සත්‍ය නම් 1948න් පසු සිය පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ ණය බර වර්ධනය නොකර, අඩු කළ එකම පාලකයා ගෝඨාභය බවය.

මෙතෙක් පාලකයන් සියලූම දෙනා සිය පාලන කාලයන් තුල ණය ගෙව්වාට වඩා ණය ගෙන තිබේ.

ගෝඨාභයගේ මෙම පාලන කාලය තුල ණය ගත්තාට වඩා ණය වාරික ගෙවා තිබේ. එනම් මෙම වසර දෙක හමාර තුල මෙරට විදෙස් ණය ලබා ගැනීම සෘණ අගයකි.

මේ නිසි තොරතුරු, දත්ත නොදැන, වෛරයෙන්, ක්‍රෝධයෙන්, වැරදි තොරතුරු වලින් රැවටී සිදු කරන අරගලයක් නිසා මම එයට සහය නොදෙමි.

මෙම අරගලය හේතුවෙන් දැනටම ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් දෙකක් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබේ. ඒ එංගලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ඒ ක්‍රම ක්‍රමයෙන් යළිත් බිඳවැටෙමින් තිබෙන්නේ පසුගිය මාස කිහිපයේ මෙරටට ඩොලර් ගෙන ආ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක ව්‍යාපාරයයි.

මෙම අරගලය හේතුවෙන්, අර්බුධයක් මැද සිටින රටක තවදුරටත් නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටමින් තිබේ.

එය අර්බුධය තවත් උග්‍ර කරනවා මිසෙක එයින් ගොඩ ඒමට කිසිදු උදව්වක් නොවේ.

එම නිසා මම මේ අරගලයට සහය නොදෙමි.

රටේ ගෑස් හිඟ වන විට, තෙල් පෝළිං වල කාලය ගත කිරීමට සිදු වනවිට, විදුලිය නොමැතිව දහදියෙන් තෙත් වී සීටිමට සිදුවන විට සිදුවන පීඩා මා හොඳින් දනිමි.

එම අර්බුධයට කෙටිකාලීන විසඳුමක් නොමැති බවත්, කළ හැකි හොඳම දේ මෙම අර්බුධය තවත් පරම්පරාවකට උරුම කර නොදී දිගුකාලීන වැඩපිළිවෙලක් ඔස්සේ විසඳීම බවද මා දනිමි.

ඒ හේතුවෙන් මෙම අරගලයට මම සහය නොදෙමි.

ටික දවසකට කලින් ලියන්න තිබ්බ එකක්.

About The Author

Leave a Reply