විදුලි බිල ගන්න..!!
(උස් හඬින්..)
මෙන්න කරන්ට් බිල ගන්න..!!!!
“ආ මල්ලි.. ඕක මීටර් පෙට්ටිය උඩින් තියල යන්න.. අපි ගන්නම්”..
ගේ ඉහළ මාලයේ ඉඳන්ම බිරිඳ පිළිතුරු දෙනු ඇසී මම නිවස ඉදිරිපසට ආයෙමි..
“ආ සර්.. මෙන්න කරන්ට් බිල.. පහුගිය මාසවල ලයිට් බිල් ටිකත් තාම මෙතන.. !!
“ඔව් මල්ලි.. කොච්චර පාවිච්චි කළත් රුපියල් 30 නේ එන්නේ.. ඒ නිසා බිල ගැන එච්චර උනන්දුවක් නෑ..”
“ඒක ඇත්ත.. සර්ගෙ “සෝලා” පැනල ටික හොඳටම වැඩ කරනවා.. ඒත් අපේ ඉංජිනේරු මහත්තුරු කියන විදියට, මේ වැඩෙන් අපිට හෙන පාඩුවක් වෙන්නේ.. අඩුම ගානේ මේ මීටරය කියවන්න යන වියදමවත් කවර් වෙන්නේ නෑ..!!”
ඇත්තටම මල්ලි ඔයාලා ඔය කරන වැඩේ Remotely කරන්න බැරිද.. ?
“මොකද බැරි සර්.. Smart Meter එක සවිකරන එක විතරයි තියෙන්නේ.. අපි මේ Meter Readers ලා කියලා කරන්නේ මහ බොරු රස්සාවක්.. මෙච්චර තාක්ෂණය දියුණු කාලේ, ගෙවල් ගානේ ඇවිදින්නේ නැතිව, මේක Remotely කරගන්න බැරි වෙන්න හේතුවක් නෑ.. එකම දේ අපේ මිනිස්සුන්ට ඕනෑකමක් නැතිකම…!!”
ඒත්, එතකොට ඔයාලාගේ රස්සා වලට මොකද වෙන්නේ ?
“ඔහොම තමයි අපේ හුඟක් දෙනෙක් හිතන්නේ .. ඒත් මම දකින්නේ වෙනස් විදියට.. අපිට මේ බලශක්ති ක්ෂේත්රයේ ඕනෑ තරම් කරන්න දේවල් තියෙනවා.. මේ Meter Reading කියන බොහොම පොඩි දේට කොටු වෙලා ඉන්නේ නැතිව.. අපි ලංකාවේ Meter Readers ලා 5000 ක් විතර ඉන්නවා.. මම කියන්නේ අපි ඔක්කොම බලශක්ති කළමනාකරුවන් විදියට පාරිභෝගිකයන් ඉස්සරහට එන්න ඕන.. ඒ කීවේ “Energy Managers” ලා විදියට..
මට තේරුණේ නෑ..?
“මේකයි සර්.. බලශක්තිය කියන්නේ අපේ රටේ සංවර්ධනයට තදින්ම බලපාන සාධකයක්.. විදේශ විනිමය අතින් ගත්තත්, භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අතින් ගත්තත්.. ජීවන වියදම අතින් ගත්තත්.. හැම දේටම මේක බලපානවා.. ”
“ඉතිං මේ බලශක්තිය හරියාකාරව කළමනාකරණය කරලා පාවිච්චි කරන්න අපිට මිනිස්සුන්ට, ආයතන වලට උදව් වෙන්න පුළුවන්.. විදුලිය නාස්ති වෙන තැන්, කාර්යක්ෂම තාක්ෂණ විධි හඳුන්වා දෙන්න පුළුවන්.. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා, කාර්යාල, රාජ්ය ආයතන වගේ තැන්වලට.. මේකට කියන්නේ Energy Audit කියලා..”
ඉතිං ඒකෙන් අන්තිමේ පාඩු වෙන්නේ ඔයාලාටමනේ ?? විදුලි බිල අඩු වුණාම.. ??
“අන්න ඔතන තමයි සර් වැරැද්ද.. අපේ ලොකු පුටුවල ඉන්න මහත්තුරුන්ගේ ආකල්පයත් ඕකමයි.. එයාල හිතන්නේ මේක Business එකක් විදියට.. වැඩිපුර විකිණුවොත් වැඩිපුර ලාභ.. !! ඒත් මේකෙ අවසාන ලාභය යන්නේ අපේ රටට ගල් අඟුරු, බොරතෙල් පටවන පිටරට කොම්පැණිකාරයින්ගෙන් සාක්කුවට කියන දේ දකින්න තරම් රට ගැන කැක්කුමක් ඒ අයට නෑ..!!”
“අපේ විදුලි උත්පාදනයෙන් සීයට විස්සක් Transmission Loss එක.. ඒක අමතක කරමු.. තව සීයට තිහක් විතර පාරිභෝගික මට්ටමේ නාස්තිය.. අපි මහන්සි වෙලා ඒකෙන් සීයට දහයක් කපා හරින්න පුළුවන් නම්, රුපියල් කෝටි කීයක ඉතිරියක් ද රටට ?.. එයිට අමතරව, සූර්ය බලශක්තිය, බැටරි තාක්ෂණය, කාල සීමා අනුව විදුලි භාවිතය වගේ දේවල් ගැන දැනුවත් කරන්න පුළුවන්.. අන්න එතකොටයි අපේ රස්සාව රටට වැඩදායක එකක් වෙන්නේ..”
ඉතිං ඕක ඔයාලට දැනුත් කරන්න පුළුවන්නේ… විදුලි බිල දෙන ගමන් විදුලිය පිරිමහන හැටි කියලා දෙන්න..
” නෑ සර්.. ඒක කවදාවත් එහෙම වෙන්නේ නෑ.. අපේ කට්ටිය එන්නේ එදා දවසට කවර් කරන්න තියෙන මීටර් ටික read කරලා යන්න.. අඩුම ගානේ, ඉස්කෝලෙකටවත් ගිහින් ඒකෙ ළමයින්ට කියලා දෙන්න උනන්දුවක් නෑ, කොහොමද විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කියන එක..”
මුලින්ම වෙන්න ඕන ආකල්ප සංවර්ධනය..