
විදෙස් රැකියාවන්හි නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට වාණිජ බැංකු වෙත එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී විශේෂ ණය මුදලක් ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් සකසා ඇත.
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක ඇති අනේවාසික ගිණුමක් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබා ගත හැකි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව යම් විගමණික සේවකයකු මසකට ඇමරිකන් ඩොලර් 100 බැගින් වසරක් සඳහා එවනු ලබන ඇමෙරිකානු ඩොලර් 1,200ක මුදලක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 6,000ක ණය මුදලක් ලබා ගත හැකි වනු ඇත.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට මෙරට සියලු වාණිජ බැංකු එකඟ වී ඇති අතර ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. ඊට විදේශ සේවා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් හා මෙරට සියලුම වාණිජ බැංකු නියෝජිතයෝද සහභාගි වූහ.