එක්තරා ගුරුවරයෙකුට කාලයකට පස්සේ තමන්ගේ ශිෂ්‍යාවක් හමුවෙනවා . ඇයගේ අතේ කුඩා දරුවෙක් .
“ඉතින් , කොහොමද පුතා ?
මොකද කරන්නේ දැන් ?”
ගුරුවරයා දයාබර ලෙස විමසනවා .
“මම රස්සාවක් කරනවා සර් .
ඒ කාලෙ සර් ජීවිතයට කියාදුන් පාඩම් වලට පින් සිද්ද වෙන්න.
ඒ වුනාට මම අසාර්ථකයි සර් .
මෙයාගෙ තාත්තා මගෙන් වෙන් වුනා. ජීවිතය තරමක් අමාරුයි.
හිතට හරි කරදරයි.”
ඇය ගුරුවරයාට පවසනවා .
“මම මේ කිට්ටුවමයි ඉන්නෙ. අර ඉස්සරහ පාරෙ. එන්න මොනව හරි බීල අපි ටිකක් කතා කරමු.”
ගුරුවරයා සුපුරුදු දයාබරත්වයෙන් ඇයට යෝජනා කරනවා .
දෙදෙනා ගුරුවරයාගේ නිවස කරා ගුරුපාර දිගේ පයින්ම යන ගමන්, හදිසියේ අසල ගසකින් ඔවුන් අතරට වැටෙන්නේ දෙහි ගෙඩියක් .
ගුරුවරයා බිමට පහත්ව, දෙහි ගෙඩිය අහුලා ගන්නවා.
“ආං, මේක ගන්න.”
ඔහු ඒ දෙහි ගෙඩිය ඇයට දෙනවා .
“අපෝ දෙහි ගෙඩියක්! ඕනැ නෑ සර්”
ඇය පැකිළෙනවා.
“මේක පැණි දොඩමක් වුනා නම් අපට කකාවත් යන්න තිබුනා. ඒත් අපට හැමදාම ලැබෙන්නේ ඇඹුල් දෙහි තමා.”
ඇය පවසනවා.
ගුරුවරයා නිශ්ශබ්ද ව දෙහි ගෙඩිය රැගෙන ගමන් කරනවා .
ගෙට ඇතුළුව සිය ශිෂ්‍යාව හා දරුවා ආලින්දයේ අසුන් ගන්වන ඔහු , මුළුතැන්ගෙට යනවා .
අනතුරුව අර දෙහි ගෙඩිය කපා, මිරිකා, සිසිල් ජලය මුසුකොට , සීනි දමා, රසවත් බීමක් සකසා ඔහු ඇයට හා දරුවාට පිළිගන්වනවා.
“තෑන්ක් යූ සර්, හරීම රසයි !
මම ඇත්තටම හරි මහන්සියෙන් හිටියේ .
බොහොම ස්තුතියි !!”
ඇය බීම වීදුරුවේ රසය අගය කරනවා .
“නමුත්, ඔය ඔබ ඇඹුල් බව පවසා ප්‍රතික්ෂේප කල දෙහි ගෙඩිය.
මම කලේ එය මිරිකා සීනි දමා රසවත් කිරීම පමණයි.”
ගුරුවරයා පවසනවා.
“ජීවිතය හැමදාම අපට පැණිදොඩම් දෙන්නේ නෑ, ඇඹුල් දෙහි දෙන වාර අනන්තයි .නමුත් කට හිරිවට්ටන ඇඹුල් දෙහි වගේ ප්‍රශ්න, කපා මිරිකා , අවශ්‍ය දේ මුසුකොට රසවත් දේ නිර්මාණය කර ගැන්ම අප සතුයි.
ඊට ඉවසීම, උපේක්ෂාව , පසුනොබසින බව, නිවැරැදි අවබෝධය වගේ ගුණාංග අපේ ජීවිතය තුල ඇතිකරගත යුතුයි.
ප්‍රශ්න කියන්නෙ අඩු වැඩි විදියට අප හැම දෙනාටම තියෙන දේවල්. නමුත්, ඉන් නොතැවී, ඊට නිවැරැදිව මුහුණ දෙමින් එම තත්වය ජය ගැන්මට අවශ්‍ය හැකියාව අප ඇති කර ගත යුතුයි .
අමතක කරන්න එපා , කෝටි ගණන් වටිනා දියමන්ති බවට පත්වන්නේ, වසර මිලියන ගණනාවක් අඳුරු මහ පොළොව යට, ටොන් ගණනාවක පීඩනයක් දරාගෙන තෙරපි තෙරපී ඉන්නා ගල් අඟුරු බව.
ඔබත් ඒ වගෙයි.
ඔව්, සැබවින්ම ඒ වගේමයි.
ඉතින්,
ඔබටත් පුළුවන්..”
උපුටා ගැනීමකී ……..