ජාතියේ පියාවූත්, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූත් මහාමාන්‍ය ඩී.එස්. සේනානායක 1952 මාර්තු 22 වැනිදා රටම සෝ සයුරේ ගිල්වා ඛේදනීය හදිසි අනතුරකින් මරණයට පත්වූයේය. ඔහුගේ අකල් මරණය නිසා රටේ ඊළඟ අගමැතිවරයා පත් කිරීමේ අවශ්‍යතාව පැන නැගුණේය.
1951 දී ඊට වසරකට පමණ පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ප්‍රාරම්භක සාමාජිකයකු වූත්, පක්ෂයේ ඊළඟට සිටි ප්‍රබලයා වූත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුව හැර ගොස් විරුද්ධ පක්ෂය වෙත පැති මාරු කළේය. ඔහු පක්ෂය හැරයාම නිසා පක්ෂයේ දෙවැන්නා වීමේ අවස්ථාව සර් ජෝන් කොතලාවලට හිමිවූයේය. කෙසේ වුවද ඩී.එස්. සේනානායකගේ මරණයත් සමග ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම එතැනට පත්වීමට නියමිතව සිටි සර් ජෝන් කොතලාවලට අවනත නොවන තත්ත්වයක් මතු වූ බැවින් අර්බුදයක් පැන නැගුණේය. සර් ජෝන් වෙනුවට ඔවුහු ඩඩ්ලි සේනානායක තෝරා ගත්හ.
සර් ජෝන් එයින් උරණ වූයේය. කෙසේ වුවද ඩඩ්ලි සේනානායක එකහෙළා අග්‍රාමාත්‍ය තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. තමාට එම තනතුර ලැබිය යුත්තේ දෙවනුව යයි හෙතෙම කියා සිටියේය. ඔහු සමග පැවති සියලු සාකච්ඡා අසාර්ථක වූ පසු ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රී කණ්ඩායම්, සර් ජෝන් අගමැති තනතුරට පත්වුවහොත් විරුද්ධ පක්ෂයට යන බවට තර්ජනය කළහ. එවර තර්ජන එල්ල වූයේ ආණ්ඩුවේ පැවැත්මටයි. එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඩඩ්ලි සේනානායක අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වූ පසු අර්බුදය තරමක් සමනය වූයේය. සර් ජෝන් ඩඩ්ලිගේ කැබිනට් මණ්ඩලයේ සේවය කිරීමට ද එකඟ විය.
සර් ජෝන්, ඩඩ්ලි සේනානායක යටතේ කටයුතු කිරීමට එකඟ වූයේ ඔහුගේ මව ඔහුව කැමැති කරවා ගත් නිසාය යන්න ප්‍රසිද්ධියට පත්වූ කාරණයක් වූයේය. කෙසේ වුවද මෙසේ අමනාපයෙන් ඇතිවූ එකඟතාව වැඩි කලක් පැවතියේ නැත. අවසානයේ එය පුපුරා ගියේ ‘The Prime Minister’s Stakes 1952’ (අගමැතිවරයාගේ අර්බුදය – 1952) නම් නිර්නාමික ලේඛනයක් ප්‍රසිද්ධියට පත්වීමෙනි. ඩඩ්ලි සියලුම වර්ගයේ ද්‍රෝහිකම් කළ බවට චෝදනා කරමින් එය රචනා කරන ලද්දේ සර්. ජෝන් කොතලාවල විසින් යයි බොහෝ අය සිතූහ.
ඩඩ්ලි සේනානායක අගමැති පදවියට පත්වූ ආකාරය අනුමාන කෙරෙන විවිධ ප්‍රකාශ නිකුත් වන්නට ගත්තේය. ඩී.එස්. සේනානායක ඔහුගෙන් පසු පදවියට එන්නා ලෙස ඩඩ්ලි නම්කර තිබූ බැවින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, එජාපය හැර ගිය බවට සමහරු අදහස් පළ කළහ. එහෙත් ඩඩ්ලි සේනානායකට ඊළඟට අගමැති තනතුරට පත්වීමට හේතු වූ කාරණා ඇසුරින් වෙනත් කතාවක් පැවසේ.
1951 ජුලි 12 වැනිදා පිල් මාරු කළ අවස්ථාවේ බණ්ඩාරනායක කළ ප්‍රකාශයෙන් කියවෙන්නේ තනිකර වෙනස් කතාවකි. එම කතාවේදී ඔහු අගමැති ඩී.එස්. සේනානායක ගැන පවසන්නේ වඩාත් වැදගත් කාරණා කිහිපයකි.
“මා වසර ගණනාවක් තිස්සේ එක්ව කටයුතු කළ අයගෙන් වෙන් වන්නේ මහත් ශෝකාකූල වූ ගැඹුරු හැඟීමක් සිත්හි දරාගෙනයි. ඒ බොහෝ අය මා සැලකුවේ මගේ පෞද්ගලික මිත්‍රයන් හැටියටයි. ගරු අග්‍රාමාත්‍යවරයා වෙතින් මා පෞද්ගලික වූ කාරුණික අනුග්‍රහය බොහෝ ලබා ඇත්තෙමි. ඔහු සම්බන්ධයෙන් මහත් ගෞරවාදරයක් පුද කරන්නට මා යොමුවන බව පවසන්නට මා කිසිසේත් පැකිලෙන්නේ නැත. එසේම මා ඉදිරිපස ඇති ආසනවල මගේ හොඳ මිතුරන් බොහෝ දෙනෙක් සිටිති.”
ඔහුගේ මුළු කතාවේම කිසිම තැනක ඩී.එස්. සේනානායකගෙන් අනතුරුව එම තනතුරට පත්වන අයකු ගැන කිසිම සඳහනක් නැත.
අවධානයට ලක්වන තවත් වැදගත් කාරණයක් වන්නේ ඒ වනවිට එකම හෝ පුවත්පතක ඩී.එස්. සේනානායකගෙන් පසුව අගමැති තනතුරට පත්වන්නා ලෙස ඩඩ්ලි සේනානායකගේ නම සඳහන් නොවීමයි. අද මෙන් නොව ඒ කාලයේ මාධ්‍ය කිසිම අයුරකින් රජයේ ආධිපත්‍යයට යටත්ව තිබුණේ නැත. අපක්ෂපාතීව ඕනෑම කාරණයක් වාර්තා කරන්නට ඔවුනට නිදහස තිබුණ බැවින් ඒ කාලයේ මාධ්‍ය කටයුතු කළේ ඒ අයුරිනි. ඩඩ්ලි සේනානායකගේ නම සම්බන්ධයෙන් පුවත්පත්වල පළවූ දෑ මෙහි සඳහන් කරන්නේ සැබවින්ම සිදු වූ දේ කුමක්ද යන්න ගැන සැබෑ අවබෝධයක් ඇති කරගනු පිණිසය.
“දේශපාලන කවයේ සැලකිය යුතු තරම් අනුමාන කිරීම් සිදුවන අතර නිල නොවන සාකච්ඡාද විවිධ අන්දමින් පවත්වා තිබේ. ලන්ඩන් පුවත්පත්, ඩඩ්ලි සේනානායක (කෘෂිකර්ම අමාත්‍ය සහ දිවංගත අගමැතිවරයාගේ පුත්‍ර), ජේ.ආර්. ජයවර්ධන මහතා (මුදල් අමාත්‍ය) සහ සර්. ජෝන් කොතලාවල (ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක) යන නම් අනුමාන වශයෙන් දක්වා ඇත.”
“ඊළඟට අගමැති පදවියට පත්වන්නා ඩඩ්ලි සේනානායක සේ පෙනී යන බව එක් පුවත්පතක් ප්‍රකාශ කළේය.”
“ඇතැම් ඉන්දීය පුවත්පත් පැවසුවේ සර්. ජෝන් කොතලාවල ඊළඟට තෝරා ගැනීමේ ප්‍රවණතාවක් පවතින බවයි.”
පුවත්පත්වල කතා කර ඇත්තේ අනුමාන කිරීම් ගැනයි. තෝරා ගැනීමට ඉඩ ඇති නම් තුනක් ඒවායේ සඳහන් කළ අවස්ථාද පවතී. එහෙත් ඩී.එස්. සේනානායක විසින් අග්‍රාමාත්‍ය පදවියට ඩඩ්ලි සේනානායක නම් කර ඇති බව ගැන වචනයකුදු කිසිම පුවත්පතක පළ කර නැත. 1952 මාර්තු 26 වැනි බදාදා සිලෝන් ඔබ්සවර් පුවත්පතේ (පසු සංස්කරණය) ප්‍රධාන පුවත් ලිපියේ සඳහන් කර ඇත්තේ මෙසේය.
“ආණ්ඩුවක් පිහිටුවන ලෙස කරන ලද ආරාධනය ඩඩ්ලි සේනානායක මහතා පිළිගනී.”
“ආණ්ඩු පක්ෂයේ සියලුම අංශවල සහයෝගයෙන්.”
“සමහර කණ්ඩායම් සර් ජෝන් කොතලාවල පිළි නොගනී.”
ඔබ්සවර් වාර්තාකරුගෙන්
“දිවංගත ගරු ඩී.එස්. සේනානායකගේ 41 හැවිරිදි පුත්‍ර ඩඩ්ලි සේනානායක මහතාට අද දහවල් අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි විසින්, රජයක් පිහිටුවන ලෙස ආරාධනා කරනු ලැබිණි.”
“සෝල්බරි සාමිවරයා මෙම පියවර ගත්තේ අද දින ලන්ඩන් නුවර සිට බී.ඕ.ඒ.සී. ගුවන් යානයකින් මෙරටට පැමිණ ටික වේලාවකට පසුව මධ්‍යහ්න 12.00ටය.”
“ඩඩ්ලි සේනානායක මහතා, පසුගිය සෙනසුරාදා ඔහුගේ පියාගේ ඛේදනීය මරණයෙන් හිස් වූ තනතුරේ වැඩ භාර ගැනීමට කැමැත්ත පළ කළේය.”
“මෙම තත්ත්වය කරා කටයුතු වර්ධනය වූයේ සර් ජෝන් කෙතලාවල අගමැතිවරයා ලෙස ඔවුනට පිළිගැනීමට නොහැකි බවට රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් අදහස් පළ කිරීමෙන් පසුව එම මත ඔවුන් අතර සන්නිවේදනය කර ගැනීමෙන් අනතුරුවය.”
“දහනව දෙනෙක් සර් ජෝන් ප්‍රතික්ෂේප කරති. රජයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ 19 දෙනකු ඩඩ්ලි සේනානායක මහතාට ලිපියක් ලියමින් කියා සිටියේ ඔහු රජයක් පිහිටුවීමට සූදානම් වන අවස්ථාවකදී අපි මුළු හදවතින් ඔබ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව තරයේ කියා සිටිමු. ඔබට සාධාරණය ඉටු වන පරිදි, වෙන කිසිම අයකු විසින් පිහිටුවනු ලබන පාලනයකට සහයෝගය නොදෙන්නට අපි ඒකායන අධිෂ්ඨානයෙන් යුතුව පසු වන්නෙමු. අප තවදුරටත් කියා සිටින්නේ වෙන කිසිම අයකු විසින් රජයක් පිහිටුවන්නට උත්සාහ ගන්නේ නම්, අප ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වන බවයි.” යනුවෙනි.
එම කණ්ඩායමම සර් ජෝන් අමතමින් පහත සඳහන් සන්නිවේදනය කරනු ලැබීය.
“අද උදෑසන ඔබ සමග පැවැති සාකච්ඡාවේදී ඇතැම් යෝජනා අපගේ සැලකිල්ලට භාජන කිරීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන්නට කාරුණික වූයේය. ඔබගේ යෝජනා අපි සැලකිල්ලට භාජන කර ඇත්තෙමු. අප දන්නා තරමින් ඒවා ප්‍රායෝගික නොවන්නා සේම ව්‍යවස්ථා විරෝධීද වේ. ඔබ සහ අප ඉදිරියේ ඇති කාර්ය භාරය ඉටු කිරීමට ඒවා තවදුරටත් අපගේ මනාපයට බලපෑමක් නොකරයි.
අපගේ දිවංගත අගමැතිවරයා ඉදිරියේ වූ අරමුණ කරා යොමු වන්නටද ඒවා ඉවහල් නොවන බව අපගේ මතයයි.
එම නිසා අප කනගාටුවෙන් යුතුව දැනුම් දෙන්නේ ඔබ රජයක් පිහිටුවන්නට උත්සාහ දරන අවස්ථාවක ඔබට සහයෝගය දෙන ස්ථාවරයක අප නොසිටින බවයි.”
දමිල කොංග්‍රසයේ ආකල්පය.
දමිල කොංග්‍රසය ඔවුන්ගේ නායක ජී.ජී. පොන්නම්බලම් මහතා හරහා, සර් ජෝන් කොතලාවල අගමැතිවරයා ලෙස පිළිනොගන්නා බව ආණ්ඩුකාර තැන වෙත දැනුම් දී තිබේ. කෙසේ වුවද ඔවුහු ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුතු රජයකට සහයෝගය දෙන්නට සූදානමෙන් පසුවෙති.
පාර්ලිමේන්තුවට පත්ව ඇති මන්ත්‍රීවරුද අග්‍රාණ්ඩුකාරවරයාට දන්වා ඇත්තේ මීළඟ අගමැතිවරයා ඩඩ්ලි සේනානායක විය යුතුය යන මතය ඔවුන් දරන බවයි.
මෙම තනතුර ඩඩ්ලි සේනානායක භාර ගැනීමේදී සම්පූර්ණ සහයෝගය දීමට විවිධ මන්ත්‍රීවරුන්ද තනි තනිව දැනුම්දී තිබේ.
ඩඩ්ලි සේනානායක අග්‍රාමාත්‍ය පදවිය භාරගන්න පෙළඹුණු සිදුවීම් මේවාය. එකල කිසිදු පුවත්පතක්, ඩී.එස්. සේනානායක මහතා ඔහුගෙන් පසු අග්‍රාමාත්‍ය පදවියට ඩඩ්ලි සේනානායක පත් කර ඇති බවක් වාර්තා නොකළේය. සෑම මාධ්‍ය වාර්තාවකම දක්වා තිබුණේ ඩඩ්ලි එල්ලවූ දැඩි බලපෑම ඔහුට එම තනතුර භාර ගන්නට හේතු වූ බවයි. තනතුර භාර නොගතහොත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමිවන තත්ත්වයක් පෙනෙන්නට තිබුණු නිසා ඩඩ්ලි සේනානායක අකමැත්තෙන් තනතුර භාර ගැනීමට එකඟ විය. කෙසේ වුවද ඔහු පාර්ලිමේන්තුව විසුරුවා ජනවරමක්, ජනතාවගෙන් ලබාගත්තේය යන මතයේ ඔහු තරයේ පිහිටා සිටියේය. 1952 මාර්තු 26 වැනිදා ඩඩ්ලි සේනානායක අගමැති ලෙස දිවුරුම් දුන්නේය. ඊට දින 13කට පසුව අප්‍රේල් 8 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ, අලුත් ජනවරමක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ඔහු එවැනි කැපකිරීමක් කළේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. ඔහු මැතිවරණය ජයගත්තා පමණක් නොව, ඔහු පාර්ලිමේන්තුවේ පළමු වරට තුනෙන් දෙකේ බහුතරයක්ද ලබා ගත්තේය.
ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ලෙස දිවුරුම් දී පස් මසක් ඉකුත්ව ගිය පසු ඩී.එස්. සේනානායක ඔහුගෙන් පසුව එම තනතුරට ඩඩ්ලි සේනානායක නම්කර පැවතියේය යන චෝදනාව දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගියේ The Prime Minister’s Stake – 52 නම් ලේඛනය හේතුවෙනි. පුරප්පාඩු වූ අගමැති තනතුරට තමා පත් නොවීම ගැන සර් ජෝන් කෝපයෙන් සිටි බව සුප්‍රසිද්ධ කරුණකි. ඔහු සභානායකවරයාව සිටි බැවින් අගමැති තනතුර සඳහා ඊළඟට සුදුසුකම් ලබා සිටියේ ඔහුය. ඔහු මෙම ලේඛනය පසුබිමෙන් සහාය දුන් බව විශ්වාස කිරීම සාධාරණය. සර් ජෝන් හමුවට මෙම ලේඛනය ඉදිරිපත් කළ විට ඔහු එය තමා ලියූවක්ය යන මතය ප්‍රතික්ෂේප කළේය. එය තමාගේ රචනයක් බව සර් ජෝන් ප්‍රසිද්ධියේ කියා සිටියද සර් ජෝන් එම ලේඛනයට වග කිව යුතු බව බොහෝ අය විශ්වාස කළහ. ඔහු ප්‍රසිද්ධියේ එය ප්‍රතික්ෂේප කළේ කැබිනට් මණ්‍ඩලයෙන් අස්කිරීමෙන් වැළකී ඉන්නටයි. කෙසේ වුවද වැදගත් කාරණය වූයේ එය සර් ජෝන් ලීවේද නැතිද යන්න නොව එහි අන්තර්ගත වූ කාරණා සත්‍යද අසත්‍යද යන්නයි. මේ සම්බන්ධයෙන් වඩාත් කරුණු හෙළිදරව් වූයේ සර් ජෝන් කොතලාවල අගමැති තනතුරට පත්ව, දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ලියා පළකළ ඔහුගේ ජීවිත කතාවේය. එහි ඔහු මුළු සිද්ධියම වාස්තවික දෘෂ්ටියෙන් දකිමින් කිසිදු බියකින් හෝ අගතියකින් තොරව කරුණු කියා පෑවේය.
සර් ජෝන් කොතලාවල සිය චරිතාපදානය පළකළේ ‘‘Asian Prime Minister’s Story’’ යන නමිනි. එහි 9 වැනි පරිච්ඡේදයේ ‘‘The Lost Leader’’ යන ශීර්ෂය යටතේ ඔහු මෙසේ කියයි.
වයෝවෘද්ධ මා නොව සිය පුත්‍රයාද ඩඩ්ලි සේනානායක තමාගෙන් පසු අගමැති පදවියට නම්කොට ඇතැයි මා දැනගත් විට මට දැනුණ විශ්මය ගැන සිතා බලන්න. මට කිව හැකිවූයේ එය අසත්‍යයක්ය යන්න පමණි. මා බොහෝ සෙයින් විශ්වාස කළ නායකයා මා හෙළා දැකිය යුතු වීම මහත් අභාග්‍යයක් විය. නායකත්වය උදෙසා මා තුළ වූ දක්ෂතාව පිළිබඳව ඔහු නොසිතූ බවට යම්තමින් හෝ ඉඟියක් ඔහු මට කිසිදා දී නැත.
ඩී.එස්. සේනානායක රෝහල්ගත වී පරීක්ෂාවක් සඳහා සූදානම්ව සිටි අවස්ථාවක ඔහු බලන්නට පැමිණි සෝල්බරි සාමිවරයා පසුව ඔහුගේ තනතුරට ඩඩ්ලි කවුරු නම්කර ඇත්තේද යන්න විමසූ බව, පසුකලෙක මට කීවේය. එම අවස්ථාවේ ඔහු පිළිතුරු දෙමින් කියා ඇත්තේ ඔහු දැරූ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය පදවියට පත්වූ ඔහුගේ පුත්‍ර ඩඩ්ලි එකී තනතුරට සුදුසු බවයි. ඔහු සමහර විට සිතා සිටින්නට ඇත්තේ එතැන් පටන් වසර 15ක් ගතවූ පසු, ඩඩ්ලි වඩාත් පරිනත වූ පසු සිදුවිය යුතු දේය. මා අනෙක් අභිප්‍රායන්ද තේරුම් ගත යුතුව තිබිණි.
එහෙත් දැන්, එම කාලපරිච්ඡේදයේ සිදුවීම් දෙස වඩාත් වාස්තවිකව බලන්නට මට හැකියාව තිබෙන විට එවැනි නිර්දේශයක් ඩී.එස්. සේනානායක කිසිම විටක නොකළ බව මා සිතන්නට පෙළඹෙන්නෙමි. එහෙත් එසේ ඔහු කී බවට චෝදනා මුඛයෙන් කියන ලද්දේ මා තනතුරෙන් ඉවත් කර තැබීමේ කුමන්ත්‍රණයේ කොටසක් ලෙසයි. මගේ අනුමානය නිවැරදි නම් එය උපක්‍රමයේ ප්‍රධානම කොටසයි. මළ මිනිසා කතා නොකියන්නේය යන පරම සත්‍ය ඊට පදනම් වෙයි.
බොරු කතාවක් ගොතා සර් ජෝන්ගේ කනේ තබා ඇත. එයින් ඔහු විරෝධාකල්ප වෙත යොමුකර තිබේ. ඔහු සත්‍ය තේරුම් ගන්නා විට ප්‍රමාද වී, හානිය සිදුවී හමාරය. සර් ජෝන් සිය චරිතාපදානයේ කියා ඇති පරිදි එය ඔහු දේශපාලන රඟමඩලෙන් ඉවත් කර දැමීම සඳහා දුෂ්ට සිතින් කළ කුමන්ත්‍රණයේ කොටසක්ද? එකී බොරුව මතුරා ඇත්තේ සිහසුනට සිටිය හැකි තරගකරුවන් තුරන් කොට දමන්නටද?
මෙම ගැටලුව නිසි පිරිදි අධ්‍යයනය කළහොත් එයින් එළඹෙන තර්කානුකූල නිගමනයකින් වරදකරුවාගේ වෙස්මුහුණ ගලවා හෙළිදරව් කරගත හැකිවනු ඇත. එහෙත් මෙම රචකයාට එවැනි හඹායෑමක් කරන්නට තරම් උනන්දුවක් නැත. මෙය ශ්‍රේෂ්ඨ නායකයකුට එල්ල වී ඇති අසාධාරණ චෝදනාවලින් ඔහු මුදා ගැනීමේ උත්සාහයකි.
(***)
සේනානායක පදනමෙනි
2022 ජුනි 19 Sunday Times හි පළවූ 1952
Prime Minister’s Stake – How and Why of the Controversy Over Dudley’s appointment
නම් ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)