2022.7.16.9h52m11s-01

අයින්ස්ටයින් යනු මෙලොව පහළ වූ අග්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයකු බව ඔබටත් මටත් රහසක් නොවේ. සත්තකින්ම ඔහු භෞතික විද්‍යාඥයෙක් ම පමණක් ද?

නැත, ඔහු අසාමාන චින්තන ධාරිතාවකින් හෙබි වූ චින්තකයෙක් ද විය. ඔහුගේ ජීවිතය ව්‍යවසායකයෙකුට එනම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නකුට අතිශය වැදගත් වේ. කලකට පෙර  ” ද එන්ට්‍රප්‍රීනියර් සඟරාව ”  අයින්ස්ටයින් චින්තනයෙන් ව්‍යවසායකයෙකුට ලබා ගත හැකි ගුණාංග දහයක් ගැන හදුන්වා දුන් අතර ඒ දස වැදෑරුම් ගුණාංග ඔබේ ජීවිතයට එකතු කර ගෙන සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට කටයුතු කරන්න.

1.සිතින් මවා ගන්න – අයින්ස්ටයින් පවසා ඇත්තේ යමක් ලබා ගැනීමට නම් ඒ දේ පිළිබඳව නිතර නිතර සිතින් මවා ගැනීම සහ මෙනෙහි කිරීම අතිශය වැදගත් බවයි. එය යමකින් ලබා ගන්නා දැනුමට වඩා වැදගත්කමක් ඇති බව ඔහු පවසා ඇත. අන්තර්ජාලයේ ප්‍රමුඛතම සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් සෙවුම් යන්ත්‍රයේ නිමැවුම්කරුවන් වන ලැරී පේජ් සහ සර්ජී බ්‍රින් එසේ මනසින් ගූගල් පිළිබඳව කලක් තිස්සේ සිතින් මවාගනිමින් මෙනෙහි කරමින් සිටි දෙදෙනෙකු වේ.

2.නිතරම ප්‍රශ්න කරන්න – ඔබේ ව්‍යාපාරයට ඉදිරියට එන අභියෝග, එහි තත්වය පිළිබඳ නිතර නිතර තමා ගෙන්ම ප්‍රශ්න කර ගැනීම තුළ ඒවාට විසඳුම් ද නිතර නිතර සොයා ගත හැකිය. ව්‍යවසායකයෙකුට ඇසිය හැකි හොඳම ප්‍රශ්නය වන්නේ මා මේ දේ මීට වඩා හොඳින් කරන්නේ කොහොමද? යන්නයි. ඊට පිළිතුරු සෙවීම යනු ව්‍යාපාරික වශයෙන් ජය ගැනීමකි.

3.පරණ ප්‍රශ්න දෙස අලුත් ඇසකින් බැලීම –  සැම විටම අලුත් අලුත් දේ ගැන සිතීම නිර්මාණශීලීව සිතීම තුළ ව්‍යාපාරය සම්බන්ධයෙන් පැන නගින විවිධාකාර ප්‍රශ්න නිරාකරණය කිරීමට අලුත් මාර්ග පාදා ගත හැකිය.

4.ප්‍රතිභාව –  තමන් සතුව පවතින ප්‍රතිභාව පිළිබඳව තමන් තුළ තිබිය යුත්තේ අතිශය විශ්වාසයකි. අයින්ස්ටයින් නිතරම තම භෞතික විද්‍යා හැදෑරීම සහ පරීක්‍ෂණවලදී තම ප්‍රතිභාව පිළිබඳ ව අනූන විශ්වාසයකින් කටයුතු කළේය. එය ව්‍යාපාරිකයකුට ද ඉතා වැදගත් ය. එනම් තමන් විසින් කරනු ලබන ව්‍යාපාරය පිළිබඳව හැදෑරීමෙන් පලපුරුද්දෙන් ආදී විවිධ මාර්ග වලින් ලබා ගන්නා දැනුම සහ අත්දැකීම් මත ඒ කෙරෙහි ඇති කර ගන්නා ප්‍රතිභාව ව්‍යාපාරයකදී ඉතාම වැදගත් ය.

5.දැඩි සේ ධනාත්මක ආකල්ප වලින් සිත පුරවා ගැනීම –  අයින්ස්ටයින් හුදෙක් භෞතික විද්‍යාඥයකු අභිබවමින් ලෝ ප්‍රකට අසාහාය චින්තකයකු බවට පත් වීමට හේතු වූ එක් සාධකයක් වන්නේ ඔහු සතුව පැවති දැඩි ධනාත්මක ආකල්ප වේ. ඔහු නිතර පැවසූ කරුණක් වන්නේ දුර්වල සෘණාත්මක සිතුවිලි පුද්ගලයෙකු ඉක්මනින් පරිහානියට පත් වෙන බවයි. ඔහු පවසා ඇත්තේ කවර පරාජයක් හමුවේ වුවද සිත නොසැලී හිඳ ධනාත්මකව සිතීමෙන් මානසික මෙන්ම ව්‍යවසායක වශයෙන් ද ගැම්මක් ලැබෙන බවය.

6. කෙටි නින්ද – දිවා කාලයේ දී කෙටි නින්දක් ලබා ගැනීම අයින්ස්ටයින් ගේ පුරුද්දකි. ඔහු පවසන්නේ මේ තත්වය මත ඔහුට දවසේ දෙවැනි භාගය තුළද නව ප්‍රබෝධයකින් කටයුතු කළ හැකි බවය. එනම් මොළයට විවේකයක් ලබා දීමෙන් නව සිතුවිලි දහරාවකට ඉඩ සැලසෙන බව ඔහු පවසයි. මේ අනුව ගූගල් සහ නයික් පාවහන් සමාගම වැනි සමාගම් තම කාර්යාල පරිසරය තුළ මෙවෙනි දහවල කෙටි නින්දක් ලැබිය හැකි අකාරයට සකස් කරගෙන ඇත.

7.ඒකාකාරිත්වයෙන් මිදෙන්න උත්සාහ කරන්න – අයින්ස්ටයින් කිසිම විටක ඒකාකාරී ජීවන රටාවකින් හෝ චින්තන රටාවකින් යුතුව ජීවත් වූයේ නැත. ඔහු නිතර නිතර මේ ඒකාකාරීත්වයෙන් මිදී විවිධ දේ පිළිබඳව උනන්දු වූවේය. ව්‍යවසායකයෙකුට ද එය ආදර්ශයකි. ඒකාකාරී බවින් තම ව්‍යාපාරය මුදවා ගත හැකිය. මේ සඳහා ඇතම් විට නව කළමනාකරුවන් බඳවා ගැනීමක් විය හැකිය. ව්‍යාපාරයේ නව මානයක් පිළිබඳව උනන්දු වීමක් විය හැකිය. මෙයද අයින්ස්ටයින් චරිතයෙන් ගත හැකි ආදර්ශයක් ලෙස ඔවුහූ සිතති.

8.අලුත් අලුත් දේ උත්සාහ කිරීම සහ බිඳවැටලීම්වලදී පසු බා නොසිටීම – අයින්ස්ටයින් ස්වාභාවයෙන්ම අලුත් අලුත් දේ පිළිබඳව උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. අලුත් අලුත් දෑ කරන විට වැරදි සිදු වීම අනිවාර්ය ය. මේ වැරදි නිවැරදි කරගෙන නිවැරදි මාවතට ඉක්මනින් පිවිසීම සෑම ව්‍යවසායකයෙකු තුළම තිබිය යුතු කුසලතාවක් වන්නේය.

9.සෑම කටයුත්තක්ම සමබර කර ගැනීම – මෙයද අයින්ස්ටයින් විද්වතා තුළ තිබූ විශේෂ ගුණාංගයකි. ඔහු තමන් සතු වූ විවිධ දක්‍ෂතා එකක් පරයා එකක් නැගෙන්නට ඉඩ දුන්නේ නැත. ඒ සියල්ල සමබරව පවත්වාගෙන ගියේය. ව්‍යාපාරයකදී ද සමබරතාවය අතිශයින්ම වැදගත්ය. එය ව්‍යාපාරයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මෙන්ම ව්‍යවසායකයා ගේ බාහිර ජීවිතය සම්බන්ධයෙන් ද පොදුය.

10.තාක්ෂණය සමග ජීවත් වන්න – අයින්ස්ටයින් තාක්ෂණය පිළිබඳව උනන්දු වූ තාක්ෂණය මත විශ්වාසය තැබූ පුද්ගලයෙකි. ඔහු ලෝකයේ සිදුවන තාක්ෂණික පෙරළිවලට පාර කැපූ පුද්ගලයෙකි. අද කාලයේ ව්‍යවසායකයන්ට අයින්ස්ටයින් ගෙන් ගත හැකි දසවන ගුණාංගය වන්නේ තාක්ෂණය සම්බන්ධයෙන් සිත යොමු කිරීම වේ. තාක්ෂණය මගින් ව්‍යාපාරයක වැඩි දියුණුවට ලබා ගත හැකි මෙහෙය අති විශාල ය. අවශ්‍ය වන්නේ මේ ගැන අවදියෙන් සිටීම ය

About The Author

Leave a Reply