Business-Growth-Marketing-Strategy

ගමේ ඉදන් කොළඹ එනකොට මගේ අතේ තිබුනෙ රුපියල් 10 යි. කොලඹ ඇවිල්ල කරන්නෙ මොකක්ද කියල කිසි අරමුණක් තිබුනෙ නෑ. බස් හෝල්ට් ගානේ කඩ පිල් වල තමයි නිදා ගත්තෙ.දවසට එක වේලයි කෑවෙ. ඊට පස්සෙ මට හෝටලේක කුස්සියේ රස්සාවක් හම්බවුණා. දවල්ට රෑට හෝටලේ බත් උයන්න හාල් ගරන එක තමයි මගේ ජොබ් එක වුනේ. ඒක ලේසි පහසු හාල් ගැරිල්ලක් නෙමෙයි. දවසට හාල් මිටි දෙකක් තුනක් ගරන්න ඕනෙ. මේම මේම හාල් ගරල ලැබෙන පඩිය මම හැම සතයක්ම ඉතුරු කරා. පස්සෙ කාලයක් යද්දී මම ඒ හෝටලෙන් අයින් වෙලා ඉතුරු කරපු සල්ලි වලින්  මගේම කියල තැනක් පටන් ගත්ත. ඊට පස්සෙ ඒක ටික ටික දියුනු කරල…. බ්ලා..බ්ලා…බ්ලා..

මේ වගේ කතාවක් ජාතක කතා පොතෙත් තියෙනව. පාරෙ තිබුන මී මල කුනක් විකුනල දියුනුවට පත් වුන මිනිහෙක් ගැන.

ලංකාවේ සල්ලි කාරයො සියයක් එක්ක කතා කරොත් හැත්තෑ පහක්ම කියන්නෙ ඔය වගේ කතාවක්. හැබැයි ඒ හැමෝම ඔය වගේ තමන් පටන් ගත්ත තැන කියාගෙන එන කොට ප්‍රසිද්ධ සමාජයට නොකියන කොටසක් තියෙනව. අන්න ඒ නොකියන කොටසෙ තමයි ගොඩක් අයගෙ දියුනුවේ රහස තියෙන්නෙ. ගොඩක් අය දන්නව හාල් ගරපු කෑල්ල කියන කොට මිනිස්සු අනුකම්පා කරාට අර නොකියන කොටස කිවුවොත් රටේ ඉන්නත් බැරි වෙන බව. ඒ කොටස බොහෝ දුරට සමන්විත වෙන්නෙ බදු වංචා, හොර බඩු ගෙන ඒම, මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දැමීම,කල් පැනපු බඩු නැවත පැක් කරල විකිනීම වගේ කුප්ප වැඩ වලින්.

මේ ලංකාවේ ධාර්මිකව බිස්නස් කරල ඉහලට ආපු මිනිස්සු ඉන්නෙ ටික දෙනයි.ගොඩක්ම ඉන්නෙ මොකක් හරි පජාති වැඩක් කරල දියුණු වෙලා පස්සෙ මහ උජාරුවට තමන්ගෙ අතීතය ගැන බයිල කියන අය. ඕනම කෙනෙක්ට කුඩු විකුණලා හරි දියුණු වෙන්න පුළුවන්. හැබැයි ඕනම කෙනෙක්ට තමන් දියුණුව දක්වා ගමන් කරපු මාර්ගය සියයට සියයක් සදාචාරාත්මක නම් විතරයි   ඔහුට අවසානයේ තමන් සිටින තැන ගැන සතුටු වෙන්න පුළුවන්.

දියුණු වෙන්න නම් රැකියාවක්  කරල කවදාවත් බෑ. රැකියාව කරල දියුණු වෙන්න පුළුවන් ආයතන කීහිපයක්  ලංකාවේ නම් තියෙනව. ඒත් ඒව සදාචාරාත්මක වැඩ නෙවෙයි. දියුණු වෙන්න නම් බිස්නස් එකක් කරන්න ඕනෙ. එහෙම කියල බිස්නස් කරන හැමෝම දියුණු වෙන්නෙ නැත්තෙ ඇයි ?. ඒකට හේතුව හරි විදිහට තමන්ගෙ බිස්නස් එක පටන් නොගැනීම.

බිස්නස් එකක් පටන් ගන්න මූලිකම දේ ප්‍රාග්ධනය වුනාට හරි බිස්නස් එක පටන් ගන්න නම් වෙනත් කරුණු කිහිපයක් සලකා බලන්න ඕනෙ.

හරි බිස්නස් එකක් කියන්නෙ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයකට,අවශ්‍යතාවයකට  දෙන විසඳුමක්. ලෝක මට්ටමින් එහෙම මිනිස්සුන්ට තිබුන ප්‍රශ්නයකට,අවශ්‍යතාවයකට  දීපු විසදුමක් තමයි අලි බාබා ඔන්ලයින් සේල් වෙබ් අඩවිය. ඒක කරපු කෙනා තමයි ඔය පහල ජායාරූයේ ඉන්නෙ. Facebook , Amazon වගේ මේ හැමදේම එහෙම ලෝක මට්ටමින් මිනිස්සුන්ට තිබුන ප්‍රශ්න,අවශ්‍යතා වලට ඒව මුලින්ම හදුනාගෙන දීපු විසඳුම්. අපේ රටේ නම් “කප්රුක”, ikman.lk වගේ ඒව ගන්න පුළුවන්. මේක එච්චර ලොකුවට නොහිතා ගම් මට්ටමින් නගර මට්ටමින් හිතල හොඳ බිස්නස් එකක්  පටන් ගන්න පුළුවන්. හැබැයි අපේ අය ගොඩක් කරන්නෙ එකෙක් කරෝල කඩයක් දැම්මොත් තව මාසෙකින් තව එකෙක් ඊට පොඩ්ඩක් එහායින් තව කරෝල කඩයක් දානව. දෙන්නගෙන් එකෙක්වත් තමන් බලාපොරොත්තු වෙන මට්ටමට එන්නෙ නෑ. එහෙම නොවී හොඳ රිසර්ච් එකක් කරල තමන්ගෙ ගමේ නගරයේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය,අවශ්‍යතාවය මොකක්ද කියල හඳුනගෙන කවුරුත් නොකරපු හොඳ බිස්නස් අයිඩියා එකක් ඔලුවට අරන් වැඩක් පටන් ගත්තොත් වරදින්නෙ නෑ.ඉස්සර අපේ පැත්තෙ කේක් විකුණන්න තිබුනෙ පෙට්ටි වල.ලිට්ල් ලයන් කියයි,ලිට්ල් රෝස් කියයි ලොකු සමාගම්. ඒත් වාසනා බේකර්ස් පටන් ගත්ත කේක් කිරල කිලෝ ගානට විකුණන්න. දැන් පෙට්ටි වල දාපු කේක් දකින්නවත් තියෙනව ද ? ලොකු ලොකු බ්‍රෑන්ඩ් මේ පොඩි බේකරිය ඉස්සරහ වැටුන.

මෙහෙම අයිඩියා එකක් ආවට පස්සෙ ඊලඟට අවශ්‍ය දේ තමයි අවදානමක් ගන්න බය නැතිවීම. ගොඩක් අය රිස්ක් එකක් ගන්න බයයි. එහෙම බය නැති මිනිස්සු ඒ රිස්ක් එක අරන් වැඩ පටන් අරන් දියුණු වෙලා තියෙනව.

අනිත් එක තමයි  අවස්ථාවන් හදුනා ගැනීම. රටේ සිද්ද වෙන දේශපාලන වෙනස්කම්, සමාජයේ සිදුවන වෙනස්කම්, ලෝකයේ සිදුවන තාක්ෂණික වෙනස්කම් වගේ අවස්ථාවන් හදුනාගන්න ඉවක් තියෙන්න ඕනෙ.බිස්නස් එකක් පටන් ගන්න වගේම වැටෙන්නෙ නැතුව කරගෙන යන්නත් මේ ඉව ඉතාම වැදගත්.

ලංකාවේ සුද්දන්ගෙ කාලෙ මුලින්ම සල්ලිකාරයො බිහි වුනේ අරක්කු රේන්ද බිස්නස් එකෙන්. පොල් රා කිතුල් රා ගහපු මිනිස්සු පෙරාපුව ගහන්න ගත්ත කාලෙ. හොදට හෝ නරකට ඒක සමාජයේ සිදුවුණ වෙනස්කමක් හඳුනා ගැනීමක්. ඒ වගේ එක එක අවස්ථාවන් වල ලංකාවේ සල්ලිකාරයො බිහිවුනා. නිදහස ලැබීම, මැතිනිගෙ සංවෘත ආර්ථිකය, JR ගෙ විවෘත ආර්ථිකය ,යුද්ධය පටන් ගැනීම වගේම ඉවර වීම වගේ අවස්ථාවන් වල මිනිස්සු අවස්ථාවන් හදුනාගෙන සල්ලිකාරයො වුනා.

ඒ වගේම ලෝකයේ ඇතිවෙන තාක්ෂණික වෙනස්කම් හඳුනාගන්න පුළුවන් වෙන්න ඕනෙ. එහෙම බැරි වුනොත් බිස්නස් එක වැටෙනව.මේකට ලෝක මට්ටමේ උදාහරණයක් දෙන්නම්.

ඉස්සර තිබුන කොඩැක් කියල ෆිල්ම් රෝල් හදන සමාගමක්.ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ ඕනෑම නගරයක මේ කොඩැක් දැන්වීම් පුවරු දැකගන්න ලැබුන. මේ ෆිල්ම් රෝල් භාවිතා කරේ ඒ කාලෙ තිබුන කැමරා වලට. හැබැයි කොඩැක් සමාගම දැක්කෙ නෑ ඩිජිටල් යුගයක් එනව.එයාල වෙනස් වුනේ නෑ.අද කවුරුත් පරන සේයා පටල කැමරා භාවිතා කරන්නෙ නෑ. කොඩැක් කියන නම දකින්නවත් නෑ.
NOKIA සමාගමටම වුනෙත් ඒක. NOKIA අංක එකේ ජංගම දුරකථන  සමාගම කාලෙ SAMSUNG  අහලකවත් හිටියෙ නෑ. SAMSUNG android මෙහෙයුම් පද්ධතිය එක්ක ස්මාර්ට් ෆෝන් එකක් හදද්දි NOKIA ජනප්‍රිය windows එක්ක ගියා. අන්තිමට NOKIA සමාගම විකුණලා දාන්න සිදුවුණා.

ගමේ දැනට බිස්නස් කරන අයත් මේ අවස්ථාවන් වෙනස්වීම් හඳුන ගැනීමේ ඉව ඇතිකර ගන්න ඕනෙ.
ප්‍රවාහනය දියුණු වෙනව, අලුතින් මධ්‍යම පාන්තිකයන් පිරිසක් හැදෙනව.ඉතින් මේ අය තවදුරටත් ගමේ සිල්ලර කඩේ බඩු කිරල දෙනකම් බලන් ඉන්න සූදානම් නෑ.

අනිත් එක තමයි හොඳ ඉවසීමක් තියෙන්න ඕනෙ. ඉක්මනින් සල්ලිකාරයො වෙන්න හිතුවොත් මේ වැඩේ කරන්න බෑ.

ඉතින් මේ වගේ හැමෝම කරන දේ කොපි නොකර  අලුත් අයිඩියා එකක්, අලුතින් හිතල පටන් ගත්තොත්. කොටින්ම ඔබේ ප්‍රදේශයේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාවන් හඳුනා ගත්තොත් හොඳ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්.

දැන් හැමෝම කෙරුවට  චූන් පාන් කියන්නෙ ඒ වගේ හිතල කවුරු හරි පටන් ගත්ත වැඩක්.ඉංදියාවෙ  පිටි කිරි බොන්නෙ නෑ. උදේට කිරි බෝතල් අරන් කිරි කාරය එනව ගෙදරට. ලංකාවේ කිරි පිටි වස කියල නහින්න හදනව. කාට හරි පුළුවන් හරක් පට්ටියක් හදාගෙන චූන් පාන් යනව වගේ උදේට කිරි අරන් එන්න. කවුරුත් කරන්නෙ නෑ.හේතුව ගොඩක් අයට ඕනෙ ටක් ගාල අර යූ ටියුබ් සල්ලි හොයනව වගේ දියුණු වෙන්න.අනිත් හේතුව දියර කිරි බොන එකක් නෑ කියල හිතන එක. ඒකට තමයි රිස්ක් එකක් ගන්න බය නැති වෙන්න ඕනෙ කියන්නෙ.මේක උදාහරණයක් විතරයි.

ඉතින් හැමෝම දියුණු වෙන්න කියල ඔය එක එක මිනිසුන්ගෙ ජීවිත කතා කියවන්නෙ නැතුව හොඳ බිස්නස් අයිඩියා එකක් ගැන හිතන්න. අවදානම ගන්න සූදානම් වෙන්න. ප්‍රාග්ධනය රැස්කර ගන්න.

ඔක්කොම හරියට වැඩ කරොත් ඔයාලටත් පුළුවන් දවසක අර හාල් ගරපු කතාවක් කියන්න.

චානුක කාංචන මුණසිංහ

About The Author

Leave a Reply