soldier-child-army-430x275

පන්ති එන්නට එපා ගුරුතුමා කිව්වැයි ඇසී
බිම බලාගත්තෙ ඇයි උඹේ වරදක් නැතී
උතුමෙකුයි කිව්වාට දැක්ක තැන වැඳ වැටී
ශිල්ප දුන්නේ නුඹට ගෙව්වමයි හරි හැටී

එකම පන්තියෙ උන්නු උතුමාගෙ පුතු වැටී
නිදිකුම්බා කටුවකට සීරිලා ඇඬු හැටී
දුවගෙනම ඇවිත් ඔහු වඩාගෙන ගිය හැටී
කිසිදාක නෑනෙ නුඹෙ නෝක්කඩු මට ඇසී

නියපොත්‍ත ගැලවෙලා ලේ එද්දි හොඳ හැටී
උඹේ පොඩි දෑතින්ම බැඳගත්තෙ රෙදි පටී
නෑ අඬා වැලපුනේ තාත්තා දැන් එතී
නුඹෙ හිතේ ඒ හයිය පුතේ හොඳටම ඇතී

පුංචි හුළඟට උනත් ලෝගුවක් සෙලවෙතී
ලස්සනයි ඒ ඇඳුම සැහැල්ලුව වැඩි ඇතී
තදකරල ඇන්දාම ටිකක් අපහසු ගතී
පුතේ හැමටම වඩා නිලඇඳුම බර වැඩී

උඹෙ හීනෙ වෙන්න ඇති ලෝගුවක් හැඩ ඇතී
ඒත් පුතුනේ රටට ලෝගු විතරක් මදී
තරඟෙටම විභාගය නොලිව්වට කම් නැතී
අට පාස් වෙයන් උඹ පුතේ හොඳටම ඇතී

~ ශ්‍යාමා චන්ද්‍රසේන ~
2022/07/23

About The Author

Leave a Reply