
කිරි අඟුණ සහ තිත්ත අඟුණ :-
ගමේ ගොඩේ දරුවෙක් ලැබීමට සිටින හෝ දරුවෙකු ප්‍රසූත කල මවකට වටපිට කාගේ ගෙදරකින් වුනත් රසට හැදෙන කෑම වේලේ මුල් පංගුව බෙදෙන අතීතයක් අපට තිබුනා. වැඩිහිටි කාන්තාවන් ඒ සඳහා ගුණයෙන් යුතු ආහාර එළවලු තෝරා ගැනීම සැලකුවේ තමන්ගේ යුතුකමකටත් වඩා වගකීමක් ලෙසටයි. අහුවෙන ඕනෑම කෑමක් නොව ගැළපෙන ගුණවත් ආහාර පමණක් තෝරා බේරාගෙන පිළියෙළ වුනු මෙවන් බත් පතක නොවැරදුනු ආහාරයක් තමා අඟුණ කොළ. අගුණ යයි කීවාට බොහෝ ගුණ ඇති අඟුණ කොළ, සම්බෝල හෝ මැල්ලුමට කලවමට එකතු කිරීමෙන් කල ගණන් කිරි එරවා ගැනීමට ඔවුන් සමත් වුනා..
සිංගප්පූරු කොළ නැතහොත් ජපන් බටු කොළ :-
සියවස් ගණනක් මව්කිරි වඩවන්නට අත්තම්මලා යොදාගත් විවිධ කොළ වර්ග අතර බොහෝ ගුණ ඇති කොළ වර්ගයක් තමා ජපන් බටු කොළ. මේ කොළයේ ඇති මවු කිරි වැඩවීමේ හැකියාව ගැන මෑතකදී කළ විද්‍යාත්මක පර්යේෂණ වලින් පවා තහවුරු කර තිබෙනවා. මෙය කිරි දෙන කාලයේ ආහාරයට ගන්නා කොළ පැහැති පලා අතරට හෝ කලවම් පලා ව්‍යංජනයට එක්කර ගත හැකි රසවත් ව්‍යංජනයක්. අමුවෙන් ආහාරයට ගැනීමෙන් අතුරු ප්‍රතිපලයක් ලෙස ශ්වසන ආබාධ ඇතිවන බව කියවෙන නිසා අමු සම්බෝල වලට එක්කිරීමෙන් හෝ යුෂ පානයෙන් වැළකී සිටීම වඩාත් සුදුසුයි.
කොස් :-
ගස යටින් ගියත් කිරි එරවෙන කොස්..
ගෙඩිය කොයි කාලයේදීත් රසට පිස මැල්ලුම්, පොලොස්, කිරි කොස් යනාදී වශයෙන් කිරි මවට දීමෙන් වඩ වඩාත් කිරි එරවා ගන්නට පුළුවන්. එහි ඇති වාතය ඇතිකිරීම, නැති කිරීමට ගම්මිරිස් ඇට කිහිපයක් සහ සුදු ළූණු බික් කිහිපයක් ව්‍යංජනයට එක්කරගන්න.
කිරිහැන්ද :-
කිරි දෙන මව් වරුන්ට අත්තම්මලා නොවරදවූ තවත් අගනා පලා වර්ගයක් තමයි මේ කිරිහැන්ද. මෙහි කොළ මැල්ලුම් ලෙසට, කලවම් පලාවට හෝ ලපටි දළු ව්‍යාංජනයට පරිප්පු/කව්පි වැනි ධාන්‍ය වර්ගයක් මිශ්‍ර කර ඉතා රසවත්ව පිළියෙල කරගත හැකියි.
කරවිල :-
රත්තරන් ඇති සැලකෙන කරවිල කිරෙන් දරු පැටියා සනසන්නට මෙලොව ඇති වටිනාම ආහාර අතරින් එකක්. කිරි තිත්ත වේ යයි කතාවක් ඇතත් එහි විද්‍යාත්මක සත්‍යතාවයක් මේ වන තුරු ඔප්පු කර නැහැ.
කෙසෙල් මුව :-
කිරි දෙන මවට කිරි එරවීමට පමණක් නොවේ ඇගේ මල බද්ධය නැති කිරීමට, ප්‍රසවයේ ඇති වූ තුවාල සුවයට, ලේ වැඩීමට අගනා ආහාරයක් තමයි මේ කෙසෙල් මුව..
කුරක්කන් :-
මව්කිරි වැඩීමට අරුම පුදුම හැකියාවක් ඇති, යකඩ බහුල නිසා ප්‍රසවයේ ඇති වූ සියලු ගැටළු වලට ගුණ ඇති, විඩා නිවන සිත කය පිනවන අපූරු ආහාරය තමයි කුරක්කන්. මෙය කැඳ, රොටී, පිට්ටු, තලප යනාදී වශයෙන් පිළියෙල කර කැමති ලෙසකට ආහාරයට ලබා දෙන්නට පුළුවන්.
කොල්ලු :-
මව්කිරි වඩවන්නට තවත් අපූරු හැකියාවක් ඇති ආහාරයක් තමයි මේ කොල්ලු. දවසේ ඕනෑම ආහාරයකට එකතු කරගත හැකි මෙය දවස පුරා කිරි වැගිරෙන සේ කිරි එරවන අගනා ආහාරයක්.
හබල පෙති :-
කිරි එරවන්න භාවිතා කළ අපූරු උදෑසන ආහාරයක් තමයි හබල පෙති. කැඳ වශයෙන් හෝ අග්ගලා ලෙස රසවත්ව උදේ ආහාරයට එක් කරන්න. කිරි උතුරාවි.
තැම්බුම් හොදි :-
දරු ප්‍රසූතියෙන් පසු අම්මලාට එදා දුන් පළමු ආහාරය තමයි මේ තැම්බුම් හොදි. ප්‍රසුතියේදී ඇති වූ වෙහෙස නිවීම, තුවාල ඉක්මණින් සුව කිරීම, ප්‍රසූතියෙන් පසු ගර්භාෂයේ ඉතිරි වූ පටක සහ රුධිර කැටි ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, මල බද්ධය නැති කිරීම සහ අඛණ්ඩ කිරි ස්‍රාවයක් පවත්වා ගැනීමට එරී එරවීම උත්තේජනය යන බහුවිධ ගුණාංගයන්ගෙන් යුතු තැම්බුම් හොද්ද නම් සුලුවෙන් තකන්න එපා. කිරි මදි නම් සතියකට වරක් වත් කිරි දෙන කාලයේ තැම්බුම් හොද්දක් මවගේ ආහාරයට එක් කරන්න.
සූදුරු :-
කිරි එරවීමේ අපූරු බලයක් ඇති සූදුරු කිරි එරවීමට අමතරව තවත් බොහෝ සෞඛ්‍යයමය ප්රතිලාභ ගෙන දෙනවා. සතියකට දෙතුන් වතාවක් සූදුරු තැම්බූ වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න. කිරි වැගිරේවි.
උළු හාල් :-
මව්කිරි වඩවන්නට උළුහාල් තරම් අගනා තවත් ඖෂධයක් ඇත්දැයි ඔබටම සිතේවි. රාත්‍රියේ උළුහාල් අහුරක් දෙකක් පෙඟෙන්නට දමන්න. උදෑසන තම්බා පෙරා පානය කරන්න. මෙය නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දිනපතා සිදු කළහැකි මහඟු ප්‍රතිකාරයක්. මෙහි මව්කිරි වැඩීමට අමතර තවත් බොහෝ සෞඛ්‍යයමය ප්රතිලාභ සහිතයි.
මහදුරු :-
සූදුරු මෙන්ම අගනා ප්රතිලාභ ඇති මහදුරු වලට ද කිරි එරවීමට ඇත්තේ විසල් හැකියාවක්. මහදුරු දෙමිටක් සිසිල් වතුරේ පොඟවන්න. පෙරා ගත් ජලය දවසට දෙවරක් අවශ්‍යතාක් කල් පානය කරන්න.
කුරුඳු :-
කුරුඳු වලටත් ඇත්තේ කිරි වැඩවීමේ මනා හැකියාවක්. පිරිසිදු කුරුඳු ජලයේ දමා පෙරා පානය කරන්න. නැතහොත් තේ කෝප්පයට කුරුඳු එකතුකර මද වෙලාවක් තබා පානය කරන්න.
කොත්තමල්ලි :-
කලින් කී සුදුරු මහදුරු මෙන්ම තුනපහට අයිති කොත්තමල්ලි වලටද ඇත්තේ කිරි එරවීමේ ප්‍රභල හැකියාවක්. කොත්තමල්ලි තැම්බූ වතුර පානය කිරීමෙන් ප්‍රමාණවත් කිරි ස්‍රාවයක් නිතර හොඳින් වර්ධනය කරගත හැකියි.
සුදු ළූණු :-
ප්‍රසූතියෙන් පසු පළමු දින කිහිපයේදී මවකට නොවැරදවූ තවත් ආහාරයක් තමයි ගිනි අඟුරු මත පිළිස්සු සුදුළූණු, කිතුල් හකුරු සමඟ කන්නට දීම. තැම්බුම් හොද්දෙදි කීවාක් මෙන් බොහෝ ප්රතිලාභ අඩංගු මේ ප්‍රතිකාරයේ මූලික පරමාර්ථයන් අතර මවු කිරි ස්රාවය උත්තේජනය කිරීම සහ එය දිගුකාලීනව පවත්වා ගැනීම යන කාරණා අඩංගුයි. කිතුල් හකුරු වලද මව්කිරි වැඩවීමේ ගුණ අඩංගු නිසා මේ දෙකම එක්ව ඉතා අගනා ඖෂධයක් සාදනවා
කිරි දෙන මවට සාදන ව්‍යාංජන වලට සුදු ළූණු එක්කරන්නට අමතක කරන්නට එපා. සුදුළූණු තම්බා පානය, උළුහාල් සමඟ තම්බා පානය හෝ සුදුළූණු, උළුහාල්, සූදුරු, මහදුරු, කොත්තමල්ලි එකට තම්බා බීමෙන් කිරි කල හතක් එක වරුවකදී පොවන්නට හැකි බවයි අපේ පැරැන්නන්ගේ මතය.
තල :-
තල ඇට වලටත් කිරි එරවීමට ඇත්තේ විසල් හැකියාවක්. කිරි එරවන්නට තල ඇට බහුලවම යොදා ගත්තේ එවකට උතුරු පළාතේ විසූ ද්‍රවිඩ අම්මලා. අතුරුපසට කිතුල් හකුරු දාපු රසබර තල කැරැල්ලක් කමින් කිරි එරවා ගන්න හැකි නම් අපේ අම්මලා ඊට නම් අකමැති වෙන එකක් නැහැ.
පොල් :-
අලුත් කැඩූ අමු පොල් වලට කිරි එරවන්නට ඇති හැකියාව අපූරුයි. දරුවෙකු ලැබුණු අම්මලාට අලුත් පොල් සමඟ මුං ඇට, කඩල , අල, බතල, කොස් වැනි විවධ වර්ගයේ ආහාර එදා ලබා දුන්නේ මේ ප්රතිලාභයන් අත්කර ගන්නටත් එක්කයි.
බතල :-
තද රතු පැහැති බතල කිරි එරවන තවත් දේශීය ආහාරයක්. උදැසන ආහාරයට හෝ දහවල් ව්‍යාංජනයට, පොල් සමඟ එක්කර එහි ගුණ වැඩි කර කිරි එරවන්නට හපන්කම් දක්වන මෙය රස බර ආහාරයක්.
රාජ අල :-
තද දම් පැහැති රාජ අල කිරි වඩවන දේශීය අල වර්ග අතර ඉදිරි පෙළ සිටින අල වර්ගයක්. උදෑසන ආහාරයට ඉතාමත් කදිමයි.
ඉඟුරු :-
දහසක් ගුණ ඇති ඉඟුරු වල තවත් අපූරු ගුණයක් තමා මව් කිරි වැඩවීම. අන් ආහාර ඖෂධ අතරට තේ සමඟ හෝ කොත්තමල්ලි සමඟ තම්බා බීමෙන් කිරි වැඩි කරගත හැකියි..
රතු ළූණු :-
අමු රතු ළූණු වලට කිරි එරවීමේ අපූර්ව ශක්තියක් තිබෙනවා. දිනපතා ආහාරයට අමුවෙන් ගන්නා එළවලු සලාදයට, ලුණු මිරිසට රතු ලුණු එක් කරගන්න. කිරි එරවීම පමණක් නොව තවත් අගනා ආයු වඩන ගුණ බොහෝමයක් ඔබට ලැබේවි.
මුරුංගා :-
සරලව ආහාර වේලට මුරුංගා එකතු කරන්න. මැල්ලුමට මුරුංගා කොළ අහුරක් එක් කරන්න. මුරුංගා වල ඇති කිරි එරවීමේ ප්‍රභල හැකියාව අද මුළු ලොවම මවිත කරවන තරම්. ප්‍රතිඵල ඔබටම පෙනේවි.
අමු පැපොල් :-
අමු පැපොල් වලට ඇති කිරි එරවීමේ හැකියාව ඔබ පුදුම කරවාවි. මැල්ලුමක් ලෙස හෝ කැකිරි/වට්ටක්කා ආකාරයට පිස ආහාර වේලට ඇතුලත් කරගන්න.
වට්ටක්කා :-
වට්ටක්කා වලට ඇත්තෙත් කිරි එරවීමේ මහඟු හැකියාවක්. ඔබම අත් හදා බලන්න..
ඉදුණු කොටදිඹුලා ගෙඩි :-
අත්තික්කා වලට සමාන මෙම පලතුරෙහි ඉදුණු ගෙඩි දරුවන් බිහිවූ අලුත ආහාරයට ගැනීමෙන් මව්කිරි වැඩි වන බව පැරණි සිංහල පොත පතෙහි සඳහන් වී තිබෙනවා.
නෙලුම් අල :-
දැනට වසර 20-30 කට පමණ පෙර නම් නෙලුම් අල මවු කිරි වඩවා ගැනීමට ඉවහල් කර ගත් ඖෂධීය රසවත් එළවළුවක්. (දැනට රට පුරා ඇති බොහෝ වැව් පොකුණු රසායනික පොහොර, කෘමිනාශක වල් නාශක ආදිය මඟින් දුෂණය වී ඇති නිසා අද වන විට නෙලුම් අල ආහාරයට ගැනීමේ සුදුසුකම පිළිබඳ සැබෑ ගැටළුවක් මතු වී තිබෙනවා.)
මීට අමතරව රතු හාල්, මුං ඇට, මෙනේරි වැනි අපේ ධාන්‍ය වර්ග වලටත් කිරි එරවීමේ මහඟු හැකියාවක් තිබෙනවා.
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)