1_dMbUoO7hkFhRdjprIL2Jpw

විදෙස් රටක දී, දිනෙක මම මිතුරකු සමඟ කෝපි කඩයකට ගියෙමි. අපේ කෝපි ඇණැවුම භාර දුන් අපි අප ගේ මේසය වෙත යමින් සිටිය දී, කවුන්ටරය වෙත පැමිණි තරුණයෝ දෙ දෙනෙක් ඔවුන් ගේ ද ඇණැවුම පවසනු අපට ඇසිණි.

”කරුණාකරලා, කෝපි පහක් දෙන්න. දෙකක් අපිට, අනෙක් තුන අත් හිටවලා තියන්න.” කෝපි සඳහා මුදල් ගෙවූ ඔවුහු දෙදෙනා තම කෝපි දෙක පානය කොට පිට ව ගියහ.

”අත් හිටවන කෝපි කියන්නේ මොනවට ද ?” යි මම මගේ මිතුරා ගෙන් ඇසීමි. මිතුරා මෙසේ පිළිතුරු දිනි. ”පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ.” තවත් කිහිප දෙනෙක් පැමිණිය හ. තරුණියෝ දෙ දෙනෙක් කෝපි දෙකකට මුදල් ගෙවා එය පානය කර පිට වී යති.

ඊ ළඟ ඇණැවුම නීතීඥයන් තිදෙනකු ගෙනි – ඔවුන් ති දෙනාට කෝපි තුනක් ද අත් හිටවූ කෝපි සතරක් ද. මේ අත් හිටවූ කෝපි (suspended coffees) යනු මොනවා දැයි කල්පනා කරමින්, කෝපි පැන් හල ඉදිරියේ මනරම් දර්ශනය නරඹමින් හිරු රැස් සහිත කාලගුණයේ ආශ්වාදය විඳිමින් මම හිනිමි. එක් වරම, කඩමාලු හැඳුමින් යුතු යාචකයකු වැනි මහලු මිනිසෙක් දොරෙන් ඇතුළු වී, ”අත් හිටවපු කෝපි හෙම තියෙනවද ?” යි ඇසී ය.

මෙය ඉතා සරල ය. උණුසුම් කෝපි කෝප්පයක රස බැලීමට මුදල් අත නොමැති යම් කෙනකු වෙනුවෙන් මානව හිතවාදියෝ කල් තබා ම මුදල් බඳිති. මේ සම්ප්‍රදාය ඇරැඹුණේ ඉතාලියේ නේපල්ස් නගරයේ ය. දැන් එය මුළු ලොවැ පුර‍ාම පැතිර ඇතිවා පමණක් නොව, සමහර නගරයන්හි ඔබට කෝපිවලට අමතරව සෑන්ඩ්විචයක් හෝ සම්පූර්ණ ආහාර වේලක් හෝ මෙ සේ කල් තබා ඇණැවුම් කර තැබිය හැකි ය. අප තරම් වාසනාවන්ත නොවන පුද්ගලයන් සඳහා යම් අපේක්ෂාවක් ද ආධාරයක් ද ලැබෙන පරිදි මෙවැනි ආපන ශාලා (හෝ සිල්ලර කඩ පවා හෝ) ඇති නම් කොයි තරම් සුන්දර ද ?

ඔබ ගේ ආපන ශාලාව, සිල්ලර වෙළෙඳ සල මෙවැනි සුර ලොව සල්පිලක් බවට පත් කරන්නට සිතෙන්නේ නැති ද ?

©✍️Upali Kannangara

About The Author

Leave a Reply