image2-35
අබේබ් බිකිලා යනු, ඉතියෝපියාවේ ඈත ගමක ජීවත් වූ ගෝත්රික යෞවනයෙක්. ඔහුගේ රැකියාව වුණේ, ඉතියෝපියානු රජුගේ ආරක්ෂක වළල්ලේ පරිවාරකයෙක් හැටියට කටයුතු කිරීමයි.
ඉතියෝපියානු රජුට 1950 අග භාගයේ දැන ගන්නට ලැබෙනවා, “#Sport” (ක්රීඩා) නමින් යමක් ඇති බවත්, ඒවා කිරීමෙන් ආරක්ෂකයන්ගේ “ක්රියාශිලීත්වය” හා “වේගය” වැඩි කළ හැකි බවත්.
ඒ බව දැනගෙන, විදේශික පුහුණුකරුවකු ගෙනැවිත්, සිය ආරක්ෂකයන් සඳහා පුහුණු කඳවුරක් සූදානම් කරනවා. බිකිලා ඇතුළු තරුණයන් මීට සහභාගී වෙනවා.
සිය රාජකාරියට වාර්තා කිරීම සඳහා දිනපතා උදේ හවස කිලෝමීටර් විසි ගණනක් දුවන මේ තරුණයන්ගේ හැකියාව හඳුනා ගන්නා පුහුණුකරු, මොවුන් ජාත්යන්තර මට්ටමේ ක්රිඩකයන් බවට පත්කිරීමට උත්සාහ ගන්නවා.
මේ උත්සහයේ ප්රතිපල විදිහට 1960 රෝම ඔලිම්පික් උළෙල මැරතන් ඉසව්වට ක්රිඩකයන් පිරිසක් සූදානම් කෙරෙනවා. බිකිලා මේ සංචිතයේ හිටියත්, සුදුසුකම් ලබන්නේ වෙනත් කණ්ඩායමක්.
එහෙත් රෝමයට යෑමට ගුවන් තොටුපළට යන අතර, එක් අයෙක් අනතුරට ලක්වීම නිසා බිකිලාට අවස්ථාව ලැබෙනවා.
රෝමයට ගිහින් මැරතන් තරඟයට සූදානම් වුවත්, බිකිලාට අඩුපාඩු ගොඩයි. අනිත් ක්රීඩකයා වෙනුවෙන් සූදානම් කරපු දේවල් බිකිලාට ගැළපෙන්නේ නෑ. අනුග්රාහක නයිකි සමාගම, තරුවක් නොවූ මේ ක්රීඩකයාගේ අවශ්යතා කෙරෙහි වැඩි අවධානයක් දෙන්නෙ නෑ. සපත්තු නැතුව දුවන්නට බිකිලා තීරණය කරනවා.
1960 ඔලිම්පික් මැරතන් තරඟය විශේෂයි. පුරාණ රෝම නටඹුන් අතරින් දිවෙන එළිමහන් තරඟ මාර්ගයක් ක්රීඩකයන්ට ලැබුණේ ප්රථම වතාවටයි.
ඒ ශ්රේෂ්ඨ මානව නිර්මාණ අතර සිය නිරුවත් දෙපාවලින් දිව ගිය බිකිලාට විශිෂ්ට ජයක් ලැබුණා.
එය ඉතියෝපියාවට විතරක් නොවෙයි, අප්රිකානු මහද්වීපයටම ලැබුණු මුල්ම ඔලිම්පික් රන් පදක්කමයි.
ජනමාධ්යවේදීන් ඔහුව වට කර ගත්තා. එක හඬින් ඇහුවේ එක දෙයයි.
“ඔබ සපත්තු නැතුව තරඟයට සහභාගි වීමේ අරමුණ කුමක්ද..?”
බිකිලාට බොහෝ දේ මතක් වන්නට ඇති.
ඉතියෝපියාවේ දුෂ්කර ජීවිතය, නූගත්කම, කුසගින්න, දුෂ්කර රැකියාව, අනාගත අවිනිශ්චිතතාව, ඒ සියල්ලටම වඩා ඔලිම්පික් සංවිධායකයන්ගේ නොසැලකිල්ල ආදී බොහෝ දේ මතක් වෙන්න ඇති.
එහෙත්, ඒ මොහොතේ බිකිලා ආත්මාර්ථකාමී, අපරණිත ගෝත්රිකයෙක් වුණේ නෑ. නියම ක්රීඩකයෙක්, විශ්ව පුරවැසියෙක් විදිහට බිකිලා මෙහෙම කිව්වා.
“මගේ අරමුණ වුණේ, ඉතියෝපියානුවන්ගේ අධිෂ්ඨානය, ධෛර්යය හා හැකියාව ලෝකයට පෙන්වීමයි..!”

About The Author

Leave a Reply