ඉකිරිය හෙවත් නීරමුල්ලියද එවැනි පාපකර්ම නසන හෙවත් අපල දුරුකරන අනගි ශාකයකි. මහඟු ඔසුවකි. නීරමුල්ලිය ශාකය දර්ශනය ස්පර්ශය මෙන්ම සුදුසු ක්‍රමවේද මගින් සේවනය කිරීමෙන් සිකුරුගෙන් සඳුගෙන් මෙන්ම සෙනසුරුගෙන් වන අපල උපද්‍රව දුරු කර ගත හැකි බව අත් දැකිය හැක.
දුටු දුටුවන්ගේ මන නුවන් මවිතයෙන් මවිතයට පත්කරවන අහස උසට නැගුණු මහ දාගැබ් ගොඩනැගුවේද සමුදුරු පරයන මහ වැව් බැන්දේද, සජීවි මිනිසෙකුට පවා සිය මුහුණෙන් හෝ මවා පෙන්විය නොහැකි බුදුරදුන්ගේ උග්‍රතර චිත්ත සමාධිය මනාව පිළිබිඹු වන පරිදි සිත් පිත් නැති මහ කළු ගලින් පිළිම නෙළුවේද යෝධ බල යෝධ ශක්තියෙන් පිරිපුන් වූ අපේ මුතුන් මිත්තෝමය.
එනමුදු සියලු කටයුතු පහසු කරවන පරිගණක ගැන හෝ කයට බලය දෙතියි කියන මල්ටි විටමින ගැන හෝ ඔවුන් දැන සිටියේ නැත. ඉර හඳ තාරකා පෙන්වා දුන් මග ඔස්සේ යමින් සන්තුෂ්ඨිය නමැති පරම ධනය උපයමින් කටයුතු කළ මිනිසුන් ජීවත් වූ එමෙන්ම නවීන තාක්ෂණය නොදුටු ඒ ලොව සැබවින්ම පිවිතුරු විසිතුරු ලොවක් විය.
බාහිර කරදර ආදියෙන් මෙන්ම රෝ දුකින්ද තොර යෝධ බලයෙන් පිරි ගතින් හා අදීන සිතුම් පැතුම් සපිරි සිතින්ද යුතුව කටයුතු කළ ඔවුනට ඒ අසහාය ශක්තිය ලබාදෙනු ලැබුවේ ස්වභාව ධර්මය විසින්මය. ඔවුන් සුඛිත මුදිත වූයේ ස්වභාවධර්ම නීති රීතීන්ට අනුකූලවම ස්වකීය ජීවන ප්‍රවෘත්තිය පවත්වාගෙන ගිය නිසාවෙන්මය.
ආරක්ෂක ශාක සේවනය
සර්වබලධාරී සූර්ය රජුගේ විශ්ව රාජ්‍යයේ සර්ව බලධාරී නීතිය වූ ස්වභාධර්ම නීති රීති උල්ලංඝනය කිරීමට එනම් අකුසල කර්ම පාපකර්ම වල යෙදීම හෙවත් සිත වැරදි ලෙස මෙහෙයවා කටයුතු කිරීම හේතුවෙන් ඇතිවන අපල කරදර දුරුකර ගැනීමටද විවිධ වූ උපාය මාර්ග විශ්ව රාජ්‍යය විසින්ම සපයනු ලැබ ඇත. ආරක්ෂක ශාක සේවනයද එක් උපාය මාර්ගයකි. පාපඝ්ණී, පාපනාශඃ වැනි සංස්කෘත පාරිභාෂිත ශබ්ද යෙදුණු ශාක රාශියක් සෘෂි භාෂිතය තුළ පවතී. නිතර එම ශාක සේවනය මගින් දුකට පත් සිත සුවපත් වී ශාන්තිය උදාකරන බව අනු දැන වදාලේ නානාවිධ තුරු ලතායෙන් ගැවසි වැසී ගත් නිසසල මහා ඝණ වනාන්තර මධ්‍යයෙහි මහා වෘක්ෂ මූලයන්හි සමාධි ගතව බුද්ධි ඥන ප්‍රදීපය දල්වාගෙන අන්ධකාර විශ්වය තුළට පිවිස සියල්ලෙහි උපත පැවැත්ම විනාශය පිළිබඳ යථා තත්ත්වය පිරිසිඳ දත් මහර්ෂී වරුන් විසිනි. (බුද්ධි ඥාන ප්රදීපේන විශ්වාභ්යන්තරං විශෙත් මහර්ෂී විශ්වමිත්ර)
විසිවන සියවසේ මැද භාගයේදී පෙරපරදිග ජ්‍යෙතිෂවේදීන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්රවී සිටි බී. පී. රාමන් පඬිවරයාගේ සංස්කාරත්වයෙන් ඉන්දියාවේ පළවූ ඇස්ට්‍රොලොජිකල් මැගසින්” සඟරාවට ග්රහඅපල දුරලන ගස් වැල් පිළිබඳ ලිපි පෙලක් සපයන ලද ප්‍රවීන ජ්‍යෙතිෂවේදී පශුපති නාත් ප්‍රසාද් ගුප්ත වියතාණන්ට අනුව කෝකිලා හෙවත් කෝකිලයාගේ ඇස් වැනි නිල් පැහැති මල් සහිත ඉකිරිය ශාක නිතර දර්ශනය වීමෙන් සිකුරු ග්‍රහයාගෙන් වන අපල දුරුවී සැප සම්පත් සපිරි ජීවිතයක් හිමිකර දෙයි. හදවත් ආබාධ, ඇස් රෝග මෙන්ම දියවැඩියා රෝගය සුවයටද මහෝපකාරී වෙයි. තවද ඉකිරිය පැලෑටිය නිතර ඇසුරු කිරීම සිකුරු බලවත් අයගේ ශුභ ඵල වැඩි කිරීමටද උපකාරී වෙයි.
ඉකිරිය හෙවත් නීරමුල්ලිය
ඉකිරිය අතීත ජනතාවගේ සුවසෙත සුරැකීමෙහිලා මහඟු සේවයක් ඉටුකළ වටිනා ඔසුවක්ද වේ. ඉකිරිය නම සවන් වැකුණු පමණින්ම අද පවා අප රටේ බොහෝ වැඩිහිටියන්ගේ මතකය අවදි වෙයි. ඒ මුත්රාබාධයන් පිළිබඳවය.
සාමාන්‍යයෙන් ගම්බද ජනතාව ඉකිරිය හොඳින් හඳුනති. වර්ණය අනුව මෙහි ප්‍රධාන ප්‍රබේද දෙකක් දැකිය හැකිය. නිල් පැහැයට හුරු මල් පිපෙන වර්ගය සුලබය. අනෙක් වර්ගය එනම් සුදු පැහැති මල් පිපෙන වර්ගය තරමක් දුබල වේ. දෙවර්ගයෙහිම ගුණය එක සමානය.
ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ඉකිරිය හොඳින් වැවේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වැව් කුඹුරු ආදී ජලාශ්‍රිත ප්‍රදේශයන්හී සාරවත්ව වැවුණු ඉකිරිය පඳුරු දැකිය හැකිය. වර්ෂා සෘතුවේදී ඉතා සරුවට වැවෙන ඉකිරිය ගස ග්‍රීෂ්ම සෘතුවේදී මැරී වියළි යයි.
අඩි 2-3 පමණ උසට වැවෙන පුරුක් සහිත කඳකින් යුත් ඉකිරිය ගසේ දිග සිහින් පත්‍ර පිහිටයි. ගස හොඳින් මෝරා යත්ම පුරුක් සම්බන්ධවන ස්ථානයන්ගෙන් තියුණු කටු මතුවෙයි. ඇතැම් ජලාශ්‍රිත බිම්වල දිගු පුළුල් පෙදෙසක් පුරා පැතිර ගිය ඉකිරිය පඳුරු සමුදායක් එක්වන්ව නිල්පැහැ මලින් සැරසී මඳ සුළඟට ලෙලදෙන ආකාරය ඉතා නෙත් කළු දර්ශනයක් වෙයි.
කෝකිලාක්ෂ, කාකේක්ෂු, ඉක්ෂුර, ක්ෂුරිකා, ක්ෂුරභික්ෂු, ජත්රක, කාණ්ඩේක්ෂු, ඉක්ෂුගන්ධා, ඉක්ෂු බාලිකා, වජු කණ්ටක ආදී සංස්කෘත පර්යාය නාම රැසක් පැරණි පොත පතෙහි ඉකිරිය සඳහා යෙදී ඇත. “නීරමුල්ලි” යනු ඉකිරිය සඳහා වූ ද්‍රවිඩ නාමයයි. නමුත් ලංකාවේ අති බහුතරය වෙත ශාකය හඳුන්වන්නේ නීරමුල්ලිය යන නමිනි.
ආයුර්වේද ගුණ
ආයුර්වේද ද්‍රව්‍ය ගුණ විද්‍යාවට අනුව ඉකිරිය ශීත වීර්ය හා ගුණ යුත් ඖෂධයකි. මධුර අම්ල සහ තික්ක රස යුක්ත වේ. අතිශයින්ම මුත්‍රකාරක ක්‍රියාකාරිත්වය මෙහි ප්‍රභාවයි. දෝෂ කර්ම වශයෙන් ඉකිරිය වාත පිත්ත සාමකයි හෙවත් වාතය සහ පිත සමනය කරයි.
අතිශය ගුණදායක මුත්‍රකාරකයක් ලෙස ගම්බද ජනතාව ඉකිරිය හොඳින් හඳුනයි. අතිශය දුස්සාධ්‍ය මුත්‍ර ක්රැච්ජ, අශ්මරී රෝග සහ මුත්‍ර ව්‍යුහයේ ආසාදන, ඉදිමුම් සුවකිරීම සඳහා මෙම ඔසුව සතුව ඇත්තේ අපූර්ව හැකියාවකි. ඉකිරිය සතු මේ විශ්මය ජනක ශක්තිය එහි අන්තර්ගත පොටෑසියම් ක්ලෝරයිඩ් හා පොටෑසියම් සල්පේට් නමැති උපාදාන නිසා ලැබුණු බැව් නව්‍ය විද්‍යාඥයින් සොයා ගත්තේ ඉතා මෑතදීය. නමුත් කිසියම් මුත්රාබාධයක සේයාවක් දැනුණු සැනින් ඉකිරිය කොළ සහ දඬු ටිකක් හොඳින් තම්බා බීමටත් එමගින් මතුව ඇති විය හැකි භයානක රෝගයක් මුලිනුපුටා දමන්නටත් අප රටේ ගැමි ජනතාව පුරුදු පුහුණුව සිටින්නේ පෙර සිටය.
හදවත් අබාධ වලදීද ඉකිරිය අමාව බඳුය. ශ්‍රේණිගත ස්ථාපන ගුණයෙන් ආඩ්‍ය බැවින් රක්තපිත්ත වාත රක්ත රක්ත හීනතාව වැනි රුධිර රෝගා වවස්ථාවන් බොහොමයකදී දේශීය වෛද්‍යවරුන් විසින් බෙහෙවින් භාවිතා කරනු ලැබේ.
රක්තහීනතාවේදී සක්‍රීයව ලේ වැඩීමට උපකාරී වන ඔසුවක් නිසාම විෂමජවරය (මැලේරියාව) යකෘත් වෘද්ධිය (අක්මාව ඉදිමීම) යන රෝග වලින් පසුව ඇතිවන රක්තහීනතාවේදීද අතිශයින් ප්‍රශස්තය. එහෙයින්ම ඉකිරිය විෂමඡ්වරය සඳහා ප්‍රසිද්ධ “විෂම ඡ්වරාන්තක ලෞහය” නමැති ශ්‍රේෂට ඖෂධ සංස්කරණයෙහි ප්‍රධාන අන්තර්ගතයක්ද වේ.
පැසී වියළුණු ඉකිරිය ඇට අතිශයින්ම නාඩි බලකාරක වේ. එහෙයින්ම ස්නායු දුර්වලත්වය සහිත රෝග (වාත රෝග) රැසකදී බහුලව භාවිතයට පත්ව ඇත. වෘංහණ, වෘෂත් හා සංතර්පණ ගුණ යුත් හෙයින් ශාරීරික දුර්වලතවයෙහිද ශුක්‍ර ධාතු පිළිබඳ දුර්වලතාවයනහිදීද මව්කිරි අඩුවීම මෙන්ම ජනනේද්‍රිය ආශ්‍රිතව ඇතිවන රෝගාබධ වලදීද ප්රත්යක්ෂ ගුණදෙන ඖෂධයකි.
සිතට ගතට බොහෝ දුක්දෙන වාතරක්ත රෝගයටද ඉකිරිය ප්‍රයෝගය ඉතා යහපත්වේ. වාතරක්ත රෝගයේදී දේශීය වෛද්‍යවරු පත්‍ර ශාකය (කොළ පලාව) නිතර කෑමට උපදෙස් දෙති. රසට පිසගත් නීරමුල්ලිය කොළ මැල්ලුම කැස්සටද ඉතා හොඳ ප්‍රතිකාරයකි.
විස නසන නීරමුල්ලිය
කුරිරු විසකුරු සර්ප දෂ්ටයකදී බොහෝ විට වෘක්ක හානිය (වකුගඩු නරක්වීම) සිදුවිය හැකිය. සර්ප විෂ ශරීර ගත වන ඇතැම් රෝගීන් මියයන්නේ සර්ප විෂ කරණකොට ගෙන ඇතිවන මාරාන්තික වෘක්කාබාධ හේතුවෙනි. සර්ප දෂ්ටයක් සිදුවූ වහාම විෂ වෛද්‍යවරයකු හමුවන තෙක් ප්රථමෝපකාරයක් වශයෙන් හෝ ඉකිරිය සහමුලින් ගෙන තම්බා රෝගියාට පෙවීම හෝ කැඳ පිස දීම එම වටිනා මිනිස් ජීවිතය ආරක්ෂා කර ගැනීම පිණිස කළ හැකි මිල කළ නොහැකි උපකාරයකි. විෂෙන් මුසපත් සිරුරේ රුධිර ගත විෂ වකුගඩු තුළදී පෙරා මුත්‍රයට පෙරා වැඩි වැඩියෙන් සිරුරෙන් බැහැර කර වීමට ඉහළ පෙළේ මුත්‍ර කාරකයක් වන ඉකිරිය සක්‍රීය වන ආකාරය සැබැවින්ම විශ්මය දනවන සුළුය.
ශරීරයේ බාහිර හා අභ්‍යන්තර ඉදිමුම් අවස්ථාවලදී ළපටි ඉකිරිය දළු කොළ සම්බෝලය පමණක්ම බොහෝ විට එකම ප්‍රතිකාරය බව පැරැන්නෝ අත්දැකීමෙන් දැන සිටියහ.
සැබවින්ම ඉකිරිය හෙවත් නීරමුල්ලිය මිනිසාගේ හිත මිතුරෙකි. දිව ඔසුවකි. සොබා දහම මිහිතලය මත මෙම ඔසුව බිහි කළේ මිනිසාගේ සුබසෙත සුවසෙත උදෙසාමය. එබැවින් එය රෝපන පෝෂණාදියෙන් රැක ගැන්මටත් ඉන් ඵල ප්‍රයෝජන ලබන්නටත් කුමට පසුබට වෙමුද?
Source – Divaina