
විවාහයට බලපාන සිකුරු සමග යෝගවන හැම ග්‍රහයකුම නිසා සිකුරුගේ පියවි ස්වභාවය වෙනස් වෙයි. එසේම එම සිකුරු සමඟ යෝගවන ග්‍රහයකුගේ කාරක අයිතිය අනුවද සිකුරුගේ පියවි ස්වභාවය වෙනස් වේ. ශුභ අශුභ ග්‍රහ දෘෂ්ටි අනුවත් සිකුරුගේ ගති ලක්ෂණ වෙනස් වන අවස්ථා වේ.
ඒ අනුව පුද්ගලයකුගේ චරිත ස්වභාවය වෙනස් කරයි. මෙම වෙනස විවාහය කෙරෙහි යම් ප්‍රමාණයකින් වෙනස් වනු ඇත. රවි චන්ද්‍ර ආදී ග්‍රහයන් නව දෙනාගෙන් එක් ග්‍රහයෙක් හෝ කීපදෙනෙක් සිකුරු සමඟ යෝග විය හැකියි. ඒ අනුව සිකුරු ස්වකීය හැසිරීම් ස්වභාවය වෙනස් කරයි. එය මිනිස් ඇසුර මෙනි. සිකුරු පියවි ලෙස කාන්තා ස්වභාවය නොකිළිටිව පළකරන ග්‍රහයා ය. එම සිකුරු සමඟ යෝග වන රවි, සඳු ආදී ග්‍රහයන්ගේ කාරක ගුණය සිකුරුට මිශ්‍ර වෙයි. එසේ වේගවත්ව හැසිරීම් රටාව වෙනස් කරන ග්‍රහයා අඟහරු ය. කුජ – ශුක්‍ර යෝගය ලෙස හඳුන්වනු ලබන්නේ එයයි.
සෙනසුරු සමඟ සිකුරු යෝග වූ විට එයට හාත්පසින් ම වෙනස් ස්වභාවයක් පළ කරයි. හේතුව ශනි ග්‍රහයා කාමයට රාගයට ආදරයට වේගවත්ව ඇලෙන ග්‍රහයා නොවීමයි. එහෙයින් විවාහ ගැලපීමේදී සිකුරු සමඟ යෝගවන හැම ග්රහයෙකුගේ ස්වභාවය විමසා බැලිය යුතුය. රසකාමී හිතකට ඇලෙන්නේ තවත් රසකාමී සිතකි. ඒ දෙක එකිනෙකට පටහැනි වූ විට ආදරයට ඇල්ම අඩුකරයි. එහෙයින් රවි ආදී අනෙක් ග්‍රහයන්ගේ සංයෝගය සිකුරුට යෙදීමේ ප්‍රතිඵල එකින් එක විමසා බලමු.
රාශි වළල්ල
සිකුරුට සමීපව සිටින ග්‍රහයන් තිදෙනා ගුරු හා සෙනසුරු ය. ඒ සිකුරු දෙපස සිටින ග්‍රහයන් දෙදෙනා බැවිනි. රවිගේ ආකර්ෂණය කොහොමත් වැඩිය. පෘථිවියට ඉතාම කිට්ටු ග්‍රහයා වශයෙන් සඳුගේ බලපෑම ද වැඩියෙන් එල්ල වේ.
රාශි වළල්ලේ රවිට අයත් රාශිය සිංහයයි. සිකුරුට තුලා වෘෂභ යන රාශි දෙකේම අයිතිය රවි – ශුක්‍ර යෝගයේදී ලැබේ. එහෙයින් ගිහි ග්‍රහයකු වන රවි ජන්ම කේන්ද්‍රයේ සිකුරු සමඟ යෝග වන විට කැළැඹුණු මානසිකත්වයක් ඇති කරයි. ඒ නිසා සමහර විට එම රවි සිකුරු පාප රාශියක සංයෝග වූයේ නම් මත්පැන් භාවිතයට නැඹුරුවක් ඇති කරයි. තරමක අහංකාර ගතියක් පෙන්වයි. රවි හා සිකුරු අතර මිත්‍රත්වයක් නැත. ඇතැම් විටෙක දෙදෙනා ඔවුනොවුන්ට විරුද්ධ බවක් පළකරයි. මේ විරුද්ධතාවය ග්‍රහයන් දෙදෙනාගේ කාරක ස්වභාවයට මුසු වේ. සිකුරු අපේක්ෂා කරන ආදරය රවි සෘජුවම අනුමත කරන්නේ නැත. එම රවි වූ කලී සිකුරුගෙන් පරිබාහිර දෙයකින් ආශ්වාදය ලබයි. රවි – ශුක්‍ර යෝගය, මතට නැඹුරු වන්නේ ඒ නිසාය.
රවි – ශුක්‍ර යෝගය
එහෙත් රවි – ශුක්‍ර යෝගය බුදගේ හෝ ගුරුගේ දෘෂ්ටියට ලක්වෙතොත් එය උදාරත්වය මතු කරන එකකි. අපේක්ෂා ජයගන්නා තුරු නොනවතින උද්යෝගයකින් යුතුව කටයුතු කරන්නෙක් වෙයි.
මේෂ ලග්නයට මෙම රවි සිකුරු යෝගය ලග්න රාශියේම වූයේ නම් එතැනදී රවිගේ බලය අසීමිතයි. මේෂ රාශියේදී අත්වන උච්ච බලයත් පස්වැන්නේ අයිතියත් නිසා විෂ්ණු ලක්ෂ්මී යෝගයක් වෙයි. එතැනදී සිකුරුට ඇත්තේ 2 සහ 7 අධිපතිකමේ උරුමයයි. මේෂ ලග්නයට සිකුරු මාරක ග්‍රහයා වන්නේ එම 2 සහ 7 අධිපතිකමේ නෑකම නිසාය. එවිට රසකාමී බව වේගවත් වේ. ලග්නගත රවි – ශුක්‍ර දෙදෙනාම 7 වැන්න ද දකින හෙයින් ආශා මුවහත් වේ. ඉක්මනින් විවාහ සබඳතා ගොඩනගයි.
මෙම රවි ශුක්‍ර යෝගය මේෂ ලග්න හිමියාට 2 වැන්නේ යෙදීම නරක නැත. හේතුව එය 2 සහ 5 යන රාශි අධිපතීන්ගේ යෝගයක් වීමයි. 2 වැන්නේදී ස්වක්ෂේත්ර බලයකට පත්වන සිකුරු ධනයට යහපත් ය.
මේෂ ලග්න කේන්ද්‍රයට රවි – ශුක්‍ර යෝගය තුන්වැන්නේ යෙදීම 5 සහ 7 අධිපතින්ගේ යෝග වීමකි. එය නරක නැත. විවාහකයා උගත් දැනමුතුකම් ඇත්තකු බව පළ කරයි. එම රවි සිකුරු යෝගය 4 වැන්නේ වීම 4 සහ 7 අධිපතීන්ගේ යෝගයකි. රාශි දෙකම විෂ්ණු ස්ථාන වීමේ ශක්තිය නිසා විවාහයෙන් පසු දියුණුවක් ලබා ඇත.
එම සිකුරු රවි යෝගයම පස්වැන්නේ වීම 5 සහ 7 අධිපතීන්ගේ යෝගයකි. නරක නැත. විවාහ පසුබිම යහපත් කරයි.
අයහපත් බලපෑම
රවි – ශුක්‍ර යෝගය මේෂ ලග්න කේන්ද්‍රයට 6 වැන්නේ යෙදුණු විට 6 වැන්න දුෂ්ට රාශියක් නිසාත් 7 අධිපති 6 වැන්නට අයහපත් නිසාත් ශුභ ප්‍රතිඵල අහිමි කරයි. විවාහකයාගේ රෝගී තත්ත්වයක් පෙන්වීම හා විරුද්ධවාදී හැඟීම්වල ගැටුම් ඇති කරන ස්වභාවයක් ද පළකරයි. එම රවි ශුක්‍ර යෝගය 7 වැන්නට යෙදීම නීච භංග යෝගයක් ගොඩ නැගීමකි. විවාහ සබඳතා ඉක්මනින් ගොඩනගයි. උපතින් සඳු දොළොස්වැන්නේ නොවිනි නම්, පමණක් එම යෝගය ඔරොත්තු දෙයි. නැතහොත් වේගවත් ආදර සිතුවිලි මතු කරන්නට බලයි.
එම රවි – ශුක්‍ර යෝගයම මේෂ ලග්න කේන්ද්‍රයක 8 වැන්නේ යෙදීම යහපත් නැත. එකක් 8 වැන්න දුෂ්ට රාශියක් වීමයි. දෙවැන්න 7 අධිපති සිකුරු 8 වැන්නට අයහපත් ය යන සම්මත පිළිගැනීමයි. ඒ නිසා විවාහ ජීවිතය අප්‍රසන්න අත්දැකීම්වලින් සපිරුණේ වෙයි.
එම රවි ශුක්‍ර යෝගයම මේෂ ලග්නයට 9 වැන්නේ යෙදීම නරක නැත. හේතුව 4 සහ 7 අධිපති භාග්‍ය ස්ථානයට යහපත්ය යන පිළිගැනීමයි. බොහෝවිට එම යෝගය මිත්‍ර විවාහයකට නැඹුරු එකකි. විවාහයද නරක නැත.
මේෂ ලග්නයට රවි – ශුක්‍ර යෝගය 10 වැන්නේ යෙදීම හොඳයි. විවාහකයාගේ වෘත්තීය බලයත් නැන්දම්මාගේ දයාබරත්වයත් එක්තැන් කරයි.
එම යෝගයම 11 වැන්නට වඩාත් හොඳයි. යහපත් ආර්ථිකත්වයක් පෙන්නුම් කරන අතරම 2 සහ 7 අධිපතීන්ගේ යෝගයක් වීම නිසා විවාහකයාගේ ආදායම ද යහපත් කරයි.
රවි – ශුක්‍ර යෝගය 12 වැන්නට හොඳ මදියි. විවාහ කාරක සිකුරු 12 වැන්නට අයහපත් වීම එකක්. 4 අධිපතියා 12 වැන්නේ වීම නිසා පදිංචිය වෙනස් කිරීම, විදෙස් ගමන්වල යෙදීම වැනි ප්‍රතිඵල පෙන්නුම් කරයි. 12 වැන්නේ රවි – ශුක්‍ර යෝගය අනවශ්‍ය වියදම් ඇති කරන එකකි. නඩත්තු වියදම් වැඩි කරන්නකි.
අප කතා කළේ රවි – ශුක්‍ර යෝගය මේෂ ලග්න හිමියාට බලපෑම් කරන අයුරුය. යට සඳහන් කළ සුබ – අසුබ ප්‍රතිඵල ද පාප ග්‍රහයන්ගේ දෘෂ්ටි අනුව අශුභ විපාක දිය හැකිය. ශුභ දෘෂ්ටි අනුව අශුභ ඵල අඩු කළ හැකිය.
ලග්න දොළොසට මෙම රවි ශුක්‍ර යෝගය 12 ආකාර වූ සේම ලග්න 12 ට ද එසේම යෙදීම නිසා 144 ගුණයක පලාපල වෙනසකට ඉඩ ඇත.
ලග්න 12 ටම රවි ශූක්‍ර ගේ බලපෑම විග්රහ කිරීම එක ලිපියකින් විස්තර කිරීම අසීරුය. එහෙත් විවාහ කාරක සිකුරු සමඟ ලග්න 12 තුළම විවිධ රාශිවල යෙදීමේ ප්‍රතිඵල හඳුනා ගෙන තිබීම යහපත් ය. මෙම යෙදීම රවි – ශුක්‍ර, සඳු – ශුක්‍ර, බුදු – ශුක්‍ර, ශනි – ශුක්‍ර, රාහු – ශුක්‍ර ආදී වශයෙන් වෙනස් වන අවස්ථා ඇත.
We found this article from Divaina on 2014/05/25.