දෙවියන් ඉතා ප්‍රිය පිරිතක් වන මෙම බලසම්පන්න කරණීය මෙත්ත සූත්‍රය භාවිතා කරන තැනැත්තා දෙවියන්ට ප්‍රියවේ. තමන් වෙත එල්ල වන ඕනෑම උපද්‍රවයකදී දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ. අමනුෂ්‍ය බිය සතුරු උපද්‍රව නැති වේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. යන එන සෑම තැන ගරු සැළකිලි හිමි වේ. අර්ථය නිසි ලෙස වටහා ගෙන මෛත්‍රි සහගත සිතින් යුතුව දිනපතා භාවිතය තුළින් ඔබට සියලු දුක් කරදර රෝග පීඩාවන්ගෙන් මිදී සතුටින් සහනයෙන් දිවි ගෙවීමේ හැකියාව උදාවනු ඇත.
කරණීය මෙත්ත සූත්‍රයේ සිංහල තේරුම කවියෙන්
රා දොස මුලා යන
කෙලෙසුන් පසුන් කරමින
ලබනුව අම නිවන
මෙමග ගත යුතු පමා නොවමින
මුනිඳු වදහල බවුන් මග ගොස්
නිවන් රස රිසි සේ විඳින්නට
සමත් විය යුතු ගුණෙන් හිඳිමින
මානයෙන් මන මත් නොවන්නට
නැතිව වැඩි වැඩ සිතාගත මැන
ලැබුණු දෙයකින් දිවි ගෙවන්නට
ලිහිල් පැවතුම් ඇතිව ඉඳුරන්
හික්මවා නුවණැස ලබන්නට
නොකළ යුතු නොසරුප් කමක්නම්
සිව්පසය ගැන නොම ඇලෙන්නට
නැණැති නුවණැති කිසිම කෙනෙකුගෙ
බසක් අවමන් නොම ලබන්නට
වෙන්ව සියලුම දුසිරිතෙන් සැම
සත්වගට මෙත පතුරවන්නට
සිතිය යුතු දුක සමග රෝ බිය
නොවේවා ලොව සැම දනන් හට
කෙලෙස් ඇති නැති සියලු සත්වග
උරග ඇත් අස් ගව මහිස යන
දිගටි කොට මිටි පෙනෙන නොපෙනෙන
දියෙහි ගොඩබිම උපන් සැම තැන
කැසබු වට සත් මසුන් සමගින
මෙසක්වල පිට සක්වලද යන
ඈත ළඟ ඇති සියලු සත්වයො
නිදුක් වේවා සිතැඟි විලසින
කිසිවෙක් කිසිවකුට අවමන් නොකෙරේවා
මොනයම් ලෙසකිනිදු කිසිවකු නොපෙළාවා
තිදොරින් කෝපයෙන් කිසිවක් නොසිතාවා
හැම තැනකදිම දුකකට පත් නොමවේවා
තම දිවි දෙවැනි කොට රකිනා එකම පුතු
සෙනෙහස සදිසි මවකට පමණක්ම සිතු
දුක සැප දෙකෙහි සමවන දහමකිය මිතු
අපමණ සතන් වෙත මෙත් සිත් වැඩිය යුතු
අරමුණු කොට අපමණ සත්වගට
සතුරු මිතුරු දෙපස
කරදර හිරිහැර වෙර සිතුවිලි
දුරුකර සොඳුරු මනස
සියලුම සත ලොව ඇතුළත
හැමදෙන උඩ යටද සරස
පැතිරිය යුතු වෙයි මෙත් සිත
ඉවතට හරිමින දොම්නස
සතර ඉරියව්වෙම
නිදි දුරැර සිහි ඇතිව
වැඩුමෙහි මෙත් බැවුම
මුනිඳු පැවසී අගය නිතරම
මෙත් බැවුමෙන් දැහැනකට සමවැදි මහණ
නම් රූ මිස සතකු පුඟුලකු නැති කියන
දුරුකර මිස දිටුව අනගැමි මග පැමිණ
මවුකුස නොපැමිණෙයි කිවයුතු තිර ලෙසින
කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් මෛත්‍රි භාවනාව වැඩීම
- මුනිඳු සරණ එක පිහිටම වේවා
උතුම් නිවන අවබෝධය වේවා
සුවච සුමුදු ගතිගුණ ඇතිවේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- මානෙන් තොර තුටු සිත් ඇති වේවා
අනුනට කරදරයක් නොකෙරේවා
සැහැල්ලු ජීවිතයක් ඇතිවේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- සන්සුන් ඉඳුරන් නිති ඇතිවේවා
සිහිනුවණින් කටයුතුද කෙරේවා
කුල මානෙන් දූසිත නොම වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- නැණැති දනන් වැනු ගුණ ඇති වේවා
පාප කෙලෙස් සිත් පහල නොවේවා
සිත කය වචනය පිරිසිදු වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- බියපත් තැතිගත් සතුන්ද වේවා
දිගු මහ සිරුරැති නෙක සත් වේවා
කෙලෙසුන් සුන්දර රහතුන් වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- අහසෙහි දුර ළඟ ගොඩ දිය වේවා
පෙනෙන නොපෙනෙනා සත්වගවේවා
ඉපදුන ඉපදෙන ගණනින් බෝවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- කිසිවකු හට වංචා නොකෙරේවා
කිසිවකු හට අවමන් නොකෙරේවා
කිසිවකු හට රිදුමක් නොකෙරේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- එකම පුතුන් දිවි නොතකා බෝවා
ඇල්මෙන් රකිනා මව සේ වේවා
මෙත් සිත් සිල් බලයෙන් සුරැකේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- ලෝ කුස උඩ යට කොතැනක වේවා
ගැටුමක් අවුලක් ජනිත නොවේවා
වෛර සතුරු සිත් පහළ නොවේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- සක්මන් කරමින් ඉඳගෙන වේවා
නොනි¹ සැතපෙන සිටගෙන වේවා
කොයි ඉරියව්වෙත් මෙත් ඇති වේවා
සියලු සතුන් ලොව සුවපත් වේවා
- ලෞකික ආශාවන් දුරු වේවා
ලොව්තුරු මගඵල සතුට ලැබේවා
සසරෙහි උපදින දුකින් මිදේවා
කෙලෙසුන් සුන්කර නිවන් දකිත්වා
හැකි සෑම අවස්ථාවකදීම මෙලෙස මෛත්‍රී වැඩීමේ ආනිසංස වශයෙන් ලේ ධාතුව පිරිසිදුවීම නිසා ලෙඩ රෝග සුවවී නිරෝගී සුවය අත්කර ගැනීමේ වාසනාව ජන්මීන්ට හිමි වන බව අත්දැකීමෙන් පැවසිය හැකි කරුණකි.
We found this article from Divaina on 2014/03/23.