හහ්….බලපන් උඹේ මූණේ තියෙන කින්ඩි හිනාව…
මී වදයක් වගේ….පැණි බේරෙනවා
දැන් මතක්කරනවත් ඇති උඹ කපපු ගල් හා ෂයින් කරපු ගල් ගාණ නේහ්…… ඇයි උඹ ජුවෙලරි සාප්පුවක වැඩ කලාද ගල් කපන්න???? උඹේ ඔලුවේ මොනවා තිබ්බත්….ඔය වචන දෙකම ස්වර්ණාභරණ කර්මාන්තයේ දී ඉතා වැදගත් වචන.
ගලක් කපනවා කියන්නෙ ලේසි වැඩක් නොවෙයි(කොහොමත්) බොහොම වෙහෙස වෙලා ජීවිතයත් පරදුවට තියලා හොයාගන්නා මැණික් කැටයට නියම වටිනාකමක් ලැබෙන්නේ ගල කැපීමෙන්
Diamond cut…Princess cut….Oval cut…Emerald cut ..etc.
වැනි කැපුම් ක්‍රම කිහිපයක් මේ ගල් කැපීමට ඇති අතර සාමාන්‍යයෙන් ගලේ ස්වභාවය අනුව හා පලුදු වූ ගල් cabochon ක්‍රමයට කපයි…. moonstone…cats eye…star sapphire වැනි වටිනා ගල් කිසිදා facets සිටින සේ කපන්නේ නැත. කැපුව ගලේ වටිනාකම එහි දිස්නය නැතහොත් මැණික් කාරයන්ගේ බාසාවෙන් “තුඩිය” අනුව තීරනය වේ…
දැන් උඹට තේරෙනවද උඹලා විසින් සමූහ දූෂණය කරන ලද මවු බස තවත් ගොඩක් උන්ට ආත්මය සේ වටින බව….ඒකත් හරියටම….අම්මා කෙනෙකුට දූෂණය වුනා උනත් තමන්ගේ එකා තමන්ට වැඩි නෑ වගේ…රස්සාවට භාවිතා වන සෑම වචනයක් ම හද්ද කුණුහරුපයක් ලෙස සමාජය දැක්කත් ඒක භාවිතාකරන එකාට ඒක වටියි….ඒ උගේ රැකියාවේ අනන්‍යතාවයි.
මා ඉස්සර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ ඉගෙනගන්නා කාලයේ අපිට ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පය ඉගැන්වූ ගුරුතුමිය මැණික් ගල් ඇඳ පාට කරන්නට උගන්වද්දී එකාට එකා කට තදකරගෙන හිනාවුනා මට තාමත් මතකය
“හිමාලිගේ ගල shine මදි”
” රන්දික තව හොඳට ඔය ගල කපන්න ඕන”
වෘත්තීයමය භාෂා ව්‍යවහාරය පිටත සමාජයට හද්ද වල් කුපාඩි අදහස් ගෙන ආවත්….ඒවා රැකියාවේ භාවිතයේදී අපට අත්හල නොහේ….ඒ නිසා මවුබස දූෂණයට ලක්වීමේ ආදීනව නොයෙක් දෙනා බොහෝ අපහසුතාවයන්ට ලක්වෙයි.
ස්සර පොඩි එකෙක් හවසට වැඩ ඇරී ගෙදර එන අම්මා තාත්තා ගෙන්. කුමක් හෝ ” බඩුවක් ” ඉල්ලයි.
බොහෝවිට එය ලොසින්ජරයක් විය. එක්කෝ වැඩට යනවිට අඬන දරුවා නලවන්නට අම්මා තාත්තා කීවේ….” හා..හා..අඬන්නැතිව ඉන්න අපි එනකොට පුතාට බඩුවක් ගේන්නම් කෝ” කියාය
දැන් කාලේ ඕක ඇහුණානම්…ඉල ඇටද හත් අට වරක් ඇඹරී දිව ද හැපී කලිසමේ චූ පොඩ්ඩකුත් යනු ඇත…මොකද අද වනවිට මවු බාසාවේ “බඩුවක්” යන වචනය වේසා ගෑණියකගේ භූමිකාවට ඇද දමා ඇති හෙයිනි.ඒ නිසා…
“තාත්තේ…හවසට එනකොට බබාට බඩුවක් ගේන්න” යනුවෙන් තවදුරටත් නොඇසෙනු ඇති.ඇසුනොත් සමහරවිට බබාට නොදැනී පවුල දික්කසාද වෙන තැනට වැඩ සිද්දවන්නටද පුලුවන
ලෝකයේ පැරණිතම භාෂාවකට උරුම කියන අපි ඕනෑම ශබ්දයක් උච්චාරණය කරන්නට හැකි ස්වර සහිත අක්ෂරයන්ගෙන් පෝෂණය වුන බඹර අකුරු සහිත සිංහලය සමූහ දූෂණය කරමින් සිටිමු…..කිසිදු භාෂාවක කුණුහරුප නැත…කුණු හරුප අප හදාගත් ඒවායි…..හරුප කිසිදා කුණු නොවන නමුත් මිනිස් සිතෙහි ඇති ආකල්ප කුණුවී පනුවන් ගසන බව මම විශ්වාස කරමි.
වෘත්තීයෙන් මැණික් ගල් කපන්නෙකු වන අනිල් ට තමන්ගේ රස්සාව කුමක් දැයි ඇසූවොත් ඇඹරෙන්නට ඉඩ හැදුවේ අපියි….භාෂාව නොවෙයි.පාසලේ දී අනිල් ගේ පුතාට තාත්තා කරන රැකියාව කුමක්දැයි ඇසූවිට ඇඹරෙන්නට ඉඩ හැදුවේ අපියි….භාෂාව නොවෙයි. සිංහලය මවු බස වී ඉපදුනා ට දැන් සිංහලය ගොඩක් එවුන්ට අම්මගේ බස වී තිබේ… සිංහල හරියට කතාකරගන්නට බැරි එකාට වුව….අම්මා මතක්කල විට කටට එන සිංහල…සෙල් ලිපි වලද නැත….නිකමට වාහනයක් හැප්පුනු තැනක බලාපල්ලා….වෙන වෙලාවට ඉංග්‍රීසීයෙන් රෙන එකාත් බැනගන්නේ අමු සිංහලෙනි….ඒ ඇයි…වෙන කිසිදු භාෂාවකින් බැන්නාට අපට ඇඟට නොදැනෙන හෙයිනි….භාෂාව අප හිතනවාටත් වඩා, සමහරවිට පොෂ් යැයි පෙන්නන්නට උතාසාහකරනවාටත් වඩා අපේ ලෙයට සම්මිශ්‍රණය වී ඇති හෙයිනි.
ඇයි හිනාවෙන්නේ….උඹලා හිනාවෙන්නේ උඹලා විසින්ම දූෂණය කරපු අපේ මවු භාෂාවටය….කොටින් කීවොත් මෙලොව ඇති ඉපැරණිතම භාෂාවකටය….ගැහැනිය බඩුව වී කලවා ගල් කලේ නුඹලාගේ කැත හිත මිසක භාෂාව නොවේ….
සිංහල තේරෙනවද?….ඔව් සිංහල තේරෙන එකාට මෙලොව ඕනෑම භාෂාවක් ඉතා පහසුවෙන් ඉගෙනගන්නට හැකිය…ඉතා විශාල ස්වර සංඛ්‍යාවක් සහිත සිංහලය මවු බස වී උප්පත්තිය ලැබීම පිනක් සේ මට හැඟේ….
ලෝකේ වෙන ඕනෑම භෂාවක් ඉගෙන ගනිල්ලා ඒ අතර අනිවාර්යයෙන්ම සිංහල හොඳටම ඉගෙනගනිල්ලා කොටින් කීවොත් හොඳින්ම “හෙළුවෙන් වනන්නට” දක්ෂ වෙයල්ලා එවිට… රන්කරුවා “ගල් කපන” විට… කඩේට ගොස් “බඩු” ගේන විට…. බස් එකේ “පොල්ල” අල්ලාගෙන යන විට නුඹලා කිසිදු සංසර්ගයක් නොමැතිව නිකම්ම බඩ වීම නිට්ටාවට සුව වේවි.
✍️ චතුරිකා අනුරාධා