BIA

මෙරටට පැමිණි ජපන් මහාචාර්යවරියකගේ මුදල් පසුබිය කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ බිමවැටී තිබියදී ගුවන්තොටුපොළ පිරිසුදු කිරීමේ සේවිකාවක අහුලා එය අයිති ජපන් මහාචාර්යවරිය වෙත ලබා දී ඇත.

හැට හැවිරිදි මටෘහුරා ජුන්කෝ නම් ජපාන මහාචාර්යවරිය මෙරටට පැමිණ ඇත්තේ මෙරට තිබෙනා දුර්ලභ පුස්කොළ ග්‍රන්ථයක් ජපන් භාෂාවට පරිවර්තනය කිරීමට වේ .  ශ්‍රී ලංකාව තුළ භාවිත කිරීම සඳහා ජංගම දුරකතන සිම්පතක් ලබා ගැනීමට කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ තිබෙන ජංගම දුරකතන සමාගමක කාර්යාලය වෙත ගිය අවස්ථාවේ ඇයගේ මුදල් පසුමිබිය බිම වැටී තිබිණි.

ගුවන්තොටුපොළ පිරිසුදු කිරීමේ කාර්යයේ නියැළී සිටි රඹුක්කන පී.පී. ස්වර්ණලතා මහත්මිය මෙම මුදල් පසුම්බිය දැක එය අහුලා වහා ම ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.

මුදල් පසුම්බිය තුළ රුපියල් ලක්ෂයකට අධික මුදලක්  තිබී ඇති අතර ඒ තුළ එම මහාචාර්යවරිය සිම්පත ලබාගත් විස්තර ඇතුළත් රිසිට්පත ද තිබී ඇත. එහි තිබූ තොරතුරු ඔස්සේ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මහාචාර්යවරිය අමතා ගුවන්තොටුපොළට පැමිණ මුදල් පසුම්බිය ලබා ගන්නා ලෙස දැනුම් දී ඇත.

මහාචාර්යවරිය ගුවන්තොටුපොළට පැමිණ මුදල් පසුම්බිය ලබාගෙන එය අහුලාගත් කාන්තාවට සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ත් ත්‍යාග පිරිනමා, ඇගයීමට ලක්කර සිය කෘතවේදීත්වය පළ කර ඇත.

About The Author

Leave a Reply