20407836

ජීවිතයේ මූලික අවශ්‍යතා හතරකි. ආහාර ඇඳුම් පැළඳුම් නිවාසයක්‌ හා ලෙඩට බෙහෙත් යන මේ අවශ්‍යතා හතර ගිහි ජීවිතයක්‌ ගත කරන සෑම කෙනෙකුටම උවමනා කෙරේ. තවත් අවශ්‍යතා තිබිය හැකි නමුත් මේ පොදු අවශ්‍යතා සපුරා ගැනීමට නම් ප්‍රමාණවත් රැකියාව මගින් ආදායමක්‌ තිබිය යුතුමය.

මිල මුදලින් යාන වාහන වලින්, ඉඩකඩම් වලින් හා ලස්‌සන නිවසකින් සමන්විත ජීවිතයක්‌ ගත කරන්නට නොපතන කෙනෙකු නොමැති තරම්ය. මේවා ලබා ගැනිමට දිවා රෑ නොබලා උත්සාහ කරන දහසකුත් දෙනා අතුරින් මේ පැතුම් ඉටුකරගන්නට සමත්වන්නේ අතලොස්‌සකි.

සවි ශක්‌තිය ඇති වයසේදී ධනයක්‌ සපයා නොගත් හා යමක්‌ ඉතිරිකර නොගෙන මහලු වූ කෙනෙකු “මාළුවෙකු අල්වාගත නොහැකිව අසරණව බලා සිටින වයස්‌ ගතවූ කොස්‌වා ලිහිණියෙකුට සමාන යෑයි බුදුන් වදාළ ධර්මයේද සඳහන් වේ.

ජ්‍යෙතිෂ්‍ය යනු ජීවිතය සැලසුම් කරගතහැකි මාර්ගයකි. ධනවත් වීම සඳහා ද ජ්‍යෙතිෂයෙන් ලැබිය හැකි පිටුවහල මෙතෙකැයි කිව නොහැක. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ආර්ථිකය සවිමත් කර ගැනීමට බලපාන ජ්‍යෙතිෂ කරුණු පිළිබඳවය. එය නිකම්ම ධනාත්මක චින්තනයන් නොවේ. ජ්‍යෙතීර්විද්‍යාව මත පදනම්වූ උපදේශනයකි. මේ උපදෙස්‌ පිළිපැදීමෙන් ඔබට ආර්ථික අංශයෙන් සාර්ථකත්වයක්‌ ලැබෙන බව නිසැකය. එය අපගේද ප්‍රාර්ථනාවයි.

සඳහන

ඔබේ හඳහනේ ඔබට හිමි ධනය ගැනද සඳහන්ව තිබේ. “හඳහන” යනු සඳහන” යන වචනයෙන් බිඳී ආ වදනකි. සඳහන් වන්නේ කර්මානුරූප උරුමයයි. එහෙත් අපි හඳහන ගැන විමසීමට පෙර ධනවතුන් ගේ ලෝකය දෙස බලමු.

හැට, හැත්තෑව දශක වලදී මෙරට ජනනායකයින් වූ බොහෝ දෙනෙකු උපතින්ම ධනවතුන් වූහ. මේ පිළිබඳව ඔබට සොයා බැලිය හැකිය. යහමින් ගේ දොර ඉඩම් හා වාහන ඔවුන් සතුව තිබිණ. එහෙත් මිය යනවිට ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම්වල සැලකිය යුත මුදලක්‌ නොතිබිනි. මේ බොහෝ දෙනෙකු සතුව තිබුණේ නිශ්චල දනය පමණි. මේ පළමු කොටසයි.

තවත් සමහර අය සතුව බැංකු ගිණුම් වල විශාල මුදලක්‌ තැන්පත් කර තිබුණේය. ඔවුන්ට නිශ්ඵල දේපළක්‌ නොතිබූ අතර සැපවත් ගෘහ ජීවිතයක්‌ද නොතිබිණි. මෙවැනි අය ජනනායකයින් වූයේ නැත. බඩ පිරෙන්නට ආහාර ගත්තේද නැත. ගිණුම්වල ඒ මුදල් තිබියදීම මිය ගියහ. ඒ දෙවන කොටසයි.

තවත් අයෙකු ධනවත් වූයේ බිරිඳගෙන් ලැබුණු දායාදයෙනි. නැතහොත් තමන්ට සුළු ආදායමක්‌ පමණක්‌ තිබූ අතර සමාජයේ කැපී පෙනීමට වියදම් කළ හැකි වූයේ ධනවත් බිරිඳක්‌ ලැබු හෙයිනි. මෙවැන්නක්‌ මෙන්ම තවත් කෙනෙකු සමග හවුලේ ව්‍යාපාර කරන ලද අය තුන්වන කොටසට ඇතුළත් වේ.

හතරවන කොටස ආයෝජනයින් වේ. ඔවුහු දුෂ්කර ලෙස ජීවිතය අරඹා ඉතිරි කරගත් මුදල් නැවත නැවත ව්‍යාපාරවලට ආයෝජනය කරන ලදුව ටිකෙන් ටික ආර්ථික සමෘද්ධිය ලබාගත් අයයි. ව්‍යාපාරිකයන් වන ඔවුහු මියයන්නේ විශාල ධනවතුන් ලෙස බව පෙනේ. “චුල්ල සෙට්‌ටි ජාතකය විස්‌තර කරන්නේ මෙවැනි පුද්ගලයෙකු පිළිබඳවය.

ධනය ගැන කතාකරන විට අවසන් කොටස ගැනෙන්නේ රැකියාවක්‌ කර වැටුප් ලබන කොටසටය. මේ අය බොහෝ විට යම් විශේෂ දැනුමක්‌ ඇති වෘත්තිකයෝ වෙති. සෑහෙන වැටුපක්‌ ලබන ඔවුහු නිරතම වැටුප ප්‍රමාණවත් නැති බව කියනු දක්‌නට ලැබේ. එහෙත් ලැබෙන වැටුප් සියල්ල වැය කරමින් සැමදා එකම මට්‌ටමකින් ජීවත්වෙයි.

ධනය අතින් සාර්ථක වනවිට ඒ බව ජීවිතය තුළ දැකිය හැකි අංශ පහක්‌ ඉහත දක්‌වන ලදී.

  • තැන්පත් ධනය
  • නිශ්චල දේපළවලින් ලැබෙන ධනය
  • ආයෝජවලින් ලබන (ලාභ) ධනය
  • බිරිඳගෙන් ලැබෙන දායාද / හවුල් ව්‍යාපාර
  • රැකියාවෙන් ලැබෙන වැටුප් ආදායම වශයෙනි.

එහෙත් මේ අංශ පහම සාර්ථකත්වයට පත් කරගත් කෙනෙකු දැකීම දුර්ලභය. බොහෝ දෙනෙකු සාර්ථක වන්නේ එකක්‌ හෝ දෙකකින් පමණි.

ධනය අතින් සාර්ථක වීමට පතන කෙනෙකු තමන්ට සාර්ථක විය හැක්‌කේ ඉහත කුමන අංශයකින් දැයි පළමුවෙන්ම දැනගත යුතුය. එමෙන්ම දුර්වල කුමන අංශයද යන්නත් දැනගත යුතුවේ. මේ අවබෝධය ලබා ගැනීම සඳහා ජන්ම පත්‍රය බොහෝ උපකාරි කරගත හැකි වේ.

තැන්පත් ධනය ගැන කියන්නේ කේන්ද්‍රයේ දෙවැන්නෙනි. දෙවැන්න බලවත් නම් ජන්මියාට සෑහෙන ධනයක්‌ ඉතිරිකර තැන්පත් කර ගැනීමට වාසනාව තිබේ. දෙවැන්න පාප ග්‍රහ බලපෑම් මගින් දුර්වල නම් ඉතිරිකරන ධනය ඉක්‌මනින්ම වැයවීමට හෝ නාස්‌තිවීමට කරුණු යෙදේ. දෙවැන්නේ කුජ, රාහු වැනි පාපයකු සිටිනු අයගේ වියදම අධික බව පෙන්වයි.

ගේ දොර ඉඩකඩම් යාන වාහන ගැන කේන්ද්‍රයක හතරවන භාවයෙන් පෙන්වයි. හතරවැන්න බලවත් අයට මේ අනුව උපතින්ම යහපත් ගේ දොර ඉඩකඩම් වාහන ලැබේ. දුෂ්ඨ ස්‌ථාන අධිපති පාපයකු හතරේ නම් ජන්මයාට මෙම නිශ්චල දේපල හෝ යහපත් ගෘහ ජීවිතයක්‌ උරුම කර ගැනීම ඉතා අසීරුය. ගෙවල් හා ඉඩම් ආශ්‍රිතව ලැබෙන ආදායම මෙන්ම මුදල් යොදවා කරන ආයෝජනවලින් ලබන ආදායමද පස්‌වන භාවයෙන් පෙන්වයි. පස්‌වැන්න දුර්වලනම් ජන්මියා ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් පාඩු ලබන තත්ත්වයක්‌ පෙන්වයි.

කේන්ද්‍රයේ හත්වැන්න විවාහ ස්‌ථානයයි. එයින් දෙවැන්නේ හෙවත් අටවැන්න විවාහයෙන් ලබන දායාද ගැන පෙන්වයි. මෙම රාශි බලවත් නම් විවාහ සහකරු නිසා සෑහෙන දනයකට හිමිකම් කියන බව පෙන්වයි. හවුල් ව්‍යාපාරවලින්ද ලාබ ලබයි.

රැකියාව ගැන කියන එකොළොස්වැන්න

කේන්ද්‍රයක එකොළොස්‌ වැන්න රැකියාව හා එයින් ලැබෙන දේ පෙන්වන තැනයි. එය වැටුප හෝ එම ආදායමයි. එකොලොස්‌වන භාවයේ බල දුබලකම් අනුව ජන්මියාගේ ජීවනෝපාය නිසා ලැබෙන ආදායම් තත්ත්වය තීරණය කළ හැකිය.

ඉහත දක්‌වන ලද්දේ කෙනෙකුට ධනය ලැබෙන අංශ කේන්ද්‍රය අනුව දැනගත හැකි ආකාරයයි. මේ අනුව කේන්ද්‍රයේ ධනයට අදාළව බලවත් භාවය හා ග්‍රහයන් අනුව ආර්ථික සමෘද්ධිය ලඟා කරගත හැකි වේ. එය හඳුනාගත යුතුය. එමෙන්ම දුර්වල භාවයකට හිමි ව්‍යාපාරවල යෙදීමෙන් සාර්ථකත්වයක්‌ අපේක්‍ෂා කළ හැකි නොවේ.

ඔබේ කේන්ද්‍රයේ ව්‍යාපාරවලට ආයෝජන කර ධනවත් විය හැකි බව පෙන්වන අතර කෙසේ ආයෝජනය කළ යුතුද යන්නද ග්‍රහ බලය අනුව පෙන්වයි. සෙනසුරු මරණය හා විනාශය ගැන කියන ග්‍රහයෙකි. සෙනසුරු අටවන මාරක ස්‌ථානයේ බලවත්ව සිටි කෙනෙකු කොටිපතියෙකු බවට පත්වී ඇත්තේ අවමංගල කටයුතු පිළිබඳ සේවාවන් මගිනි. ගුරු ග්‍රහයා වෛද්‍ය හා ගුරු වෘත්තිය මෙන්ම පූජා භාණ්‌ඩද සිකුරු පලතුරු හා ඉලෙක්‌ට්‍රොනික උපකරණද රවි විදුලි උපකරණද සඳු දියර වර්ගද බුධ අධ්‍යාපන උපකරණ මෙන්ම බුලත් ආදී කොල වර්ගද පෙන්වයි. බලවත් ග්‍රහයාට හිමි ව්‍යාපාරයක්‌ තුළ ආයෝජනය කළ යුතු වේ. එමෙන්ම දුර්වල ග්‍රහයකුට හිමි ව්‍යාපාරයක යෙදීමෙන් සාර්ථක විය නොහැකි වේ. මහනුවර නගරයේ කෝටිපති හෝaටල් හිමියෙකු පැවසුවේ තමන් මුලදී සිල්ලර බඩු වෙළෙ¹ම කර අසාර්ථකවූ බවත් කේන්ද්‍රය පරික්‍ෂා කරන ලදුව හෝටල් ව්‍යාපාරයක්‌ සුදුසු බව දැනගත් බවත් ඒ අනුව කටයුතු කර දියුණුවට පත්වූ බවත්ය.

ප්‍රසිද්ධ නගරයක සිටි සිල්ලර බඩු ව්‍යාපාරයක අතිශයින්ම සාර්ථකවූ තවත් කෝටිපති ව්‍යාපාරිකයකු බේකරි ව්‍යාපාරයක්‌ ආරම්භ කළේය. ඔහුට රැකියාව සාර්ථ කර ගත හැකි නොවීය. මේ වනවිට එය වසාදමා තිබේ. එමෙන්ම බේකරි ව්‍යාපාරයක්‌ සාර්ථකව කරන අයෙකු රෙදි පිළි ව්‍යාපාරයක්‌ ආරම්භ කළ ද එයද සාර්ථක වී නැත.

පොත්පත්, ලීබඩු රෙදිපිළි මෝටර්ර රථ අමතර කොටස්‌ වාහන ආදී විවිධ ක්‍ෂේත්‍රයන් තුළ හිනි පෙත්තටම ගමන් කළ ව්‍යාපාරිකයෝ සිටිති. ඒ අයගේ බලවත්ම ග්‍රහයා අනුව ව්‍යාපාරය නිරත වී තිබේ.

ඉහත කරුණු අනුව පෙන්වන්නේ ඔබ රැකියාව, ධනය අතින් සාර්ථක වීමට අපේක්‍ෂා කරන්නේ නම් සුදුසු ක්‍ෂේත්‍රය හා ව්‍යාපරය කුමක්‌ද යන්න දැනගත යුතු බවයි. කේන්ද්‍රයේ 4 බලවත් නම් ඔහු නිශ්චල දේපළ දියුණු කර ගැනීමට උත්සාහ කිරීම ප්‍රඥවන්තය. 11 භාවය හා සිකුරු දුර්වල නම්ද 4 බලවත් නම්ද වෙළෙ¹මට වඩා කෘෂිකර්මය සුදුසු වීමට ඉඩ තිබේ.

කේන්ද්‍රයේ හත්වැන්න බලවත් නම් හවුල් ව්‍යාපාර සුදුසුය. නමුත් හවුල්කරුගේ හා ඔබේ කේන්ද්‍රවල ගැලපීම පිළිබඳව සොයා බැලීම ප්‍රඥවන්තය. දෙපැත්ත දුර්වල නම් මුදල් ඉතිරි කිරීම අපහසුය. එහෙත් හතර බලවත් නම් මුදල් වෙනුවට ඉඩම් හා ගෙවල් දියුණු කිරීමට හිත යොමුකළ හැකිවේ. ජන්ම පත්‍ර පරික්‍ෂාවන් මගින් මේ කරුණු නිර්ණය කළ හැකිය.

ව්‍යාපාර ආරම්භ කිරීම

ධනයෝග කේන්ද්‍රයේ තිබුණද මේ කාලය ව්‍යාපාරයන් ආරම්භ කිරීමට සුදුසුද? යවන්නද දැනගත යුතුවේ. තදබල අපල ඇති කාලයක පළමුව අදාළ ශාන්තිකර්ම කරගෙන ඉන්පසුව ව්‍යාපාර ආරම්භ කළ යුතය. සුබ නැකතකින්ම ආයෝජන කටයුතු ආරම්භ කළ යුතුවේ.

කොතරම් යහපත් ආදායම් මාර්ග තිබුණද ඉතිරියක්‌ නැති අයද සිටී. ඔබටද ආදායම් යහපත් වුවත් වියදම් ඉතා අධික වන්නේ නම් ඊට හේතුව සොයා බැලිය යුතුවේ. එය කලමනාකරණ දොෂයක්‌ නොවේ නම් ග්‍රහ අපලයන් නැතහොත් ගුප්ත විද්‍යාත්මක දොෂයන්ද විය හැකිය.

සෙනසුරු කේන්ද්‍රයේ 2, 4, 5 වැනි භාවල ඒරාෂ්ටක ගමන් කරන විට ධනහානි ඇතිවේ. එවිට ග්‍රහ අපලයට අදාළ ශාන්තිකර්ම කරගත යුතුවේ. ධනහානි ඇතිවන වාස්‌තුදො ද තිබේ. පදිංචි නිවසේ අය වැය දුර්වල නම්ද උළුවහු දොෂ මකර දොස තිබේ නම්ද ධනහානි සිදුවේ. එවිට එම දොෂ මඟහරවා ගත යුතුවේ. නිවසේ භෛරව දොෂ, ප්‍රේත දොෂ හා අනවින දොෂද තිබේ නම් ඒවා සොයා බලා පිළිsයම් කළ යුතුවේ.

ධනාකර්ෂණය ඇතිවන පිළිවෙත්ද තිබේ. භාග්‍යය අතින් ඉතා උසස්‌ බුදුරජාණන් වහන්සේට දිනපතා පූජා තබා බුද්ධානුජය භාවනාව කිරීම, මෙයින් ප්‍රමුඛය. ධනයට අධිපති ශ්‍රී ලක්‍ෂමී දේවියට පූජා තැබීම දක්‍ෂිණාවෘත සංඛ, වාලම්පූරි, භාවිතය එම දැහැන්වලින් ජීවංකල සුවඳ ධූපයකින් නිවසේ දුම් ඇල්ලීම ගැලපෙන මැණික්‌ පැළඳීම ආදී ශාන්තිකර්ම රාශියක්‌ මේ යටතේ නිර්දේශ කෙරේ.

නිවැරැදි රැකියාව, නිවැරැදි ව්‍යාපාරය, තෝරාගෙන උත්සාහයෙන් ක්‍රියා කරන්නේ නම් ඔබටද ආර්ථික සමෘධිය ලබා ගැනීම අපහසු නොවේ.

 

– දිවයින පුවත්පතෙන් උපුටාගන්නා ලද සටහනකි-

About The Author

Leave a Reply