අනතුරකට ලක්ව මොළය මියගිය පුද්ගලයෙකුගේ අවයව දන්දීම සඳහා ගුවනින් කොළඹ ජාතික රෝහල වෙත ගෙන ආ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
හසලක ප්‍රාදේශීය සභාවේ රියදුරකු ලෙස සෙවයේ යෙදී සිටි හසලක මහඅස්වැද්දුම ගම්මානයේ පදිංචි දෙදෙරු පියකු වන එම්.ජී චමින්ද 48 යන අය වැඩ නිමවී ලංගම බසයකින් නිවස බලා යන අතරතුර බසයෙන් බිමට ඇද වැටී අනතුරට ලක්ව තිබේ.
අනතුරින් හිසට තුවාල සිදුවීමත් සමග රෝගියාව පලමුව මහියංගන රෝහලට ඇතුලත් කර පසුව බදුල්ල මහ රෝහලට ගෙනවිත් දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර සදහා යොමු කළත් ඒ වන විටත් මොලය මියගොස් තිබෙන බවත් තව දුරටත් ජීවත් කළ නොහැකි බව වෛද්‍යවරුන් රෝගියාගේ පවුලේ සාමාජිකයින්ව පවසා තිබේ.
රෝහල්ගතව සිටින නමුත් මරණයෙන් බෙිරාගැනීමට නොහැකි තම සැමියාගේ අවයව දන්දීමට බිරිද ඇතුලු දරුවන් දෙදෙනා එහිදි තීරණය කළ බව වෛද්‍යවරුන්ට පවසා තිබේ.
ඒ අනුව බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලට වාර්තා කර අවශ්‍ය කටයුතු සුදානම් කල අතර අනතුරුව එම රෝගියාව ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට ගෙනගිය බව රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයෙක් පැවසීය.
චමින්දගේ හදවත විදේශීය වෛද්‍ය කණ්ඩායමකගේ ද සහාය ඇතිව වෙනත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිතය.
එසේම ඔහුගේ පෙණහලු සහ අක්මාව මහනුවර රෝහලේදී තවත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිත බව වාර්තා විය.
ඔහුගේ වකුගඩු බදුල්ල මහ රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමට නියමිතව ඇත.
බදුල්ල මහ රෝහලෙන් ගෙන ගිය චමින්දගේ අවයව ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර යළි බදුල්ල මහ රෝහලට ගෙනැවිත් මරණ පරීක්ෂණයෙන් පසු පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතය.