වසර කීපයක් පුරා තමා සන්තකයේ තිබෙන රෝහණ විජේවීරගේ භෂ්මාවශේෂ භාර ගැනීමට පැමිණෙන ලෙස තමා විජේවීරගේ පුත් උවිඳු විජේවීර ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කළද ඒ කිසිවකුගෙන් මෙතෙක් ප්රතිචාරයක් නැති බව බස්නාහිර පළාත් හිටපු එජාප මන්ත්රි ජනක මල්ලිමාරච්චි කීය.
යුද හමුදා අත්අඩංගවට පත්වීමෙන් පසු බොරැල්ල ගොල්ෆ් ක්රීඩාංගණයේ දී වෙඩි තබා ඝාතනය කර බොරැල්ල කනත්තේ දී දවා අළු කළ රෝහණ විජේවීරගේ භෂ්මාවෂේෂ ජනක මල්ලිමාරච්චිට දී ඇත්තේ කනත්තේ සේවකයකු විසිනි. ඒ එය භාර ගැනීම ජනතා විමුක්ති පෙරමුණ ප්රතික්ෂේප කිරීම හේතුවෙනි.
ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන් වැනි දිනට වසර තිස් තුනකි. එම දිනය නිමිතිකර ජනතා විමුක්ති පෙරමුණ වාර්ෂිකව ඉල්මහ විරු සමරුව නමින් උපහාර උළෙලක් ද පවත්වයි.
භෂ්මාවශේෂ භාර ගැනීමට උවිඳු විජේවීර මාස කීපයකට පෙර තමාට පොරොන්දු වුවත් ඔහු නොපැමිණි බවද හෙතෙම කීය.
“ජවිපෙ විජේවීරගේ අළු භාර ගත්තේ නෑ. විජේවීරගේ බිරිඳත් භාර ගත්තේ නෑ. ළමයි භාර ගත්තෙත් නෑ අන්තිමේ දී භෂ්මාවශේෂවල අයිතිකාරයා වෙලා ඉන්නේ මම. මගේ දේශපාලනයට විජේවීර කොහොමත් ගැලපෙන්නේ නැති වුණත් මේ මනුස්සයකුගේ භෂ්මාවශේෂ අපේ සංස්කෘතින් හැටියට ඊට ගෞරවයක් හිමි විය යුතුයි. ඒ නිසා මම ආරක්ෂාකාරී ලෙස රහසිගත ස්ථානයක භෂ්මාවශේෂ තැන්පත් කර තිබෙනවා යැයි” ජනක මල්ලිමාරච්චි වැඩිදුරටත් කීය.