
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන රවිඳු ගුණවර්ධන නමැති නීති සිසුවා මේ මස 10වැනිදා සිට 25වැනිදා දක්වා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අවසන් වසර නීති විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගෙි ආරක්ෂාව යටතේ එහි රැගෙන යන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගිය 02දා මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
මැයි 09වැනිදා පස්වරුවේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල හා ඔහුගේ ආරක්ෂක පොලිස් සැරයන් අහංගම විතාරණලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කොට තිබිණ.
එම ඝාතන සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා වරින්වර සැකකරුවන් හතළිස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, අත්අඩංගුවට ගෙන නොමැති සැකකරුවන් ලෙස තවත් දෙදෙනෙකු නම් කොට ඇත. එසේ රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවන් හතළිස්දෙනෙකු අතරින් එක් සැකකරුවෙකු මහර බන්ධනාගාරය තුළදී රෝගී වී පසුගියදා මියගොස් තිබිණි.තවත් සැකකරුවෝ සිවුදෙනෙක් ඇපමත මුදාහැර සිටිති. අදාළ නඩුව පසුගිය 02දා නැවත කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටි සැකකරුවන් සිවුදෙනා අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර, ඊමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් තිස්පස්දෙනා අධිකරණයට ගෙනැවිත් නොතිබිණි.
මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සැකකාර නීති ශිෂ්‍යයා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන නීති විභාගයට පෙනී සිටීම සඳහා රැගෙන යන ලෙසට මහේස්ත්‍රාත්වරයා මහර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් ඊළඟ දිනයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහර බන්ධනාගාර අධිකාර්වරයාට නියෝග කෙරිණි. රිමාන්ඩ් භාරයේ රඳවා සිටින සැකකරුවන් තිස් පස්දෙනා තවදුරටත් රිමාන්ඩ් කෙරුණු අතර, නඩුව නැවත කැඳවීම මේ මස 16වැනිදාට කල් තැබිණි.