
නෙස්ලේ ලංකා සමාගම රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක් සිදුකරමින් තම කුරුණෑගල කර්මාන්තශාලාවේ ජෛවස්කන්ධ බොයිලේරුවක් (Biomass Boiler) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙයි. මෙම ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( පෙබරවාරි 9) කොළඹදී පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් (Dominic Furgler), නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ ජේසන් ඇවන්සේනා (Jason Avancena), පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2050 වසර වන විට තම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ හරිතාගාර වායු විමෝචනය ශූන්‍ය කිරීමේ සැලස්ම ක්‍රියාවට නංවමින්, 2025 වසර වන විට 20% කින්ද ,2030 වනවිට 50% කින්ද, 2050 වන විට 100% කින්ද හරිතාගාර වායු අවම කිරීමට නෙස්ලේ සමාගම බලාපොරොත්තු වේ. මෙම ජෛවස්කන්ධ බොයිලේරු ව්‍යාපෘතිය මඟින් පමණක් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ සිදුවන හරිතාගාර වායු විමෝචනය 37% කින් අවම කිරීමට හැකියාව ලැබෙන බවත් සදහන්.
මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ මේ වන විට පවතින දුෂ්කර ආර්ථික තත්වය හමුවේ වුවද නෙස්ලේ ලංකා සමාගම ලංකාව තුළ සිදුකරන මෙවැනි විශාල ආයෝජනයන් පිළිබඳව තමන් අගය කරන බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද සදහන් කළේය.
“ පසුගිය කාලයේ බහුජාතික සමාගම් රැසක් විවිධ හේතු මත ලංකාවේ ආයෝජන කටයුතු වලින් ඉවත් උනා. නමුත් නෙස්ලේ වැනි විශාල සමාගම් තවදුරටත් ශක්තිමත් ලෙස ලංකාවේ තම ආයෝජන සිදුකරමින් සිටිනවා. ආනයන සීමා කිරීම නිසා ආනයන ආදේශන කර්මාන්ත රැසක් පසුගිය කාලයේ ඉදිරියට පැමිණියා. පසුගිය වසරේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක්. මීට වසර 4 කට පෙර එම අගය බිලියන 22ක්. ඒ අනුව ආනයන වියදම බිලියන 4 කින් අඩුවී තිබෙනවා. මෙරට විදුලිය නිෂ්පාදන වියදම ඉතා ඉහළයි.
ඒ නිසා වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත ව්‍යවසායකයින් යොමුවීම මේ මොහොතේ වැදගත්වෙනවා.
නිදහසින් පසු ගෙවුනු පසුගිය වසර 75 තුළ ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන් තුළ දියුණුවක් ඇතිවී තිබෙන බව පැහැදිලියි. නිදහස ලබද්දී 1948 දී ලංකාවේ ජනගහනය මිලියන 6.8 ක් දැන් මිලියන 21යි. වැඩිවූ ජනගහනයට සාපේක්ෂව යටිගල පහසුකම් වැඩිදියුණු කර තිබෙනවා. පසුගිය වසර 75 තුළ නිදහස් අධ්‍යාපනයේ ප්‍රථිපල රැසක් උදාකර දුන්නා. ලෝකයම පිළිගත් ගුණාත්මක සෞඛය ක්ෂේත්‍රයක් අපට තිබෙනවා. නමුත් පසුගිය වසර 2 තුළ මුළු ලෝකයටම බලපෑ කොවිඩ් වසංගත තත්වය මත අප රටේත් පසුබෑමක් ඇතිඋනා.ගිය වසරේ මෙතෙක් ලංකවේ වාර්ථාකළ ඉහලම පොල් නිෂ්පාදනය වන පොල් ගෙඩි බිලියන 3.2 ක් වාර්ථා කලා. එය මෙතෙක් සිදුකළ ඉහළම පොල් නිෂ්පාදනයයි. වර්තමානයේ තේ වලට වඩා හොඳ පොල් වෙළඳ පලක් නිර්මාණය වී තිබෙනවා. අපට ඉතා දිගු ගමනත් යා හැකියි. ගිය වසරේ පොල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 850 ක් උපයා ගැනීමට හැකිඋනා. ඉදිරියේදී පොල් අපනයන ආදායම් තවත් වැඩිකර ගත හැකියි. සාමාන්‍යයෙන් වසරකට ලබාදෙන පොල් පැල මිලියන 2 වෙනුවට ගිය වසරේ පොල් පැල මිලියන 6ක් පොල් වගාකරුවන්ට බෙදා දුන්නා. අපට ඉදිරියේ ඉහළ පොල් අපනයන ඉලක්කයක් සපුරාගැනීමේ හැකියාව තිබෙනවා ”
1984 දී ආරම්භ කළ කුරුණෑගල පිහිටි නෙස්ලේ කර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාව තුළ අළෙවි කරන නෙස්ලේ නිෂ්පාදන වලින් 90% කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. වසර 115 කට වැඩි කාලයක් පුරා ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන නෙස්ලේ සමාගම 25 000 කට වැඩි ශ්‍රී ලාංකික කිරි හා පොල් ගොවීන්ට මෙන්ම ගෙවතු වගාකරුවන්ට ආර්ථික ශක්තිය ලබාදීමට සමත් වී තිබෙයි. පසුගිය වසරේදීද නෙස්ලේ ලංකා සමාගම තම මෝල්ට් නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම සඳහා Vacuum Band Dryer ඒකකයක් පිහිටුවීමට රුපියල් බිලියන 2 ක ආයෝජනයක් සිදුකොට තිබෙයි.
– Media unit-