සූර්යයා, සර්ව බලධාරී එකම දෙවියාය. මැවුම්කරුය. එකම පාලකයාය. ඔහුගේ රාජ්‍යය විශ්ව රාජ්‍යයයි. සඳු බුධ සිකුරු කුජ ගුරු සෙනසුරු රාහු සහ කේතු ප්‍රබල සාමාජිකයන් වෙති. අප ජීවත් වන පෘථිවි තලය මත ඇති සකල විධ ජීව අජීව වස්‌තු සමුදාය සම්බන්ධ උපත පැවැත්ම සහ විනාශයද විශ්ව රාජ්‍යයේ අණසකට යටත්ය. ශාක ප්‍රජාවද විශ්ව නිර්මාණයකි. ගස් වැල් මිනිසාට ආහාර ඖෂධ ආදී බොහෝ දේ ලබා දෙනවා මෙන්ම ආරක්‍ෂාවද සම්පාදනය කරයි. මිනිස් සිත මෙහෙයවීමේ වැරදි හා දෝෂ නිසා ඇතිවන අපල කරදර කළමනාකරණය කරන්නාවූ විශ්ව බලවේගයන්ගෙන් ආරක්‍ෂා වීමට විශේෂිත ගස් වැල් බොහොමයක්‌ම උපකාරී වේ. හෘදාකාර පත්‍රයන්ගෙන් යුත් බෝධි වෘක්‍ෂය ඉතා පැහැදිලි නිදර්ශනයකි. බුධගෙන් සිකුරුගෙන් සහ ගුරුගෙන් වන ග්‍රහ අපල නිවාරණය පිණිස මිහිතලය මත බිහි වී ඇති තුරු ලතා සමුදාය තුළ ලුණුවිල පැළෑටිය ද මුල් තැනක් ගනී.
ගෙවත්තේ ගෙමිදුලේ ලුණුවිල වවාගැනීමෙන් නිතර ස්‌පර්ශය හා දර්ශනය තුළින්ද සුදුසු ක්‍රම වේද හරහා සේවනය කිරීම තුළින්ද බාහිර ප්‍රශ්න කරදරවලින් තොරව සුවපත් ජීවිතයක් පවත්වාගෙන යැමට ලැබෙන අනුබලය පසක් කර ගැනීම වැදගත්ය. ගස් වැල් ඇසුරෙහි සිටි පැරැන්නන් ……. තිරසාර සංවර්ධනයට
ලුණුවිල යනු
පැරණි ආයුර්වේද ආචාර්යවරුන් “ලුණුවිල” පැළෑටිය හඳුන්වනු ලැබුවේ බ්‍රාහ්මී යන නමිනි. බ්‍රාහ්මී යනු බ්‍රහ්ම ස්‌ත්‍රියයි. බ්‍රහ්ම ස්‌ත්‍රිය බ්‍රහ්මගේ භාර්යාව බඩ ඉතිරිය යන අරුත ඇති “බැමිතිරිය” යන ලුණුවිල සඳහා ප්‍රසිද්ධ සිංහල නාමය සිද්ධ වූයේ ” බ්‍රාහ්මී යන සංස්‌කෘත පදයෙනි.
බ්‍රහ්මගේ භාර්යාව වනාහී සකලවිධ විද්‍යා කලාවන්ටද, නැණ නුවණටද අධිපති වූ සරස්‌වතී දෙවඟනයි. සරසවියගෙන් ලැබිය හැකි නැණ නුවණ පිළිබඳ සම්පත්තිය ලුණුවිල සේවනයෙන් ලැබිය හැකි බැව් පැරැණ්‌නෝ දැන සිටියහ. සරස්‌වතී නාමයද ලුණුවිල පර්යායයක් ලෙස යෙදී ඇත. මිනිස් ස්‌නායු පද්ධතිය තුළ අපූර්වතම ක්‍රියාකාරිත්වයක් පෙන්වන මහ ඔසුවක් බැවිණි.
“ලූනාවල්ලී” යනු ද ලුණුවිල සඳහා වූ ප්‍රකට සංස්‌කෘත පර්යාය නාමයකි.
“ලූන” යන්නෙන් කැපූ යන අරුත ලැබේ. වල්ලී යනු වැල් හෙවත් ලතාවෝය. කැපූ වැල් කැබලිවල ස්‌වභාවයක් පෙන්වන බැවින් මෙයට “ලූනාවල්ලී” නම ලැබුණා විය හැක. මෙම ලූනාවල්ලී යන සකු පදයෙන් “ලුණුවිල” යන සිංහල නාමය ලැබුණු බැව් උගත්තු විශ්වාස කරති.
“ලුණුවිල” පදයේ ලුණු ශබ්දය සලකන සමහරු ලවණ සහිත වල්ලී (ලෝණ වල්ලී) හෙවත් ලුණු රසය ඇති වැල් යන අරුත ඇතිව ලුණුවිල පදය නිපදවුණු බව පවසති. නමුත් ද්‍රව්‍ය ගුණ විද්‍යාවට අනුව ලුණුවිල ලුණු රසයෙන් යුත් ශාකයක් නොවේ. පොදුවේ ලුණු ඇති නැති සැම තැනකම තරමක් හෝ දිය සීරාව ඇත්නම් ලුණුවිල හොඳින් වැවෙනු දැකිය හැකිය.
ඉන්දියාවේ බොහෝ ජලාශ්‍රිත බිම්වල සරුව වැවෙන, එමෙන්ම ලංකාවේ විශේෂයෙන් මුහුදු බඩ ජලාශ්‍රිත ප්‍රදේශවලද දියසීරාව සහිත වෙනත් පෙදෙස්‌වලද හොඳින් වැවෙන ලූනාවල්ලී කුඩා පැළෑටියකි. පත්‍ර කුඩාය. මාංශලය.
ජලය සහිත බිමෙහි උපදෙනා, කොහොඹවල ඇති තිත්ත රසයට සමවන රසයක් ඇති පැළෑටියක් බැවින් “ජලනිම්බ” යන සංස්‌කෘත නාමය යෙදී ඇත. දිය සහිත බිමෙහිම උපදිනා හෙයින් ජලබ්‍රාහ්මී, ජලජබ්‍රාහ්මී, නීරබ්‍රාහ්මී යන සංස්‌කෘත නම් යෙදිණි. ලඝූබ්‍රාහ්මී කීයේ කුඩා පත්‍ර ඇති බ්‍රාහ්මී වර්ගය යන අරුත ඇතිවයෑ. දෙවියන්ගේ තේජස මෙන් බලවත් ගුණ යුත් ඔසුවක් බැවිණි. දිව්‍යතේජෝ නමද දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් ඔසුවක් බැවින් සුර ශ්‍රේෂ්ඨ නමද සකු බසින් භාවිතා කෙරේ.
බුද්ධි වර්ධනය සඳහා ලුණුවිල
ආයුර්වේද ද්‍රව්‍ය ගුණා විඥානයට අනුව ලුණුවිල රසයෙන් තිත්ත වේ. වීර්යයෙන් උෂ්ණ ය. ලඝූ සහ ස්‌නිග්ධ ගුණ යුක්‌තය. විපාකයෙන් කටුකය. දෝෂ කර්ම වශයෙන් සෙම් වාත නාශක ගුණය ඇත. හෙවත් සෙම් කෝපය සහ වාත කෝපය සමනය කරන ඔසුවකි.
ලාංකීය දේශයට සහ එහි වෙසෙන ජනතාවට සියලු අතින් ගැළපෙන ප්‍රාථමික සෞඛ්‍ය සංරක්‍ෂණය පිළිබඳ පාරම්පරික සැබෑ අවබෝධයෙන් පිරිපුන් පැරණි ජන සමාජය තුළ ලුණුවිල සඳහා ලැබුණේ අද්විතීය ස්‌ථානයකි. දාරක සෞඛ්‍ය සම්බන්ධයෙන් ලුණුවිල නමැති මහෞෂධය සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ හෙයිනි. ළමයින්ගේ නිරෝගීත්වය සහතික කිරීමෙහිලා ලූනාවල්ලී ඉටු කළ මෙහෙය පැරෑණ්‌නෝ මැනවින් පසක් කර ගත්හ.
එදා මව්වරුන් දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා වූ රන්කිරි කට ගෑමේ සිරිත ඉටු කළේ ලුණුවිල කොටා මිරිකා යුෂ බිංදු කීපයක් තන කිරි සමග මුසු කොට ළදරුවාට පෙවීමෙනි. දරුවන්ගේ බී. ස්‌මෘති, මේධා, බල වර්ණ සහ ආයුෂ වර්ධනය ඔවුහු ඉන් අපේක්‍ෂා කළහ. ලූනාවල්ලී පැළෑටියේ රත්රන් අන්තර් ගත බැව් පාරම්පරික මත අනුව යමින් ඔවුහු විශ්වාස කළහ.
රෝග නාශක ගුණය
බොහෝ ළදරු රෝග අවස්‌ථාවලදීද ලූනාවල්ලී මහඟු ඔසුවකි. ළදරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාවට සහ කැස්‌සට ලුණුවිල කොටා මිරිකාගත් යුෂ තේ හැඳි 1/2 ක් පෙවීම ලාභ දායකය. දූෂිත රක්‌තය නිසා ළමාවියේදී ඇති වන රතරෝගයෙන් සුවය ලබණු පිණිසද, ලේ පිරිසිදු කොට සමේ රෝගවලින් සහ සංක්‍රාමික රෝගයන්ගෙන් දරුවා මුදාලනු පිණිසද රත්මල් සහ ලුණුවිල සමව ගෙන තම්බාගත් වතුර දිනකට දෙවරක් දරුවාට පෙවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
ළදරුවාට ඇත්තේ සියලු අතින් නොමේරූ සිරුරකි. එනිසාම ඔහුගේ ස්‌නායු පද්ධතියද අතිශයින්ම ළපටිය. ශරීර තාපය සුළු වශයෙන් හෝ ඉහළ ගිය හොත් වලිප්පුව ඇති වී මාරක තර්ජන පවා එල්ල විය හැකිය. පැරණි සමාජයේ මව්වරු තම දරුවාගේ සිරුරට නැගුණු උණ තියුණු බවට පත් නොවනු පිණිස බොහෝ විට (අත් බෙහෙතක් වශයෙන්) භාවිතා කළේද ලුණුවිල කොටා මිරිකාගත් යුෂ ස්‌වල්පයකි. ලූනාවල්ලී තිත්ත රස යුත් හෙයින් ආම පාචක වේ. අනුලෝමක ගුණයෙන් යුක්‌ත හෙයින් මෘදුව විරේචනය කෙරෙයි. උෂ්ණ ගුණයුත් බැවින් ස්‌වේද ජනනය කෙරෙයි. (ඩහදිය උපදවයි) මේ සියලු ක්‍රියාකාරිත්වයේ අවසන් ඵලය උණ බැසයාමයි. උණ බැස ගිය පසු වලිප්පුව පිළිබඳව සැක බිය පහළ විය යුතු නැත.
ගෙවත්තේ වවාගත හැකි මෙවැනි කුඩා පැළෑටියකින් ලැබිය හැකි අපමණ ඵල ප්‍රයෝජන ගැන වත්මන් සමාජය නොදැන සිටීම අභාග්‍යයකි.
වේදනාව දැවිල්ල සහ ඉදිමුම සහිතව සම මතුපිට නැගෙන ගෙඩියකට (අද ශල්‍යාගාරය අවශ්‍ය වුවද) ලුණුවිල, එරබදු කොළ, මදටිය කොළ සහ සියඹලා කොළ සමවගෙන කොටා මිරිකා ගත් යුෂට රත්කිහිරිය කුඩු සහ කහකුඩු මිශ්‍රකොට ලිපතබා තලප පදනම කකාරා ගත් ප්‍රලෝපය එදා එකම ප්‍රතිකාරය විය. මේ එදා සමාජයේ සාමාන්‍ය දැනීම විය.
මානසික රෝග සඳහා
ලූනාවල්ලී සිය බලය වඩාත් ඉහළින් පෙන්වන්නේ මනස පිළිබඳ ස්‌වස්‌ථතාව සහ රෝග නිවාරණය සම්බන්ධයෙනි. ස්‌නායුන්ගේ බලය වඩවන නිසා දෞර්බල්‍යය (දුබලතාව) දුරුකරමින් විකෘතිව ගිය ස්‌නායු ක්‍රියාවන් ප්‍රකෘති කරවමින් නැතිව ගිය ස්‌මෘති, මේධා සහ බුද්ධිබලය යථාස්‌ථාපනය කරමින් විවිධ හේතු නිසා ඇතිවන බොහෝ උන්මාද රෝගවලදී විශ්මය ජනක ගුණ සමුදායක් මනාව ප්‍රදර්ශනය කිරීමට ලුණුවිල දක්‌වන කුසලතාවද ප්‍රශංසනීය වේ. උන්මාද සහ අපස්‌මාර රෝග සඳහා විශේෂඥ දැනුමක් ඇති බොහෝ දේශීය වෛද්‍යවරු එම රෝගීන් සඳහා ලුණුවිල ස්‌වරසය තනිකර අමු ලුණුවිල කොටාගත් යුෂ මී පැණි සමග යොදන්නේ පාරම්පරිකව සාක්‍ෂාත් කරගත් දැනුම අනුව යමිනි. උන්මාද අපස්‌මාර රෝග විෂයයෙහි යෙදෙන සුප්‍රසිද්ධ සංස්‌කාරික ඖෂධ යෝග රැසකට ලුණුවිල ප්‍රධාන වශයෙන් අන්තර්ගතවී ඇත. බ්‍රාහ්මී ඝෘතය, සාරස්‌වත ඝාතය, සාරස්‌වතා රිෂ්ටය යනු එවැනි වටිනා ඖෂධ සංස්‌කරණ කිහිපයක් පමණි.
ලුණුවිල ස්‌වරසය පිරිසිදු එළකිරි සමග මුසුකොට පානය කිරීමෙන් ඉතා දිගු කලක් භයානක අපස්‌මාර සහ යෝෂා පස්‌කාර රෝග යන්ගෙන් පෙළෙන අයට ලැබිය හැකි සුවය පුදුම එළවන සුළුය. උන්මාද අපස්‌මාර රෝග නැතත් කායික මෙන්ම මානසික සුවයෙන් පිරි නිරෝගී දිවියක් පතන දීර්ඝායුෂ හා බුද්ධි වර්ධනය ගැන සිතන සෑම කෙනෙකුටම ලුණුවිල ස්‌වරසය පිරිසිදු එළකිරි හා මුසුකොට පානය කිරීම ඉතා යහපත්ය.
හදවත් රෝග සඳහා
හදවතේ දුර්වලත්වය නසන විශේෂ ගුණයක් මෙම වටිනා ඖෂධය තුළ අන්තර්ගත බැවින් නිතර ලුණුවිල සේවනය කරන්නා හදවත් ආබාධ ගැන බිය සැක පහළ කළ යුතු නොවේ.
ආහාර විෂවීම් ඇතුළු විවිධ අසාත්මිකතා අවස්‌ථාවලදී හම පලු නැගීම, කැසීම, උණ, ආදී ලක්‍ෂණ ඇති වූ විට ලුණුවිල ඉටු කරන මෙහෙවර උදාරය. මල බද්ධය ඇති වී දුකසේ මුත්‍ර පහ කරමින් සිරුර පුරා පැතිර ගිය දැවිල්ලෙන් හා වේදනාවෙන්ද දුක් විඳින රෝගීන්ට අමු ලුණුවිල කොටාගත් යුෂ මේස හැඳි 2 ක් වියළි කහ කුඩු සහ වියළි ඉඟුරු කුඩු තේ හැඳි 1/2 බැගින් ද සීනි, ස්‌වල්පයක්‌ද මිශ්‍ර කොට පෙවීමෙන් ලද හැකි ගුණය අපමණය. එදා වනාන්තරය සමග සමීප සබඳතා පැවැත්වූ ලාංකිකයා මිරිදිය මාළු සහ විවිධ දඩමස් අසාත්මය (අහිත) වීමේදී ලුණුවිල තරම් භාවිතයට ගත් වෙනත් ඔසුවක් නැති තරම්ය. මෙහිදී ඔවුහු ලුණුවිල ස්‌වරසය භාවිතා කළේ අමු ඉඟුරු කොටා මිරිකා ගත් යුෂ සහ ලුණු, ස්‌වල්පයක් සමගය.
මුත්‍රකාරක ගුණයෙන් යුත් හෙයින් මුත්‍ර කෘච්ජ රෝගයෙහි ද කෘෂනාශක ගුණයෙන් යුත් හෙයින් කැස්‌ස, ස්‌වරභේද ආදී සෙම් රෝග රැසක් සුව කිරීම සඳහා ද යෙදෙන ලුණුවිල ආම පංචම ගුණයෙන් යුත් බැවින් අප නිවාන්දනය, ඇතුළු විවිධ උදර රෝග සඳහාද භාවිතා කෙරේ. එසේම රසායන ගුණයෙන් සහ බලකාරක ගුණයෙන්ද ඉතා පොහොසත් ය.
කව්සිළුමිණ, බුත්සරණය, සැළලිහිණිය වැනි රන් සළකුණු සහිත අසිරිමත් යුග පිළිබඳ සටහනින් හෙළ ඉතිහාසය සරු කළහ. ඔවුන් ගිය මග යමින් සොබාදහම අප වෙනුවෙන්ම බිහි කළ මෙවන් ස්‌වභාවික ඔසු භාවිතයෙන් කායික මානසික සුවයෙන් පිරිපුන් නිරෝගිමත් දිවියක් ලබන්නටත් එතුළින් රට දැය සමය සරු කරන්නටත් වෙර දැරීම මහත් යුතුකමක් වන්නේමය.
උපුටාගැනීම 2014/05/04 දිවයින පුවත්පතේ සටහනකිනි