3 Idiots ෆිල්ම් එකේ එක්තරා තැනක මෙහෙම සිද්ධියක් වෙනවා..
තමන්ගේ යාළුවගේ තාත්තට හොඳටම අසනීප වීම නිසා රැන්චෝට සිද්ධ වෙනවා ඒ ලෙඩ තාත්තව ස්කූටරයක තියාගෙන Hospital අරන් යන්න..
මේක බැලූ බැල්මට ආතල් සිද්ධියක්..
පියා, රැන්චෝ අර තාත්තවත් මැදි කරගෙන ස්කූටරෙන් Hospital යන එක වෙනම ආතල් එකක්..
ඒත් හොඳම දේ ඒක නෙවෙයි..
හොඳම දේ වෙන්නේ රැන්චෝ ඇතුළු යාළුවෝ තුන්දෙනාට ඊට පස්සේ දවසේ exam එකක් තියෙන එකයි..
හොඳම දේ වෙන්නේ එහෙම තියාගෙනත් මේ තුන්දෙනා අර තාත්තා ළඟ රැය පහන් කරන්න තෝරාගන්න එකයි..
එතැනදී රැන්චෝ හරි ලස්සන කතාවක් කියනවා..
‘exam නම් ඕන තරම් එයි. ඒත් තාත්තලා ඉන්නේ එක්කෙනයි..!’
ඒත් මිතුරනි, පණ කඩාගෙන තරඟෙට දුවන අපිට මිනිහෙක් දිහා එහෙම හැරිලා බලන්න වෙලාවක් තියෙයිද ?
ඔබ දැනටමත් ඒ ප්‍රශ්නෙට ‘නෑ’ කියන උත්තරය දීල ඇති..
ඔබට තියෙන අධික වැඩ නිසා එහෙම හැරෙන්නටවත් වෙලා නැති බව ඔබ ඔබටම කියාගෙනත් ඇති..
ඒත් ඇත්ත ඒකද ?
නෑ හිතවතුනි..
ඇත්ත ඊට ගව් ගානක් ඈතයි !
ඇත්තම කිව්වොත් අපේ priorities, නැත්නම් ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව බැලුවම මිනිහෙක් දිහා හැරිලා බලන එක හුඟක් යට තියෙන දෙයක්..
ඊට උඩින් සම්පූර්ණ කළ යුතු විභාග බර ගානක් අපිට තියෙනවා..
ලබාගත යුතු promotion හැට හුට හමාරක් අපිට තියෙනවා..
තමන් සාර්ථක බව ලෝකෙට පෙන්නන්න කරන්න වැඩ කෝටි ගානක් අපිට තියෙනවා..
ඉතින් අපි අනෙකාගේ දුක සතුට ගැන සත පහක හැඟීමක් නැතුව වේගයෙන් දුවනවා..
පණ අදින මිනිසුන්ගේ ඇඟ උඩින් පනිමින් කාලයට එරෙහිව හැල්මේ දුවනවා..
ඒත් මිතුරනි, අවසානය කොහිද ?
වාර විභාගයේදී එහා පැත්තේ එකාට උත්තරය පෙනෙයි කියන බයට දෑතින්ම පේපර් එක වහගත්ත බුද්ධිමතුනි, ඔබ ලෝකය වෙනස් කරාද ?
අනෙකා දෙස බැල්මක්වත් නොහෙලා රේස් එකේ ඉදිරියෙන්ම දුවපු හොඳම ශිෂ්‍යයනි, ඔබ ජීවිතය දිනුවාද ?
එහෙමත් නැතිනම් ජීවිතයේ එක් නිශ්චිත මොහොතක මේ දිවීමේ ඵල රහිත බව ඔබට වැටහුනාද ?
ජීවිතය කියන්නේ ඔය දුවන රේස් එකට නෙවෙයි..
ජීවිතය කියන්නේ නැවතීමට !
ජීවත් වෙනවා කියන්නේ ඔබ ඔය වාසි අවාසි කිරා මනිමින් රඟපාන නාටකයට නෙවෙයි..
ජීවිතය කියන්නේ ඔබ අමතක කරන්නට උත්සාහ කරන යථාර්ථයට..
ජීවිතය කියන්නේ ඔබම හදාගත් කවුළුවෙන් දකින ලෝකයට නෙවෙයි..
ජීවිතය කියන්නේ ඒ කවුළුවෙන් එපිට ලෝකයටයි..
ඉතින් ඒ කවුළුවෙන් පිටත ලෝකයට එබෙන්න..
ජයග්‍රහණය යැයි ඔබ සම්මත කරගත් යමක් වෙනුවෙන් ඔබ සතු හොඳ ගතිගුණ පාවා දෙද්දී,
පරාජය යැයි ඔබ දකින තත්වයක නවතිමින්,
තමන් තුළ ඇති යහපත ඉතිරි කරගන්නට තෝරාගත් මිනිසුන්ද ලෝකයේ සිටින බව අමතක කරන්නට එපා..!
– ඉෂාන් ජනිත් දිසානායක –