WhatsApp Image 2023-07-12 at 11.45.48

තුන් වෙනි කෙලී ඉපදිලා
සති තුනක් යන්නත් කලින්
ඒකිගෙ අම්මාගෙ ඇස් පියවුනේ
මහා බර කන්දක්
මගෙ හිසේ තියලා…

කෙල්ලොම තුන් දෙනෙක්
උන්ගෙ ආව තේව වැඩ
පිරිමියෙක් කරන්නෙ කොහොමද කියලා
ගමේ උන් ඇහුවාම..

මන් උන්ගෙ අප්පා
මට කියන්න තිබුනෙ එච්චරයි ..

සමහර උන්
වහෙන් හොරෝ
අරෙහෙ මෙහෙ දාමු කිව්වාට..

අම්මත් නැති උන්ට
අප්පත් නැති කරන්න
මට ඕන උනේ නෑ …

සමාජෙට
ඕන දෙයක් කර ගන්න කියලා
උන් මගේ අතින් නෑව්වා
මන් උන්ගෙ රෙදි ඇන්දුවා
මන් උන්ට කැව්වා පෙව්වා…

උඹට ඕවා බෑ පුතේ
මගෙ අම්මාගෙ කටේ තිබුනෙ ඔච්චරයි ..

මට පුලුවන්
මගෙ කටේ තිබුනෙත් එච්චරයි …

උන් එකා දෙන්නා
වැඩිවියට පත් වෙනකොට
ගමේ උන් මොනවා කිව්වත්
මගුල් තුලා නොගත්තට..

නැගතට වක්කරා කල ගෙඩි..

සාර විටක් විකුණන් ඇවිත්
තියන දෙයක් තම්බපු මට

පහුවෙනකොට
උන් උයලා තිබ්බා මන් එනකොට …

ළමිස්සියො කොහොමද බන් උඹ බලන්නෙ
උන් ආයෙත් පටන් ගත්තා..
එක වේලක් කෑවටද කියලා
බලපු උන් නෙමෙයි ඔය කියන්නෙ..

හිනා උනේ මන් මටම…

උන් ඉගෙන ගන්න දක්ෂයෝ
අවලාද කියපු කටවල්
වෙස් මාරුවෙලා..

විශ්ව විද්‍යාලෙට යන්න
උන් අදිමදි කරද්දි
මන් තව වෙහෙසුනා..

ඕකුන්ගෙ අම්මත් දක්ෂයි
ඉගෙනුමට..

රැයක් දවාලක් නැතුව වෙහෙසුනා
ලොකු එකී උපාධිය සම්පූර්ණ කරා..

මොනරාගල රෝහලකට පත්වීම ..
ගෙනත් අතේ තියනකොට
හුස්ම නැවතුනා මගෙ..

ගමේ උන් වැල නොකැඩී ආවේ
සෝමයගෙ මහන්සියෙ
ප්‍රතිඵල තමයි
උන් මූණටම කිව්වාම..

මට දැනුන සතුට..

දෙවැනි එකීගෙත්
තව මාසෙකින් උපාධ් උත්සවය..

පොඩි එකී
තාම ඇතුල් උනා විතරයි …

අද තමයි ලොකු කෙලීගෙ
ලියමන ලැබුනෙ..
අද පඩි දවසලු..
පළවෙනි මාසෙ පඩිය ..

දාලාලු මගෙ බැංකු පොතට
ගිහින් අරන්
ගෙදර අඩුපාඩු
නංගිලාගෙ වියදම්
සමිපූරණ කරන්නලු…

අවසානෙ තිබුන එකට තමයි බන්
හිත ගැස්සුනේ..

ආය සාරවිට අරන්
කකුල් ගෙවෙනකම්
ඇවිදිනවා එහෙම නෙමෙයි …

අදින් පස්සේ දුක් විදින්න එපා
දැන් මන් කියන දේ අහන්න ..
ගෙදර ගිහින් පරිස්සමෙන් ඉන්න
අපි නිවාඩුවට එනකම්…

ඉතින් මට ආය එන්න බැරිවෙයි
උබලා එක්ක
හරි හරියට වෙළදාම් කරන්න..

මන් උන්ව බලාගත්ත කාලේ ඉවරයි
දැන් උන් මාව බලා ගන්නවා..

මේ තාත්තා ට ඊට වඩා සතුටක් තියනවා ද

B.M.N.බස්නායක ✍ (සඳූ )

About The Author

Leave a Reply