WhatsApp Image 2023-07-23 at 13.23.18

මේ මිහිපිට අපි නිසිලෙස ප්‍රයෝජනයට නොගන්නා වල් පැලෑටි සේ සලකන ශාක රාශිය අතුරින් නලල් බටු නැත්නම් නලල් මොට්ටු කියන්නේ අද අපි හැමෝටම අමතකව ගිහින් තියෙන හරි අපූරු රසවත් ගුණවත් ආහාරයක් වගේම ඖෂධයක්. නොට්ටු යන නමින් ද හඳුන්වන මේ ශාකය පිළිබඳව බොහෝදෙනා තුළ ඇති නොදැනුවත්භාවය නිසාම බොහෝ අය මේ වටිනා පැලෑටිය ගලවා විසිකර දමනවා. නමුත් මේ නලල් බටු ගෙඩි නලලට තියා පුපුරවා ලබා විනෝදයට එහා ගිය අපූරු වටිනාකමක් ඒ පැලෑටිය සතු වෙනවා. ඒ නිසාමයි බොහෝ විදේශ රටවල මේ පලතුර ඉහළ මිලට අලෙවි කෙරෙන්නේ.නමුත් මේ ශාකය පලතුරක් විදියට පලාවක් විදියට ඖෂධයක් විදියට අතිශයින්ම අපිට වැදගත් වෙනවා. ඉතින් අද අපි බලමු මේ නොට්ටු පැලයේ අපි නොදන්නා ගුණ මොනවාද කියලා.

තෙත් සහිත සෙවණ සහිත පසක හට ගන්නා මේ නලල් මොට්ටු ශාකය wild cape gooseberry/ ground chery / native gooseberry ආදී වශයෙන් හඳුන්වනු ලබනවා.මේ ශාකය solanaceae කුලයට අයත් ඒක වාර්ෂික පැලෑටියක්. මේ නලල් මොට්ටු ශාකයේ ප්‍රභේද දෙකක් හීන් මොට්ටු සහ මහා මොට්ටු වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. මේ ශාකය ගෙවත්තේ වැට මායිම්වල, ගොයම් කපා ඉවත් කළ කුඹුරුවල ඉබේ හටගන්නා දුර්ලභ ශාකයක්. මේ ශාකයේ කහ පැහැ කුඩා මලක් හට ගන්නවා. මේ ශාකයේ පත්‍ර තරමක් ඕවලාකාර හැඩයකින් සමන්විත අතර පත්‍රය කෙළවර උල් හැඩයක් ගනු ලබනවා.මෙය අඩි 1 ½ ක් උසට වැඩෙන පහසුවෙන් කැඩිය හැකි ශක්තිමත් නොවන කඳකින් සමන්විතයි. මෙහි ඵලය තිබ්බටු ගෙඩියක ප්‍රමාණයෙන් යුක්ත වන අතර මේ ඵලය තුළ බීජ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වන අතර මෙහි ව්‍යාප්තිය බීජ මගින් සිදු වෙනවා.

තද කහ හෝ තැඹිලි පැහැයක් ගන්නා ඉදුණු නලල් බටු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට හැකි අතර මේ පලතුර තක්කාලී රසට සමාන රසයක් ගනු ලබනවා. අමු ගෙඩි තිත්ත රසකින් යුක්තයි. මේ නලල් බටු ගෙඩි ඉතා රසවත් පලතුරක් .ඒ වගේම මේ පලතුරේ ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතිනවා. තන්තුවලින් ඉතා බහුලයි.පිළිකා නැසීමට පවා එයට හැකියාව ඇති බව විදේශ රටවල කරන ලද පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.

ඒ වගේම මේ නලල්
බටු ගෙඩි විටමින් C බහුල පලතුරක් ලෙසටත් වැදගත් වෙනවා.
ඒ හැරුණාම , යකඩ හා කැල්සියම් මේ පලතුරේ බහුල අතර මෙහි පත්‍රවල ඇමයිනෝ අම්ල 18 ක් අන්තර්ගත වෙනවා.එහි සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. මේ නලල් බටු ශාකයේ පත්‍ර තිත්ත රසයකින් සමන්විතයි. කොහොමනමුත් මේ ශාකයේ අඩංගු පෝෂණය නිසාම අතීත ගැමි ජනතාව කලවම් පලාවට මේ නලල් බටු කොළ දෙක තුනක් මිශ්‍රකර ආහාරයට ගත්තා. ඒ වගේම ලපටි දලු මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගත් අතර මේ ශාකයේ ගුණ දන්නෝ පරිප්පු සමඟ ව්‍යංජනයක් සකසා වගේම කැඳ ලෙස පිළියෙල කර ආහාරයට ගනු ලබනවා.ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේදී මේ නලල් බටු ශාකයේ පත්‍ර විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා.

නලල් බටු ශාකයේ ගුණ ☘☘☘

☘වේදනා නාශක ගුණයෙන් සමන්විතයි

☘උගුරේ තුවාල සුව කරයි

☘අක්ෂි රෝග නිවාරණය කරයි

☘විශේෂයෙන්ම ඇසේ සුද ඇතිවිටෙක මේ නලල් බටු ගෙඩි ආහාරයට ගතහොත් එය තවදුරටත් වර්ධනය නොවී ටිකෙන් ටික ඉවත්ව යාම ආරම්භ වෙනවා.

☘රුධිරය පිරිසිදු කරයි

☘පිළිකා සෛල විනාශ කරයි

☘අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

☘දියවැඩියා රෝගීන්ට ගුණදායකයි

☘මොළයේ සෛල වර්ධනය කරන නිසා බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවෙන් සමන්විතයි.

☘සම පැහැපත් කරයි

☘සන්ධි වේදනාවන් සමනය කරයි

☘හෘදවත් රෝගවලින් ආරක්ෂා කරයි
මල බද්ධය වළක්වයි

☘ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි

☘පණු රෝග සඳහා ගුණදායකයි

☘සැරව ගෙඩි සඳහා ප්‍රතිකාර සඳහා භාවිතා කරයි

☘ඉතින් නලල් බටු කියන්නේ ඉතාම රසවත් ගුණවත් පලතුරක්
සහ පලාවක් ලෙස ආහාරයට ගත හැකි වටිනා ආහාරයක්
. ඒ වගේම අපේ ශරීරය නීරෝගීව පවත්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙන
රෝග බොහොමයක්ට සුව සදන ඖෂධයක්.
ඉතින් මේ දුර්ලභ වටිනා ශාකය දුටුවොත් එය වල් පැලෑටියක් ලෙස සලකා විනාශ නොකර රැක ගන්නට වගේම ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගෙන නීරෝගී දිවිපෙවෙතක් ගත කරන්නටත් උනන්දු වෙන්න. නමුත් කිසිදු ආකාරයක පැලෑටියක් පමණ ඉක්මවා අසීමාන්තිකව ආහාරයට ගැනීම සිරුරට අහිතකර ය.

උපුටාගැනීමකි.

About The Author

Leave a Reply