1905 වසරේ මාර්තු මස 29 වන දින සරනේලිස් සහ සිසිලියානා යුවළට පුත් කුමරකු ලැබිණි. පුතුට දොන් එඩ්වඩ් විනිප්‍රඩ් බ්‍රිටෝ අදිකාරම් යනුවෙන් නම් තැබිණ. සුරතලයට ඇමතුවේ ‘විනී’ යන නමිනි. විනීට නැගණියක් ද හිමි විය. ඈ මෝඩ් මිලී වූවා ය. මේ වනවිට දෙහිවල පදිංචි වී සිටිය ද ‘විනී’ පුතුගේ මවගේ උපන් ගම වැල්ලම්පිටියේ වෙන්නවත්තේ ය. විනී කුඩා කල දීම පියා හදිසියේ මිය ගියේ ය.
විනී ගේ මවු සිය සැමියාගේ අකල් වියෝවෙන් පසු දරුවන් ද කැටුව තම ගම් පියසට පැමිණියේ දෙහිවල ශාන්ත මේරි විදුහලේ විනී ඉගෙනුම ලබමින් සිටියදී ය. එය පල්ලියේ ඉස්කෝලයකි. පසුව වැල්ලම්පිටියට පැමිණීමෙන් බොරැල්ල, වෙස්ලි විදුහලට ‘විනී’ ඇතුළත් කෙරිණි. එහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් ඉගෙනුම කරන විනී වෙස්ලි විදුහලට නිවසේ සිට යන්නේ එන්නේ පා ගමණිනි. කි.මී. 7 ක පමණ දුරක් පයින් ම පාසලට යන්නට ඔහුට සිදුවූයේ බස් ගාස්තුව පවා නැති බැවිනි.
ඒ වනවිට ගමට නුදුරු කලවිටිගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ දහම් පාසලට ද ගිය ‘විනී’ පාසලට වඩා වැඩියෙන් ඇලුම් කළේ දහම් පාසලට ය. ඔහුගේ දිවි මඟ ඔපවත් කරන්නට එහි සද්ධානන්ද හිමියන් ගේ සමීපතම ඇසුර ඉවහල් වූ බව ද පැවසෙයි.
පා ගමනින් පාසලට යන ‘විනී’ දහවල කුසගින්නේ ය. වතුර බී කුස පුරවා ගත්ත ද පන්තියේ දක්ෂතම සිසුවා ඔහු ය. ඉතාමත් කෙසඟ සිරුරකින් හෙබි විනී නිතර නිතර අසනීපයෙන් පෙළෙන්නට විය. එහෙත් ඒ සියල්ල යටපත් කර ගනිමින් ඔහු ඉගෙනුමට මුල් තැන දුණි.
දහම් පාසලේ අවසාන ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර බැලීමට වැඩම කළේ අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ය. උන් වහන්සේ ‘විනී ගේ ප්‍රශ්න පත්‍රය ද බැලූහ. සැකයක් මතුවිණි. ඒ මේ කොලුවා පොතක් බලාගෙන පිළිතුරු ලියා ඇති බවට ඇති වූ සැකයකි. මේ පිළිබඳ ව සැක හැර දැන ගැනීමට තීරණය කළ හිමියෝ ‘විනී’ පසෙකට කැඳවා ගත්තේ ය.
“මං මේ අහන අභිධර්මයේ එන ප්‍රශ්න වලටත් හරි උත්තර දුන්නොත් තමා හොඳ” පැවසූ උන් වහන්සේ අභිධර්මයේ ගැඹුරු තැන් අළලා පිළිවිසී ය. ‘විනී’ සන්සුන් ව ඇසූ සියලු පැනයනට පිළිතුරු දුනි. සැකය දුරු කරගත් හිමියෝ ‘බොහොම හොඳා’ යැයි විනී ගේ හිස අත ගෑවේ ය.
ක්‍රේම්බිජ් කනිෂ්ඨ විභාගය සමත් වූ විනී නොහොත් ඊ.ඩබ්ලිව්. අදිකාරම් කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ පන්තියට ද ඇතුළත් වූයේ ය. එහිදී එස්.ජේ.වී. චෙල්වනායගම් නම් අපූර්වතම ගුරුපියකුගේ ඇසුරට ඔහු පාත්‍ර විණි. ඔහුගේ ගුරු හරුකම් අවවාද උපදේශ විනී ගේ යහපතටම හේතු විය.
ඔහු 1926 වසරේ දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියට (බී.ඒ.) පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රතිඵල බලා සිටියේ ය. ඒ අතරේ දී විනීට හමු වූයේ ජේ.වී.සී. චන්ද්‍රසේකර මහතා ය. හේ යුනිවර්සිටි කොලීජියේ රසායන විද්‍යා අංශයේ ප්‍රධාන ආචාර්යවරයා ය. ඔහු දුන් ලිපියක් ද රැගෙන මේ තරුණයා කොළඹ නාලන්දා විදුහලට ගොස් එහි විදුහල්පතිවරයා හමුවූයේ ය. ඒ උප ගුරු පත්වීමක් ලැබ ගන්නට ය. නොහික්මුණු විදුහල්පතිවරයා විනී ට සරදම් ස්වරයෙන් අමතමින් කතා කරන්නට වූයේ ය. ‘බී.ඒ. කියන්නෙත් උපාධියක් ද? තමුන්ට පන්තියක් පාලනය කරන්ට පුළුවන් ද? කරුණාකරල ඔය තියෙන රජයේ ලිපිකාරකමකට ඉල්ලුම් කරන්ඩ” යි හෙතෙම කියා සිටියදී ආපසු හැරී පැමිණි විනී තිර අදිටනකට එමොහොතේදී ම පිවිසියේ ය. එනම් දර්ශනපති (පී.එච්.ඩී.) උපාධිය ලබා ගැනීමේ අදිටනයි.
අනතුරුව ‘ලක්දිව පුරාතන බෞද්ධ ඉතිහාසය’ නමින් ග්‍රන්ථයක් ඉදිරිපත් කරමින් දර්ශනපති උපාධිය ලබා ලන්ඩන් විශ්වවිද්‍යාලය බලා පිටත් ව ගියේ ය. ඒ 1933 වසරේ දී ය. ඒ වසර අග දී පෙරළා පැමිණි එතුමා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ අධිපති ධූරයට පත් වූයේ ය. 1939 වකවානුවේ ලෝක මහා සංග්‍රාමයේ දී ආනන්ද ශාස්ත්‍රාලය ද හමුදාවේ ප්‍රයෝජනයට ගැනීමෙන් පාසලට අනර්ථයක් සිදුවිණි.
ඒ හේතු කොට ගෙන බෞද්ධ පසුබිම යටතේ මහරගම විද්‍යාකර, නුගේගොඩ අනුලා පාසල් ඇරඹූ අතර මතුගම ආනන්ද ශාස්ත්‍රාලය, කරවනැල්ල මහා විදුහල, බත්තරමුල්ලේ මහා විදුහල, උඩහමුල්ල මහා විදුහල, මහාමායා මහා විදුහල ආරම්භ කෙරිණි. ඔහු වැටුපෙන් රුපියල් දහය බැඟින් ඉතිරි කොටගත් මුදලින් නුගේගොඩ අනුලා විදුහල ඇරඹීම ඉතිහාසයට ද එක් වී තිබේ. දරු පරපුර උදෙසා නැණැස පෑදීමට පාසල් රැසක් ආරම්භ කළ ඊ.ඩබ්ලිව්. අදිකාරම් තුමන්ගේ නාමය අනුස්මරණීය ය.
යම් යම් සිත් බිඳී යන කාරණා හේතුවෙන් තමන් සතු සියලු දෑ හිත මිතුරනට පවරා දුන් අදිකාරම් තුමන් හදිසියේ ඉන්දියාවට ගියේ ය. එහෙත් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඔහුගේ අඩුව තදින් දැනිණි. නැවත කැඳවූ ඔහු පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාඨශාලා සාමාන්‍යාධිකාරි පදවියෙන් පිදීය. තමන් සිදුකළ සේවයෙන් විශ්‍රාම ගත්ත ද විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කළ එතුමා පරම විඥානාර්ථයෙන් ද ඉවත් ව අවිහිංසාව පෙර දැරි වූ තම චින්තනය ඉවහල් කර ගනිමින් දරුවන් හා තරුණයන් යහමඟට ගැන්මේ සමාජ සත්කාරයේ නියැළෙන්නට වූයේ ය. ඔහු මහා චින්තකයකු සේ ම දාර්ශනිකයකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශනාවෙන් තම දිවිය ප්‍රභාස්වර කර ගත්තේ ය. සෑම වසරක් අගදී ඒ දේශනාවට සහභාගි වීම හේ අත්‍යවශයෙන් කළේ ය.
පාලි භාෂාව පිළිබඳ විසල් දැනුමකින් යුතු එතුමා සංස්කෘත, ජර්මන්, ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රවීණයකු විය. පාලි ග්‍රන්ථ අතුරින් වඩාත් ප්‍රිය කළේ ඛුද්දක නිකායේ සූත්‍ර නිපාතයට හා ධම්මපදයට ය.
ඔහුගේ තේමා පාඨය වූයේ තමා සම්මතයෙහි පිහිටා අන් අයට උපදෙස් දිය යුතුය යන්න ය. විද්‍යාව පිළිබඳව ද හසළ දැනුමින් පිරිපුන් ඔහු සිංහලයෙන් විද්‍යාව ඉගැන්විය හැකි බව කී අය අතර පුරෝගාමියා වන්නේ ය. ඒ සඳහා 6 වැන්නේ සිට ජ්‍යෙෂ්ඨය දක්වා සාමාන්‍ය විද්‍යා පොත් පෙළක් සම්පාදනය කළේ ය. ඊට අමතරව විද්‍යාවේ පාරිභාෂික වචන මාලාව සකස් කළේ ය.
සාමාන්‍ය ජනතාවට හා සිසු කැළට විද්‍යා අධ්‍යාපනය ලබාදීමට කැප වූ එතුමා පුවත්පත්වලට තීරු ලිපි ලියුවේ ය. එම්.ඩී. ගුණසේන සහ සමාගමේ සංස්කාරකත්වයෙන් නවීන විද්‍යා මාසික සඟරා පෙළක් ද එළි දැක්වූයේ ය. ගුවන් විදුලි සාකච්ඡා, එස්.ජේ. ද වීරසිංහ දේවගැතිතුමා මෙහෙයවූ බුද්ධි මණ්ඩල සාකච්ඡා සඳහා ලබාදුන් දායකත්වය සුවිශේෂී කොට සැලකේ. විවිධ ප්‍රදේශවල යමින් එතුමා කරන ලද දෙසුම් හි සාරාංශය රැගත් ලිපි ඇතුළත් සිතිවිලි නමැති පොත් මාලාව ජනයා අතර වඩාත් ප්‍රචලිත වූයේ ය.
“සමාවෙන්ඩ මහත්මයා, මේ සභාවට පැමිණි ඔබතුමා වියත් දෙසුමකින් අපව දැනුවත් කළා. එහෙත් සභාව ආරම්භයේදී පන්සිල් සමාදන් වීමේ දී ඔබතුමා පන්සිල් නො ගෙන සිටියා.” දිනක් දෙසුමකට සහභාගි වීමට ගිය අදිකාරම්තුමන්ගෙන් සභාවේ තරුණයකු එසේ විමසුවේ ය. වියතාණෝ සන්සුන් ලීලාවෙන් මෙසේ පිළිතුරු දුන්නේ ය.
“ඔව් – ඒක ඇත්ත – මං එක් වරක් පන්සිල් සමාදන් ව තිබෙනවා. මා ආයෙත් සමාදන් විය යුතු නැහැ. මන්ද – මා පන්සිල් රකින අයකු නිසා.”
සත්‍ය හෙවත් සැබෑ දේ කුමක්ද කියා දැකීමත් ඒ දැකීමෙන් ඇතිවන විලෝපයෙන් මෛත්‍රිය පහළවීමත් සිදුවන බව පැවසූ මේ චින්තකයාණෝ තම දේශන හා ලේඛනවලින් ඒ සත්‍ය පාඨකයාට විමසා බලන්නට ආරාධනය කළේ ය. බොහෝ දෙනා සිතන ආකාරයට නොසිතූ ඔහු බුදුදහමේ ආභාසයෙන් හා සොබාදහමේ නිරීක්ෂණයෙන් තම චින්තනයේ ස්වාධීන, නිර්භය හා නිරවුල් බව පෙන්වාදීමට වෙහෙසුණේ ය. මහා දැනුමකින් යුතු අදිකාරම්තුමා නොදන්නා දේ විශ්වාස කිරීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමට මැලිවිය. නොදන්නා දේ නොදන්නා බව කීවේ ය. බොහෝ විට ඔහුගේ ප්‍රකාශ මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර උසස් ගුණ වැයුම් ද තියුණු අපහාස සරදම් ද ඔහුට හිඟ නොවීය.
අදිකාරම්තුමන් දුක සැප හමුවේ හඬා වැටුණේ නැත. ඒ ඔහුට චින්ත චෛතසික සම වැදීමක් තිබූ නිසා බව කියැවේ. දිවියේ ඉහළම සතුට හෝ දාර්ශනික හරයන් අදිකාරම් තුමා විඳගත්තේ මැදහත් සිතින් යැයි ද පැවැසේ. සියල්ල මැදිහත් සිතින් එකසේ පිළිගත් එතුමා එක් දිනෙක ඉකි බිඳ බිඳ හැඬුවේලු. ඒ මරණයක් වෙනුවෙනි. දාර්ශනිකයකු වූ පසුව ද මුල් වරට එතුමා හඬා වැලපුණේ 1973 ජනවාරි මස 7 වනදා ය. ඒ ඊරියගොල්ල සූරීන් මළදා ය. එතුමා සමඟ සමීපයේ පසුවූ ඩඩ්ලි ද හැඬුවේ ය. තමන්ගේ විශිෂ්ටතම දේශපාලනඥයා මිය යාමේ ශෝකයෙන් ඩඩ්ලි හැඬුවේ ය. එහෙත්, අදිකාරම්තුමා ඉකි බිඳීමින් හඬන්නට වූයේ තම සිත්හි ලැඟුම් ගෙන සිටි කෘතහස්ත, අවංකම බුද්ධිමතා වියෝ වීම නිසා ය.
1922 වසරේදී කොළඹ යුනිවර්සිටි කොලීජියට පැමිණෙමින් 1930 දී ශිෂ්‍යත්වයකින් ලන්ඩනයට පිවිසෙමින් 1931 දී ශාස්ත්‍රපති (එම්.ඒ) උපාධිය ද 1934 දී දර්ශනපති (පී.එච්.ඩී) උපාධිය ද සමත් වෙමින් ආචාර්ය එන්.එම්. පෙරේරා, රොබට් ගුණවර්ධන, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ආදීන්ගේ ඇසුර ද ලැබුවේ ය. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මුල පිරීමක් ලෙසින් එන්.එම්. සමඟ කතිකාවක් එංගලන්තයේ දී ආරම්භ කළේ ය. බෞද්ධ අධ්‍යාපනයට මහත් සේ කැප වූ එතුමා 1966 – 1970 දී ජාතික අධ්‍යාපන සභාවේ සාමාජිකත්වය ද හෙබවූයේ ය.
1976 – 1983 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපතිධූරය ද හෙබ වූ එතුමා බුදුදහමට අනුගත චර්යාව ජනයා අතර රඳවා තබන්නට දිවා රෑ වෙහෙසී කැපවී ක්‍රියා කළේ ය. දැඩි සේ ඇලුම් කළ ජේ. ක්‍රිෂ්ණමූර්ති තුමා ගේ දෙසුමට සහභාගි වන්නට සූදානමින් පෙරදා එනම් 1985 වසරේ දෙසැම්බර් මස 28 දා නිදි යහනටවන් එතුමා නැවත මෙලොව එළිය නොදුටුවේ ය. සිතේ පැවැති සුපසන් බවින් යුතුව ම එතුමෝ දැයෙන් සමුගත්හ.
– උපුටාගැනීමකි –