අක්කපාන විශේෂයෙන් වැවෙන්නේ ගල්තලාවලය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැවෙන අක්කපාන, අප්‍රිකානු රටකින් මෙරටට සංක්‍රමණය වූ පැළෑටියකැයි විශ්වාස කෙරේ. ලංකාවේ පමණක් නොව නිවර්තන කලාපයේ රටවල් බොහොමයකදි අක්කපාන හඳුනාගත හැකිය. Kalanchoe pinnata විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අක්කපාන බහුවාර්ෂික පැළැටියකි.
ගල් තලාවන් දිගේ විහිදී ගාලක් ලෙස වැවෙන අක්කපාන, සමහර විටෙක පොළොවට ලම්භකව අඩි දෙකක් පමණ උසට ශාකයක් ලෙසද වැවේ. රෝස පැහැයට හුරු අලංකාර මල් පොකුරු හටගනී..”අක්කපාන කියූ සැණින් බොහෝ දෙනා දන්නේ එය මුත්‍රාශයේ හටගන්නා ගල් දිය කර යවන්නට හැකි අපූරු ඖෂධයක් ලෙසය. ආයුර්වේදයේ දී සංස්කෘතයෙන් “පාෂාණ බේදන” ලෙසද අක්කපාන හඳුන්වන්නේ එහි ඇති එම සුවිශේෂ ගුණය නිසාය. නමුත් අක්කපාන යනු ඒ වෙනුවෙන්ම පමණක් යොදාගත හැකි ඖෂධයක් නොවේ.
බොහෝ දෙනා එතරම් නොදැන සිටියත්, අර්ශස් රෝගයටත්, එහි ප්‍රභේදයක් වන “රක්තාර්ශස්” රෝගයටත් අක්කපාන වලින් ගුණ ලබාගත හැකිය. තවදුරටත් විස්තර කරන්නේ නම් අධෝ මාර්ගය ආශ්රිත බොහෝ රෝග සඳහා ඖෂධයක් ලෙස “අක්කපාන’ යොදාගත හැකිය.
අධෝ මාර්ගය ආශ්රිත රෝග බොහොමයක් ඇතිවෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ නිසා. ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ ඇතිවෙන්නේ අපි ගන්නා ආහාර වල විවිධාංගීකරණය අඩු වුණහම… බත්, පාන්, කේක් විදියට ආහාරයේ නම් වෙනස් වුණාට ඒ තුනේම තියෙන්නේ පිෂ්ටය. ෆ්‍රයිඩ් රයිස් ගත්තත්, කොත්තු ගත්තත් තියෙන්නේ පිෂ්ටයයි, මේදයයි, ශරීරයට අහිතකර කෘතිම රසකාරකයි විතරයි.නමුත් තන්තු සහිත ආහාර වැඩිපුර ගැනීමෙන් විතරයි ආහාර ජීර්ණ පද්ධතියේ දෝෂ වළක්වාගන්න පුළුවන්.
ඒකාකාරී ආහාර රටාව නිසා ශරීරයේ ලේ ධාතුව දුෂ්‍ය වීමෙන් ග්‍රහණි සහ අධෝ මාර්ග ආශ්රිත දෝෂ තත්වයන් හටගනී. ඒවා කල් පැවැතීමෙන් ඒ ආශ්රිත රෝග හටගනී. එවැනි රෝග සඳහාද “අක්කපාන” හොඳ ඖෂධයකි. සතියකට දෙකකට වරක් අක්කපාන දලු දෙමිටක් ගෙන හීනියට ලියා, එයට යහමින් රතු ලූනු ද,අවශ්‍ය තරමට ගම්මිරිස්, දෙහි සහ ලුණු ද මුසු කර ගොටුකොළ මෙන් සම්බෝල සකසා ආහරයට ගැනීම රෝගී නීරෝගී සැමටම ගුණදායක එකකි. “අක්කපාන” කොළ මිරිකා දෙහි සමඟ මිශ්‍රකොට රසවත් පානයක්ද සකසා ගත හැකිය.අක්කපාන ප්‍රභේද දෙකකි. එක් වර්ගයක පත්‍ර හීනිය. අනෙකේ පත්‍ර ලොකුය. සමහරෙක නාරටිය රත් පැහැතිය. සමහරෙක නාරටිය සුදු පැහැතිය.
නිවසේ දී සිදු වන කැඩුම්-බිඳුම් සහ තැළීම් වලදීද, හන්දි ඉදිමුම් හෙවත් සරල ආතරයිටීස් තත්වයන් හීදීද, වෛද්‍ය උපදෙස් ලැබෙන තුරු අත්බෙහෙතක් ලෙසද “අක්කපාන” යොදගත හැකිය. ඒ අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් කොටා තලපයක් සේ අදාළ ස්ථාන වල ආලේප කිරිමෙනි. මෙමඟින් ඉක්මනින් ඉදිමුම අඩුවන අතර වේදනාවද අඩුවේ. සුළු අස්ථි පිපිරුම් තත්වයන් පෑහීමේ හැකියාවද “අක්කපාන” සතුවේ.
අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල ඉක්මනින් සුව වේ. විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් වේ .විදුරුමස පුපුරා ගොස් දත් ඒමේ දී ඇති වන වේදනාකාරී අවස්ථාවල අක්කපාන කොළ මී පැණි සමග ආලේප කරීමෙන් සුවය ලැබේ.සමේ ඇති වන කැසිම් වලදී සහ වණ, තුවාල වලදී “අක්කපාන” කොල තැම්බූ දියෙන් සේදීමෙන් සහනය ලබාගත හැකිය. මුත්‍රාශයේ ගල් ඇති රෝගීන්ට තමන් ලබාගන්නා බටහිර වෛද්‍ය ප්‍රතිකාර අතර වුවද සතියකට වරක් දෙවරක් “අක්කපාන” භාවිතයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන.
ඒ නටන උණුවතුරට අක්කපාන කොළ කිහිපයක් පොඩි කර දමා විනාඩි පහක් පමණ වසා තබා පෙරා බීමෙනි. අම්ල පිත්ත රෝගය, බඩ දැවිල්ල සහ බඩ පිපීම පවතින අයටද අක්කපාන කොළ නටන උණුවතුරේ තම්බා බීමෙන් සුවය ලබාගත හැක. තරුණ ගැහැණු දරුවන්ගේ මාසික වේදනා අවම කරගැනීම සඳහාද මේ ප්‍රතිකාරය සුදුසුය. වයස් ගත වනපුරෂයින්ට සෑදෙන පුරස්ථි ග්‍රන්ථි ඉදිමීමේන් අපහසුතා සඳහාද එම ප්රතිකර්මය යොදාගත හැකිය.
රක්තර්ශස්, රක්ත ප්‍රදර සහ රක්තාතීසාරය ඇති රෝගීනට “අක්කපාන” භාවිතා කළ හැක්කේ මෙලෙසය. අක්කපාන කොළ යහමින් ගෙන වණ්ඩුවේ තම්බාගෙන, එහි යුෂ ගෙන මේස හැඳි දෙකක් පමණ මීපැණි ස්වල්පයක් අනුපාන කොට බීමෙන් වේදනාව සමනය වී රක්ත මෝචනය අඩුවනු ඇත. මලබද්ධය පවතින අවස්ථාවන් වලදී දේශීය වෛද්‍ය ප්‍රතිකර්මයක් ලෙස “අක්කපාන” කොළ, කොහිල දඩු සමභාගව ගෙන කොටා, වණ්ඩුවේ තම්බා යුෂ රැගෙන මීපැණි සමඟ භාවිතා කළ හැකිය.
කාන්තාවන්ට ඇතිවන සියලු ප්‍රදර රෝග වළදී සහ අතීසාර අවස්ථාවන් වලදී ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස අක්කපාන සමඟ තැඹිලි මල් තම්බා, එම වතුර පානය කරන්නට දීමෙන් වහා සුවය සලසා ගත හැකිය.
මානසික ආතතිය ඇති පුද්ගලයන් වෛද්‍යවරුන් හමුවේ පවසන ප්‍රධාන රෝග ලක්ෂණයකි. එම තත්වයට හේතු වන්නේ එවැනි පුද්ගලයින්ගේ රක්ත ධාතුවත්, පිත ධාතුවත් දූෂ්‍ය වීමයි. මෙයද අක්කපාන දලු මිටක් අතින් පොඩි කර, උණුවතුරේ තම්බා බීමෙන් සුවය සලසා ගත හැකිය. වෙනත් ආහාරවල අන්තර්ගත විෂ ද්‍රව්‍ය වලින් ආසාදිත වූ අක්මාවටද, අක්කපාන කොළ තැම්බු වතුර පානය හිතකරය. එමඟින් අක්මාවේ එක්රැස් වූ විෂ කොටස් දිය කර හරිනු ඇත.
දිගින් දිගටම මෙවැනි විෂ ද්‍රව්‍ය අක්මාවේ තැන්පත් වීමෙන් ශරිරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩපණ කෙරේ.අක්කපාන වල කොළ දේශිය වෙදකමේදී ප්‍රයෝජනයට ගත් අතර ආයුර්වේද වෙදකමේදී එහි මුල්ද ප්‍රයෝජනයට ගෙන තිබේ. මෙහි මූල පද්ධතියේ ඇත අලය වැනි කොටස ගෙන හොදින් පිරිසුදු කර කුඩා කැබලි වලට කපා හොදින් වියළා කුඩු කර කෝපි මෙන් උණු වතුරට මිශ්‍ර කර පානය කිරීමෙන් මලබද්ධය වළක්වා ගත හැකිය. එයට අමතරව ආයුර්වේද චූර්ණ වර්ග සඳහාද අක්කපාන භාවිතා කරයි.
අක්කපාන කොළ ඉස්ම තල තෙල් හා මිශ්‍රකර සාදා ගන්නා තෛලය හිසෙහි ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වැළකීම හා යහපත් කෙස් කලඹක් ලබන්නට හැකිය . මුත්රාශයට අමතරව පිත්තාශය ආශ්‍රිතව හටගන්නා ගල් දිය කර හැරීමටද අක්කපාන භාවිතා කළ හැකිය.
උපුටාගැනීමකි