මහපැළෑන නයා හැඩූ ගල…

කොළඹ සිට ගාල්ල බලා යන කෙනෙකුට කිලෝ මීටර් 70 කණුව හමුවන්නේ මහපැළෑන නම් වූ කුඩා ගම් පියස මධ්‍යයේදීය. එතැන් සිට තවත් මීටර් 300ක් පමණ ගාලු පාර දිගේ දකුණු දෙසට යන විට කුඩා ඇළ මඟක් හමුවේ. මේ ඇළටත්, දකුණු පසින් ඇති මහ මුහුදටත්, ගාලු පාරටත්, මැදි වූ බිමෙක පාළු පරිසරයක පිහිටි විශාල ගල් පර්වතයකි. බැලූ බැල්මට මෙය නිකම්ම ගල් පර්වතයක් වුවද ඊට වඩා අද්භූත මෙන්ම කුතුහලය දනවන රසවත් කතා ප්‍රවෘත්තියක් මේ ගල් පර්වතය තුළ සැඟවී ඇතැයි දන්නේ ටික දෙනෙකි.

මේ දැවැන්ත ගල් පර්වතය ඇත්තේ මහ මුහුදට මායිම්ව පිහිටි තවත් විශාල ගල් පර්වතයක් මතය. මේ ගල මුදුනේ සිට පහතට රූරා ඇද හැලී තැවරී ඇති යම් කිසි පැල්ලමක් වැනි දෙයක් අද පවා එහි දැක ගත හැකිය. මෙය නයා හැඬූ ගල නමින් ප්‍රචලිතව ඇති අතර මේ හා බැඳුණු ජන රවාද රැසකි. ප්‍රදේශය කෙමෙන් ජනාකීර්ණවීමත් සමඟ දැන් මෙහි පාළු අද්භූත ගතිය තරමක් දුරට ගිලිහී ගොස් ඇතත් මේ ජන ප්‍රවාදයන් හා බැඳුණු රමණීය බවෙහි නම් අඩුවක් වී නොමැත.

මේ ගල හා බැඳුණු අතිශයින් ගුප්ත ජන ප්‍රවාදය වන්නේ අපේ අසල්වැසි කාශ්මීරයේ සිට මෙහි පැමිණි තරුණ බමුණු පුත්‍රයෙකු හා ගෙතුණු කතා පුවතකි. ඒ ජන ප්‍රවාදය මෙසේය.

කාශ්මීරයේ දේවගිරි ගමේ විසූ මහාසාර නම් පිය බමුණාගේ අභාවයෙන් පසු කෙමෙන් පරිහානියට පත් එම පවුලේ පුත්‍රයාට දිවි රැක ගැනීමට පවා කිසිදු ආදායම් මඟක් නොවිණි. මහත් දුකෙන් කාලය ගත කළ බමුණු පුතුට දිනක් තම මිය ගිය පියා සිහිනෙන් පෙනුණි. එසේ පෙනී සිටි ඔහු නිවෙසේ ඇති තඹ පොතක් ගැන පුතාට දැනුම් දී නොපෙනී ගියේය. මේ බමුණු පුතාට එසේ ලැබුණු නිදන් වදුලෙහි ලංකාවේ ගල් පර්වතයකට අරක් ගත් නාග රාජයෙකු සතුව ඇති මාණික්‍යයක් හා එය ලබා ගන්නා අයුරු මෙසේ සඳහන් වී තිබිණි. “ශ්‍රී ලංකාද්වීපයේ දකුණු දිසාවේ භද්‍රකාලියට පුද පූජා පැවැත්වෙන ගං මුව දොරකි. භීම නම් ඒ ගංගා මුවදොර සිට ගව්වක් දකුණට ගිය විට දිවා කාලයේ සුදු හා රත් නෙලුමින්ද, රාත්‍රියේ කොඳ මලින්ද, පිරී පවත්නා මහා පොකුණකි. ඒ පොකුණු තෙර සිට දොළොස් ඉස්බක් දුරින් කුඩා ඇළ මාර්ගයකි. ඒ ජලය මුහුදු දිය හා සංයෝග වන තැන දකුණු ඉවුරේ මහා ගල් පර්වතයෙකි. ඒ මහා ගල මත කෙලින් නැගී සිටිනා සුවිශාල ගල් පර්වතයෙකි. ඒ මතට නැගි විට සමන්ත කූට පර්වත වළල්ල මෙන්ම දෙවිනුවර දෙවොලේ රන් කොත් කැරැල්ලද පෙනෙන්නේය. නාඹර තල් කඳක් වන් මහා නාග රාජයෙක් කෙම්මුර දිනයන්හී පසළොස් පෑ යාමයේදී එහි පැමිණ තිඹිරි ගෙඩියක් හා සමාන මහා රක්ත මාණික්‍යයක් වමාරන්නේය. ඒ මාණික්‍යයේ කාන්තියෙන් පර්වත පාදයේ මුහුදු පත්ළෙහි වසන මසුන් පවා පෙනෙන්නේය. පාමුල ගලෙහි සුදු සඳුනෙන් අට මගල ඇඳ, විෂ්ණු ජපයෙන් තැඹිලි, කිරිබත්, පුදා ගොන් වසුරෙන් වසා මාණික්‍ය රත්නය ගත යුතු වන්නේය…..”

මෙය කියැවූ බමුණු පුතු තමන් සතුව ඉතිරිව තිබූ ගෙවත්තද විකුණා දමා වදුලු පොතත්, ජප මාලයත්, හක් ගෙඩියත්, ගෙන ලක්දිව බලා ගමන් ඇරඹුවේය. කිසිදු කරදරයක් නොමැතිව ගම් නියම් ගම් පසු කරමින් දකුණු ලංකාවේ ගංගා මෝයක පිහිටි කාලි කෝවිල කරා පැමිණියේය.

එදා මේ කාලි කෝවිල පිහිටියේ බෙන්තොට නමින් ප්‍රකට වී ඇති දකුණු පළාතේ ආරම්භය සනිටුහන් කරනු ලබන බෙන්තර ගඟට මායිම්ව යැයි පැවසේ. භීම ගංගාව ලෙසින් එම වදුලේ සඳහන් වන්නේ බෙන්තොට ගඟයි. (මේ ස්ථානයේ කාලි කෝවිලක් තිබූ බව පරෙවි සන්දේශ කාව්‍යයේ පවා සඳහන් වේ.)

වදුලේ දක්වා තිබූ ආකාරයට බමුණු පුතු මේ ගල් පර්වතය පහසුවෙන් සොයා ගෙන පැමිණ එම ගල පාමුල අතු පැලක් තනා එහි ලැගුම් ගෙන ඇත. එකල මේ ප්‍රදේශය විශාල වන ලැහැබක්ව පැවති නිසා ඔහු ගල මුදුනට නැග ඇත්තේ මහත් ආයාසයකිනි. එම තඹ පොතේ සඳහන් වී තිබූ මනස්කාන්ත නෙලුම් පොකුණ කාලයාගේ ඇවෑමෙන් වල් බිහි වී අද වන විට නිකම් ඝන කැළෑ රොදක් බවට පරිවර්තනය වී ඇත.

එකල මේ ප්‍රදේශය ඉතා ජනශුන්‍යව පැවති අතර මිනිස් පුළුටක සේයාවක් හෝ සොයා ගැනීමට ඔහුට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වී ඇත.මැණික ලබා ගැනීමේ අදහසම පෙරදැරි කරගෙන කාශ්මීරයේ සිට මෙහි පැමිණි හේ එම ගල් පර්වතයට නුදුරින් ජීවත්වූ ගැමියන් සමග කළ කතා බහේදී ඇතැම් දිනයන්හී මැදියම් රැයෙහි මේ ගල මුදුනේ පහනක් පත්තු වෙනවා වැනි විශාල එළියක් මතුවන බව දැන ගන්නට ලැබිණි.

ගල මුදුනට නැග ගත් පසු නිදන් වදුලේ සඳහන්ව තිබූ පරිදිම සමනොළ කන්දත්, දෙවුන්දර දේවාලයේ කොත් කැරැල්ලත්, මහ මුහුදේ හිරු ගිලෙන තැනත්, ඔහු හොඳින් දුටුවේය. දැන් ඔහුගේ අරමුණ මේ මහානර්ඝ මාණික්‍ය ලබා ගැනීමය. ඉන් පසුව එළැඹි අමාවක පොහෝ දින යෙදී තිබුණේ සෙනසුරාදා දිනකය. එදින රාත්‍රී නියමිත විධි නොවරදවා සිදු කොට, පුද පූජා පවත්වා ගල මුදුනට නැග ගත් බමුණු පුතු ටික වේලාවකින් දුටුවේ නාග රාජයා පැමිණ මැණික වමාරන අන්දමයි. විදුලි සිය දහසක් එකවර ගැසූ කලක මෙන් මැණිකෙන් නිකුත් වූ කාන්තියෙන් ඔහුගේ දෑස් නීලංකාර වී ගියේය.

මැණික වටා තෙවරක් පැදකුණු කළ නාග රාජයා එතැනින් ඉවතට ඇදී යත්ම තමා රැගෙන ගිය ගොම පිඩෙන් මැණික වැසී යන අයුරින් ගැසූ බමුණු පුතු වහා දිව ගොස් මුහුදේ කරවටක් ගිලුණේ වදුලේ උපදෙස් අකුරටම පිළි පදිමිනි. හේ පසුදා පහන් වන තුරුම ඒ අන්දමින් වතුරේ ගිලී සිටියේය. තම පණ මෙන් රැකි නාග මාණික්‍යයට සිදු වූ දෙයක් නොදත් නාග රාජයා ගල් කුළේ මුදුනටම නැග හඬන්නට වූයේ තමාට මැණික නැතුව ජීවත් වීමෙන් පලක් නැතැයි ලොවට කියන්නාක් මෙනි. විශාල පෙණ ගොබය ගල මත හප්පමින් හැඬූ නාගයා ඒ ශෝකය වාවා ගත නොහැකිව අන්තිමේදී ළය පැලී මිය ගොස් ඇත. පසුවදා අරුණලු වැටෙත්ම දියෙන් ගොඩට බට බමුණු පුතු ගල මතට නැග ගොම පිඬු ඉවත් කොට ඉතා වටිනා මාණික්‍ය තමන් සතු කර ගත්තේය.

අද පවා එම ගල මුදුනේ සිට පහළට යම් දෙයක් ඉහිරී ආ අන්දමට පැල්ලමක් සේ තිබෙන්නේ එදා නාග රාජයා හඬා වැටෙද්දී ඇද හැලුණු කඳුළු දහරාවන් යැයි ජන ප්‍රවාදයේ පවතී.

තවත් ජන ප්‍රවාදයකි මේ පෙදෙසට නුදුරින් විසූ කාන්තාවක් කැළෑව මැදින් මේ ගල මුදුනෙන් විහිදෙන ආලෝක ධාරාව ඔස්සේ පැමිණ ඇත. වියළි හාල්මැස්සන් ඔළු කඩා ගෙනැවිත් නයාට කෑමට දී උප ක්‍රමයෙන් එම මැණික තමන් සතු කර ගැනීමට සිතා, පසු දිනෙක නාගයා මැණික වැමෑරූ විටෙක ඇය එසේ කර ඇතැයි පැවසේ. පසුව මැණික නැති බව දැන ගත් නාගයා එය ගත් අයට ශාප කරමින් ගලේ හැපෙමින් හඬා වැටී තිබේ. එයින් නයා මිය ගොස් ඇති අතර කාන්තාවගේ අතේ තිබූ මැණික අළු බවට පත් වී, ඒ නිසාම එම කාන්තාවට පිස්සු හැදුණු බවත්, කියැවේ.

මේ ගල ආශ්‍රිතව දිවි ගෙවූ නාගයා නිතරම ගලට නැගීමට හා බැසීමට යොදා ගත් මාර්ගයක් යැයි සිතිය හැකි තැනක් අද පවා ගලේ එක් පසෙක දැක ගත හැකිය. එතැන ගලේ ඉහළටම යන තුරු පඩි පෙළක් සේ නිර්මාණය වී ඇත. මහ පැළෑන ප්‍රදේශයේ ඇති සෞන්දර්යාත්මක බවින් අනූන නයා හැඬූ ගල දැන් ක්‍රමයෙන් කැලයෙන් වැසී අභාවයට යමින් පවතී. එම නිදන් වදුලේ සඳහන් වූ නෙලුම් පොකුණටද අද උදා වී ඇත්තේ එවැනිම ඉරණමකි. නයා හැඬූ ගලට පහළින් මුහුද අද්දරම එම ගලට වඩා කුඩා එහෙත් අඩි 15ටත් වඩා උසැති ගලක් මුහුදට නොවැටී අඩමානයේ රැඳී පවත්නේ යම් හාස්කමකට මෙනි. මේ පෙදෙස දැන් විවිධ අපචාර ක්‍රියාවන් සඳහා තෝතැන්නක් වී ඇතැයි එම ගල අවට ශේෂ වී ඇති මිනිසුන් පරිහරණය කොට ඉවත දමා තිබෙන අපද්‍රව්‍යවලින් මනාව සනාථ වේ. මේ ස්ථානය පවිත්‍ර කොට සංචාරකයන්ට ඒ තුළින් යම් වින්දනයක් ලබා ගැනීම සඳහා පරිසරය සකස් කර දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

සටහන හා ඡායාරූප

ඉඳුරුව

ඇම්. පී. මුනිදාස

About The Author