
පුෂ්පා රම්‍යානි සොයිසා වන මාගේ ජීවිත කථාවේ තවත් එක් පරිච්ජේදයක්…
ජීවිතයට අනතුරක් සිදු වීමට ගියත් ක්ෂණිකව ගත් තීන්දු තීරණ නිසා එයින් බේරීමට මට හැකිවිය…..
මා හෙද අධ්‍යාපනයට තේරී පත් වු බව දැනලත් විට මගේ පැසැල් මිතුරු මිතුරියන් මා හට සුභ පැතීම සදහා විවිධ ත්‍යාග පිරිනමන ලදහ. මා ඒවාට මනාප වූවා හෝ නොවුනා ඔවුනගේ සිත සුව පිණිස ඔවුන් මට දුන් ත්‍යාග ඇන්දෙමි, පැළැන්දෙමි
දිනක් මාගේ යෙහෙළියක් අලුත් විලාසිතාවක් යැයි කියා මා හට සායක් ලබා දී තිබුණි. එය මා බැලුවා පමණි නමුත් ඇද බැලුවේ නැත. පසු දින උදෑසන හෙද විදුහලට යාමට මා හනි හනික උදේ පාන්දර නැගිට එම සායට අතට ගෙන ඇන්දෙමි. ඉන්පසු එහි හැඩය බැලීමට කන්නාඩිය ලගට යන්නට හැරුණා පමණි. මගේ මව ඇස් දෙක නළල උඩ තියාගෙන මා වෙත කේන්තියෙන් කඩා පැන්නාය. .’ දැන්ම ගලවනවා , ගලවනවා, මේ මොන ලැජ්ජ නැති ඇදුමක්ද ‘ යැයි ඇය බැන වැදුනාය . මා දුවගොස් කණ්නාඩියෙන් බැලූ විට ‘දෙයියනේ ඇත්තනේ… කිටි කිටියේ තදට, හිරට, කොටට තිබූ ඒ සාය මටම සසර එපා කරවීය. මා එය ගැලවූ විගස මගේ මව එය රැගෙන ගොස් අතුරුදහන් කරවීය. ඒ ගැන මාද සුතුටු වූයෙමි.
තව දිනක යෙහෙළියක් මට තෑගි කර තිබුනේ අඩි උස සපත්තු දෙකකි. එහි අඩිය හීනී දිග අගල් තුනක් පමණ වූවද එය පැළදීමේදී අපහසුවක් නොදැණුනි. එබැවින් මා ඉස්ඉස්සෙල්ලාම එය පැළැද පාදය දක්වා දිග ගවුමක්ද ඇද සීරුවෙන් හෙද විදුහලට යමට පිය මැන්නෙමි . ඉන්පසු බසයට ගොඩ වැදුන මා වඩාත් සැළකිළිමත් වූයේ අනුන්ගේ කකුල් පරිස්සම් කරලීමටය. මේ අනවශ්‍ය පරිස්සම නිසා මා මහා අකරතැබ්බයකට ලක්විය.
එනම් ටවුන්හෝල් එකෙන් බස්රථය නැවැත්වූ විට මා අනුන්ගේ කකුල් දෙස බලා පරිස්සම්න් බහින විට මගේ කකුල පෙරළි මා මහ පාරට ඩෝං කියා ඇද වැටුනි. ඒ මොහොතේ මා හට දැණුන ලැජ්ජාව කියා නිම කල නොහැකිය. මා හනික දනිපනි ගා පාරෙන් නැගිට්ටෙමි. කිසිවක් නොවූ ලෙස නැවතත් අගල් තුනක් උස සපත්තුව සමබර කරමින් හෙද විදුහල කරා යාමට පිය මැන්නෙමි.
ඒහෙත් කිසිවක් වැරදී ඇති බව මට ඉවෙන් මෙන් දැණිනි. එම සිතිවිල්ල නිවැරදිය. මා මාගේ ඇදුම දෙස හොරෙන් බලන විට එය දණහිසටත් උඩින් පැලී විවර වී ඇති බව දුටු විට මට කලන්තය මෙන් දැණිනි. එනම් සපත්තුවේ හීනි දිග අඩියට ඇදුම පැලී ඉරී යාමයි.
මහපාරේ ගමන් කරන මාහට කිසිදු විකල්පයක් නොමැත. මා හිත හදාගත්තෙමි. ඇදුම අතින් අල්ලාගෙන වට පිට නොබලා බොහොම අපහසුවෙන් හෙද විදුහලට ගිය අයුරු අදද මතක් වන්නේ බැරි වැඩ නොකරන් අඹරෝ කියමන සිහිපත් කරමිනි.
මා කොහේ කොතැන ගියත් අයුක්තියට අසාධාරණය දුටුවොත් එයට විරුද්ධව කෙළින්ම ක්‍රියා කල අයෙක්මි. දිනක් හෙද විදුහලේ පංති අවසන් වී මා ගෙදර යන්නට බස් රථයකට ගොඩ වැදුනෙමි. මා හට අසුනක් ලැබුණෙන් මා වාඩිවී සිටියෙමි. නමුත් ඉදිරියට ඇදෙමින් තිබූ බසය ක්‍රමක්‍රමයෙන් සෙනගින් පිරී ඉතිරී තිබිණ. බස් රථය මා සිටි නිවස ආසන්නයට ලගා වෙමින් සිටි මොහොතක මා නෙත ගැටුණේ මා අසළම සිදුවෙමින් පවතින සිදුවීමකි. එනම් මා අසල සිටි වැඩිහිටි පියෙක්ගේ සාක්කුවට වටෙන් ආපු අතක් කුරුමානම් අල්ලනු මා දුටුමි. මා එය හොදින් නිරීක්ෂා කරන විට මා දුටුවේ ඒ අත උත්සාහ කළේ මුදල් පසුම්බිය ගැනීමට බව මට වැටහුණි.
මා දෙසැරයක් නොසිතාම ක්ෂණිකව ඒ අත අල්ලා එය වළක්වීමට උත්සාහ කල විට එම ශක්තිමත් හස්තයයෙන් මගේ අතට පහරදී කිටි කිටියේ සිටි සෙනග අතරින් ඒ අත අතුරුදහන්විය. මා වහා එය පසුම්බිය හිමිකරුට එය පැවසූයේ ඔහුගේ මුදල් ආරක්ෂා කර ගැනීමටය. ඉන්පසුවයි ඔහු දැනගත්තෙ මෙවැන්නක් සිදුවූ බව. ඔහු මට බොහෝම පින් දුන්නේය ‘දුවට බොහොම පින් .අද පඩි දවස මේක ගේනකම් මගේ පවුලම බලන් ඉන්නේ. නැතිවුණානම් මේ මාසෙ ජීවත්වෙන්නෙ කොහොමදැයි මට හිතා ගන්නවත් බැහැ’ ඔහු ඔහුටම කියා ගනිමින් සැනසුම් සුසුමක් හෙලුවේය. එය දැක මට ඇතිවූයේ කියාගත නොහැකි ලොකු සතුටකි.
එය එසේ හොදින් අවසන් වූවායැයි මා සිතුවෙමි. නැත මා සිතුවා වැරදිය……….
මාගේ නිවස ආසන්නයට පැමිණිවිට බස් එකෙන් බැසීමට මා සෙනග මැදින් ඉදිරියට ආවෙමි. ඒ සමගම මාත් සමගම මගේ ඇගේ ගෑවෙමින් ඉදිරියට පැමිණි පිරිමියා මුහුණ රකුසු කරමින් මගේ දෙස බලා සිටීම මට ප්‍රහේළිකාවකි.එය ගණන් නොගෙන මා බස් එකෙන් බැස්සෙමි. ඔහුද මා සමග බැස්සේය … මා ටික දුරක් ඇවිද ගියෙමි. ඔහුද මා පසුපස පැමිණෙන්නේය… මා වේගය වැඩි කළෙමි…. ඔහුද වේගය වැඩි කරන්නේය. මට ක්ෂණිකව යමක් සිහිපත්විය.. එනම් බස් රථය තුළ මුදල් පසුම්බිය සොරකම් කිරීමට උත්සාහ කර ඇත්තේ ඔහු බව මට ඉවෙන් මෙන් දැණින.
මා ක්ෂණිකව ගෙදර යන සැලැස්ම වෙනස් කළෙමි. හරස් පාරට මා ගමන් කලහොත් එය පාලු පාරක් බැවින් සහ මට යාමට සිදුවන්නේ තනියම බැවින් ඔහුට මා හට අනතුරක් කිරීමට හැකි අවස්ථා තිබිය හැකිය.
එබැවින් මා ඔහු පිලිබද කිසිදු අවධානයක් යොමු නොකරම මහ පාරෙම ගමන් කළෙමි. ඔහු මා පසුපස දිගයම එන්නේය. මා ක්ෂණිකව නැවතත් ගමන වෙනස් කළෙමි. ඉන්පසු නවතා තිබූ ත්රීරෝද රථයකට වහා ගොඩ වැදුනෙමි. “ඉක්මනට ඉස්සරහට යමු” කියමින් මා බස් හොල්ට් ගණනාවක් ඉදිරියට ගියෙමි. ඒ යන අතර පිටුපසින් ඔහු පැමිනෙන්නේ දැයි විමසිලිමත් වූයෙමි.
ඔහු මා ගමන් කල ත්‍රී රෝද රථය දෙස බොහෝ වේලාවක් බලා සිටියා මතකය.
එළෙස බස් හොල්ට් 5 ක් පමණ ගිය විට පොලිස් ස්ථානය කියා බොඩ් එකක් දුටු විට මා නැවතත් සැළැස්ම වෙනස් කර එහි බැස පොලිස් ස්ථානය ඇතුලට ගොස් අනිත් ගේට්ටුවෙන් එළියට පැමිණ වට පිට බැලුවෙමි. අවට කිසි තැනක එම පුද්ගලයා නොමැති බව හොදින් අවධාරණය කල පසු නැවතත් එළියට පැමිණ පොලිස් ස්ථානයක අසළ නවතා තිබූ තවත් ත්‍රී රෝද රථයක නැගී නිවෙස බලා ගමන් කළෙමි.
කාන්තාවක් වුවද ශක්තිමත් පදනමක ජීවත්වීම මෙන්ම අවස්ථානුකූලව ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතුය.
ජීවිතයට අනතුරක් සිදු වීමට ගියත් ක්ෂණිකව ගත් තීන්දු තීරණ නිසා එයින් බේරීමට මට හැකිවිය.
කෙසේ වුවද දුක් විද මාසෙ පඩි අතට ගත් එම පියාගේ පසුම්බිය බේරා දුන් එක ගැන මා සතුටු වූයෙමි.
(තවත් කොටසක් ඉදිරියට)
-පුෂ්පා රම්‍යානි සොයිසා-