FB_IMG_1637289745961

රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, රණවිරුවන් උරුම කළ නිදහසත් රැකගැනීම අනාගතයේ බිහි වෙන නායකයන්ගේ වගකීමක්…

“සඳහිරු සෑය” අභියසදී අගමැති කියයි.

අනුරාධපුර “සඳ හිරු සෑ රදුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ රණවිරුවන් සිහි කොට පිං පැමිණවීම, ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ට ආශිර්වාද කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් පස්වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් ලෙස එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් “සඳහිරු සෑය” ඉදි කරනු ලැබී ය. ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය සහ ගිහි පැවිදි සැදැහැවත්හු ඊට මූල්‍ය හා ශ්‍රම පරිත්‍යාග ලබා දුන්හ.

ක්‍රි.ව. 301 දී මහසෙන් මහරජු අනුරාධපුරයේ, ජේතවනාරාමය ඉදි කළ පසු ලක්දිව ඉදි වූ විශාලතම චෛත්‍ය මෙයයි. 2010.11.22 දින “සඳහිරු සෑ චෛත්‍යයේ” ඉදිකිරීම් ඇරඹුණු අතර 2014.11.22 දින ධාතු නිධානෝත්සවය කිරීම සිදු විය.

උස අඩි 282යි අගල් හයක් වන මෙහි වට ප්‍රමාණය අඩි 800කි. බුබ්බුලාකාර හැඩයකින් යුත් මෙම චෛත්‍යයෙහි කපිලවස්තු ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතු තැන්පත් කොට ඇත. චෛත්‍යයේ තැන්පත් කොට ඇති චූඩා මාණික්‍යයේ උස අඩි 3යි අඟල් 6කි. මෙහි මැණික් ගල් 1895ක්, රත්‍රන් මෙන්ම මුතු ද ඔබ්බවා තිබේ.

ජය පිරිත් සජ්ඣායනා, දේව ආරාධනා, හේවිසි හඬ මධ්‍යයේ “සඳහිරු සෑ රඳුන්ගේ” ඵලකය සහ කොත් වහන්සේ නිරාවරණය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ අතින් සිදු විය.

මහා සංඝරත්නය සහ ප්‍රධාන ආරාධිතයෝ ප්‍රධාන වාහල්කඩ පිළිම වහන්සේ අභියස හා විහාර මන්දිරයේදී මල් සහ සුවඳ දුම් පූජා කළහ.

ධාතු කරඬුවේ ආභරණ පැලඳවීම, දොලොස්මහේ පහන විවෘත කිරීම, “සඳහිරි සෑ රඳුන්” බුදු සසුන වෙත පූජා කිරීම සහ සෑ රඳුන්ට විදුලි ආලෝක පූජාව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සෑ රඳුන්ට පළමු ගිලන්පස පූජාව, “සඳහිරු සෑ” ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථය පිළිගැන්වීම මෙන් ම ගීතය එළිදැක්වීම මෙහිදී සිදු විය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනා සිදුකරමින් රණවිරුවන් ජීවිත කැපකිරීමෙන් කළ මෙහෙය අගයමින් සිදුකළ මහා පුණ්‍ය කර්මයක් ලෙස “සඳහිරු සෑය” ලොවට කියාපාන බව සඳහන් කළහ.

රටට සාමය උදා කිරීමට කැපකිරීම් කළ සියලු රණවිරුවන්ටත්, යුද්ධයේදී මියගිය සියලු පාර්ශ්වයන්ටත් සෑය නමදින සෑම මොහොතක ම පිං අනුමෝදන් වන බව මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුණු ආරක්ෂක හමුදාව ගැන එතුමාට විශාල විශ්වාසයක් තිබිණ. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානින්ගේ ද සහාය ඇතිව එම දරුවන්ගෙන් සැදුම් ලත් ආරක්ෂක අංශ නිවැරදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටු කළේය.

“ලේ ගංගා නතර කර, මරණ බිය තුරන් කර රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ “සඳහිරු සෑය” සමස්ත ලෝකවාසීන්ට ම වන්දනමානයට දායාද කර ප්‍රාර්ථනා කරනුයේ අනාගතයේ කිසි දිනෙක එවැනි සිදුවීම් යළි සිදු නො වේවා!” යි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

“අප රට කොතරම් කුඩා වුවත් අපට අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕන. අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැකගැනීම වර්තමානයේත්, අනාගතයේත් බිහි වන නායකයන්ගේ වගකීමක්” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරනු ලැබීය.

“සඳහිරු සෑ රඳුන්” ඉදි කිරීමේදී සිදු කළ මෙහෙය ඇගයීමට ලක් කරමින් ත්‍රිවිධ හමුදා සේනාංක වෙත ජනාධිපතිතුමා අතින් තිළිණ සහ සහතිකපත් පිරිනැමිණ.

ත්‍රෛනිකායික මහා නායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කථානායකතුමා, විපක්ෂ නායකතුමා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, රාජ්‍ය නිලධාරීහු, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

 

About The Author

Leave a Reply