IMG_20211127_075135

💢 ප්‍රථම ගුවන් කොල්ලය.

 

[ Sepala Ekanayake V Attorney General ]

 

මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකල ප්‍රථම ගුවන් යානා කොල්ලය (Hijack) ලෙස ඉතිහාස ගත වී ඇත. ඔහු නමින් සේපාල ඒකනායක නම් විය.

 

මාතර තිස්සමහාරාමයේ දී උපත ලැබූ සේපාල ඒකනායක 1977 දී ඉතාලි ජාතිකයෙකු සමඟ විවාහ වූ අතර ඉතාලියේ හි පදිංචිව සිටියදී ඔහුට පුතෙකු ලැබුණි. කෙසේ වෙතත්, පුතාගේ උපතෙන් ටික කලකට පසු ඉතාලියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු සමඟ මත්පැන් හලක් තුළ ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් ඔහුගේ ඉතාලි වීසා බලපත්‍රය අහිමි වූ අතර ඉතාලි බලධාරීන් විසින් ඔහුගේ වීසා බලපත්‍රය අළුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලද අතර බලධාරීන් යෝජනා කළේ ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන ලෙසයි.

 

තත්වය ගැන කෝපයට පත් ඔහු ඉතාලි ගුවන් යානයක් පැහැරගෙන යාමේ සැලසුමක් සකස් කර තම ඉල්ලීම් කෙළින්ම ඉතාලි රජයට ඉදිරිපත් කළේය.

 

1982 ජුනි 29 වන දින ඒකනායක නවදිල්ලි ගුවන් තොටුපළට ගොස් රෝමයේ සිට ටෝකියෝ බලා ගමන් කරමින් සිටි ඇලිටාලියා ගුවන් යානය ( Boeing 747 ) පැමිණෙන තෙක් බලා සිටියේය. ගුවන් යානයට ගොඩ වූ එක්නායක ගුවන් යානය අඩි 35,000 ක් දක්වා ළඟා වන තෙක් බලා සිටි අතර පසුව සිය ඉල්ලීම් නියමුවාට ලිපියක් මගින් නිකුත් කළේය.

 

1. ඔහුගේ පුතා ඔහු වෙත ගෙන ඒමටත්;

 

2. ඔහුට ඇමරිකානු $ 300,000 ක් කප්පම් මුදල් ලෙස ලබා දිය යුතු බවත්;

 

3. යානය බැංකොක් ගුවන්තොටුපළට ගොඩබෑමටත්, දොරවල් වසා දමා, ඉතාලි බලධාරීන්ට ඉල්ලීම් නිකුත් කිරීමට සහ ගුවන් විදුලියෙන් පමණක් සන්නිවේදනය කිරීමටත්;

 

4. සියලුම මගීන්ට ආරක්ෂක පරීක්ෂාවකින් තොරව බැසීමට අවසර ලබා දිය යුතු අතර

 

ඔහුගේ නියෝග පිළිපැදීමට නොහැකි වුවහොත් ඔහු විසින් ඉතාලියේ නිෂ්පාදිත අති නවීන බෝම්බ මගින් යානය පුපුරවා හරින බවට තර්ජන කලේය. සියලු ඉල්ලීම් ඒකනායක සිතූ පරිදි සිදු විය.

 

කෙසේ හෝ මොහුව ශ්‍රී ලංකා රජය විසින් ලංකාවට ගෙන්වාගෙන මෙම අපරාධය සදහා ඔහුට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට කටයුතු කලහ.

 

විත්තිකරු වූ සේපාල ඒකනායකට එරෙහි පළමු චෝදනාව වූයේ, 1982 ජුනි 29 සිට 1982 ජූලි 1 දක්වා නවදිල්ලිය සහ බැංකොක් අතර විදේශීය අල් ඉතාලියා ගුවන් යානය තුළ සිටියදී නීතිවිරෝධී ලෙස ඉල්ලීම් ඉල්ලා එවා ඉටු නොකොලොත් ගුවන් යානය පුපුරවා හරින බවට ගුවන් නියමුවා බිය ගැන්වීම හා තර්ජනය කිරීම ය. ඉහත චෝදනාව ගොනු කිරීමට අවශ්‍ය නීති 1982 අංක 24 දරණ ගුවන් යානා වලට එරෙහි වැරදි පනතේ 17(1)(a) උප වගන්තිය සමග කියවිය යුතු 19(1) උප වගන්තිය හා 19(3)(d) උප වගන්තිය යන වගන්තිවල ඇතුලත්ව ඇත.

 

විත්තිකරුට එරෙහි දෙවන චෝදනාව වූයේ, 1982 ජූලි 1 සිට 1982 ජූලි 3 දක්වා කාලය තුළ කොළඹදී මෙම අධිකරණ බල සීමාව තුළ පළමු චෝදනාව සම්බන්ධ ගනුදෙනුවේදී විත්තිකරු වංක ලෙස $ 300,00 ක් කොල්ලකෑම සහ එයින් $ 299,700 ළග තබාගැනීම.

($300 ක් හෝටල් බිල් ගෙවා ඇත) මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 394 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.

 

කොළඹ මහාධිකරණයේ දී ජූරි සභාවක් නොමැතිව නඩු විභාගයකින් පසුව, විත්තිකරු චෝදනා දෙකටම වැරදිකරු වූ අතර පළමු චෝදනාව සදහා ජීවිතාන්තය දක්වා සරල සිර දඩුවමක් සහ දෙවන චෝදනාව සදහා වසර තුනක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද නියම විය. තවද කොල්ල කෑ මුදල නිශ්චිත භාරයක් සමඟ බැඳුම්කරයක් මත අල් ඉතාලියා එයාර් සමාගමට ආපසු ලබා දෙන ලෙසට නියෝග කරන ලදී.

 

මෙම නඩු තීන්දුවට විරුද්ධව ගරු අභියාචනාධිකරණය හමුවේ අධිනීතිඥ කොල්වින් ආර් ද සිල්වා මහතා සහ අධිනීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න මහතා ඇතුලු නීතිඥවරුන් කිහිප දෙනෙක් චූදිත සේපාල ඒකනායක වෙනුවෙන් අභියාචනාවක් ඉදිරිපත් කෙරුණි. එහිදී පහත කරුණු සැලකිල්ලට ලක් විය.

 

ප්‍රධාන අධිනීතිඥවරයා විසින් අභියෝගයට ලක් කල සිටි නීතිමය ගැටලුව වූයේ චූදිතයා ගුවන් කොල්ලය සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකාව තුල ගුවන් යානයක් තුල සිදුවන ගුවන් කොල්ලයක් සදහා චෝදනා ගොනු කිරීමට හෝ දඩුවම් ලබා දීමට කිසිදු නීතියක් නොතිබූ බවත්, 1982 අංක 24 දරණ ගුවන් යානා වලට එරෙහි වැරදි පනත පිහිටුවා බලාත්මක කර වූයේ 1982 ජුලි 26 දින එනම් චූදිතයාගේ වරදේ ක්‍රියාවට පසුව බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(6) ව්‍යවස්ථාව ප්‍රකාරව පසු කාලීන වරදක් සදහා වරදෙන් පසුව නීති සම්පාදනය කර වැරදිකරු කල නොහැකි බවත් ඒ අනුව චූදිතයා කිසිදු වරදක් සිදු නොකර ඇති බවත් ය.

 

Article 13(6) states that,

 

“No person shall be held guilty of an offense on account of any act or omission which did not, at the time of such act or omission, constitute such an offense.”

 

නමුත් ප්‍රධාන විනිසුරුවරයා වූ ගරු අබේවර්ධ විනිසුරුතුමා පෙන්වා දුන්නේ එම ව්‍යවස්ථාවටම අනුව ජාතීන්ගේ ප්‍රජාව (ජාත්‍යන්තරව) විසින් පිළිගත් නීතියේ පොදු මූලධර්මයන්ට අනුව අපරාධයක් සිදු වූ අවස්ථාවේ දී, යම් ක්‍රියාවක් හෝ අතපසු කිරීමක් සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට නඩු විභාග කිරීම සහ දඩුවම් කිරීම මෙම වගන්තියේ කිසිවක් අගතියට පත් නොකරනු ඇත යන්නයි.

 

Further Article 13(6) provides,

 

“Nothing in this Article shall prejudice the trial and punishment of any person for any act or omission which, at the time when it was committed, was criminal according to the general principles of law recognized by the community of nations.”

 

ඒ අනුව තවදුරටත් පෙන්වා දුන්නේ 1982 අංක 24 දරණ ගුවන් යානා වලට එරෙහි වැරදි පනත සම්පාදනය කර ඇත්තේ ශ්‍රී ලංකාව විසින් අත්සන් කර පාර්ශවකරුවෙකු වී සිටින, ගුවන් යානාවන් හි ආරක්ෂාව සම්බන්ධ පහත සදහන් ඇතැම් සම්මුතීන් බලාත්මක කිරීමට බවයි.

 

•> The Convention of Offences and Certain Other Acts Committed on Board Aircraft [ signed at Tokyo on 14th September 1963 ]

 

•> The Convention for the Suppression of Unlawful Seizure of Aircraft [ signed at The Hague on 16th December 1970 ]

 

•> The Convention for the Suppression of Unlawful Acts Against the Safety of Civil Aviation [ signed at Montreal on 23rd September 1971 ]

 

ඒ අනුව ගරු අභියාචනාධිකරණයේ මතය වූයේ පනත නීතිවිරෝධී නොවන බවත්. පනතට අනුව චූදිත අභියාචකට විරුද්ධව ක්‍රියා කිරීම ද නීත්‍යානුකූල බවයි.

 

තවදුරටත් අභියාචකයාගේ අධිනීතිඥයන් තර්ක කර සිටියේ,

 

> දෙවන චෝදනාව මූලිකව මහේස්ත්‍රාත් අධිකරණයක විමසිය යුතු බවත්,

 

> මහාධිකරණයේ විනිසුරුවරයා තීන්දුව ලබා දීමෙදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 203, 279 හා 283 යන වගන්ති වල සදහන් ක්‍රියා පටිපාටියට අනුව තීන්දුව ලබා දී නොමැති බවත්,

 

> ශ්‍රී ලංකාවේ බල ප්‍රදේශයෙන් පිටත සිදු කෙරූ වරදක් සම්බන්ධයෙන් මෙරට තුල නඩු ඇසීමට අධිකරණ බලයක් නොමැති බවත්,

 

> මෙම නඩු කටයුත්ත සදහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 වගන්තිය ප්‍රකාරව අධිකරණ නිළධාරියෙක් විසින් මූලික පරීක්ෂණ පවත්වා නොමැති බවත් ය.

 

ඉහත සියල්ලු තර්ක ගරු අභියාචනාධිකරණය මගින් පහත කරුණු මත පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

 

1982 අංක 24 දරණ ගුවන් යානා වලට එරෙහි වැරදි පනතේ 17 (1) වගන්තිය මගින් පනත යටතේ වරදක් කොළඹ මහාධිකරණය ඉදිරියේ විභාග කළ හැකි බව පෙන්වා දී ඇති අතර, අධිකරණ පනතේ 9 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ඕනෑම පුද්ගලයෙකු විසින්, ශ්‍රී ලංකාවේ සීමාවෙන් පිටත හෝ නැවකින් හෝ ඕනෑම නැවකට හෝ ගුවන් යානයකට අදාළ ඕනෑම වරදක් විභාග කිරීමට මහාධිකරණයට අධිකරණ බලය ලබා දී අති අතර තවදුරටත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 128 (3) වගන්තිය මගින් පෙන්වා දී ඇත්තේ මහා මුහුදේ සිදු වූ වරදක් හෝ ඕනෑම නැවකට හෝ ඕනෑම ගුවන් යානයකට එරෙහිව වරදක් කිරීමට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් මහාධිකරණයේ ගොනු කිරීමට අවසර ලබා දී ඇත යන්නයි.

 

තවදුරටත් විනිසුරුවරුන් පෙන්වා දුන්නේ මහාධිකරණයේ විනිසුරුවරයා 203, 279 හා 283 වගන්ති උල්ලංඝනය කර නොමැති බවත් ය.

 

මීට අමතරව 1982 අංක 24 දරණ ගුවන් යානා වලට එරෙහි වැරදි පනතේ 20 වගන්තිය, 12(2) වගන්තිය හා 21(2) වගන්තිය ප්‍රකාරව පැවැත්විය යුතු පරීක්ෂණය අධිකරණ පරීක්ෂණයක් නොවන බවත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 145 වගන්තියේ පරිදි මූලික පරීක්ෂණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ය.

 

තවදුරටත් ගරු අභියාචනාධිකරණය පෙන්වා දුන්නේ පහත පරිදි පනතේ 19(1) වගන්තියට අනුව “LIABLE” යන වචනය නිසා පනත ප්‍රකාරව වරදක් සඳහා ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කිරීම අත්‍යවශ්‍ය අනිවාර්ය දෙයක් නොවන බවයි.

 

Section 19 (1) of the Act states that,

 

“Shall be liable on conviction after a trial before the High Court, to imprisonment for life”.

 

තවදුරටත් කියා සිටියේ මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවේ සරළ සිරදඩුවම සහ බරපතල සිර දඩුවම එකට එක්ව සමගාමීව ලබා දීම සහ ක්‍රියාත්මක කිරීම නීතියට පටහැනි බවය.

 

ඒ අනුව ඉහත ප්‍රධාන කරුණු සහ නීතිමය පසුබිම සලකා ගරු අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයට අනුව චූදිතයා තවදුරටත් චෝදනා දෙකටම වරදකරු වූ අතර දඩුවම විචල්‍යතාවයකට ලක් කොට අභියාචනාව නිෂ්ප්‍රභ කරන ලදී.

 

ඒ අනුව සේපාල ඒකනායක පළමු චෝදනාවට අවුරුදු පහක බරපතල වැඩ සහිත සිර දඩුවමකට ද, දෙවන චෝදනාවට අවුරුදු දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමකට ද යටත් විය.

 

✍🏼 නීතිවේදී තිනෙත් කොරසගල්ලගේ සටහනකි.

උපුටාගැනීමකී

About The Author

Leave a Reply