2021.11.28.10h22m21s-01

– උං යක්කු 2 වෙනි කොටස –

 

සාජන්වරයා නැවතත් සිතින් සාප කරන්නට විය.මෙවර ඔහුගේ කෝපයට නිශ්චිත ඉලක්ක වූ කිසිවෙක් නොමැති වුවත් අද රාත්‍රිය තුල වූ සිදුවීම් ඔහුගේ ආවේගයෙන් ඉහල නැං වීමට සමත්ව ඇත.

 

වෙනදා මෙන් අද සුලු සුලු වැරදි සඳහා අතඩංගුවට ගත් කිසිවෙක් සිර මැදිරිය තුල වී නම් මෙවර ඔහුගේ කෝපය ඔවුන් මත එල්ලවනු ඇත.අවාසනාවක මහත අද එවැනි කිසිවෙක්ද නැත.

 

අවසානයේ ඔහු දුරකතන රිසීවරය අතට ගත්තේ එය තෙවැනි වරටත් මරහඬ තැලීමට පටන් ගත් පසුවය.

 

“හෙලෝ”

 

පොලිස් අභ්‍යාස විද්‍යාලය තුලත් ඉන් පසුව නොයෙක් වර අතොරක් නොමැති වැඩමුලුවලත් නිරන්තරයෙන් අවදාරණය කල සමාජ සම්බන්දතා මෙවර ඔහුගෙන් ගිලිහී ගියේය.ඔහු දුරකතනයට පිළිවදන් දුන්නේ කඩා පනින ස්වරූපයෙනි.

 

එහෙත් දුරකතනයේ අනෙක්පසින් දුන් පිළිවදනින් හා හඳුන්වා දුන් අනන්‍යතාවයෙන් හේ මදක් පසුබා ගියේය.

 

අමතන්නේ පොලීස් පරීක්ශකවරයෙකි.එයත් පලාතේ පොලිස් අදිකාරී කාර්‍යයාලයෙනි.

 

“ඔව් සර්”

 

” මම Ip රණසිංහ”

 

” මොකක්ද දැන් ඔතන වෙච්ච සිද්දිය”

 

” මේ අර මෙන්ටල් හොස්පිට්ල් එකෙන් පැනපු පිස්සියෙක් සර්”

 

” ඒකි කෙලින්ම නැවතිලා තියෙන්නේ මෙහේ”

 

” දැං මෙන්ටල් හොස්පිට්ල් එකෙන් ඇම්බියුලන්ස් එක ඇවිත් ඒකිව අරන් ගියා”

 

” ඒයා ඇයි පොලීසියට ආවේ ?”

 

” මොනවද එයා කිව්වේ ? ”

 

ඉන්පසු සාජන් වරයා සියල්ල විස්තර කලේය.තරුණිය පැමිණිය සැටිත් තේ කර්මාන්ත ශාලාව පිටුපස මරා වලලන ලද තරුණියක් ගැන පැවසීමත් තමා පැමිණිල්ල ලිවීමට සූදානම් වන විට පොලිස් අදිකාරී කාර්‍යයාලයෙන් ලැබුනු පණිවිඩයත් ඉන් පසු සිදු වූ සියල්ලත් ඔහු පොලිස් පරීක්ශකවරයා හා සැකෙවින් පැවසුවේය.

 

අනෙක් පසින් දුරකතනය මද වෙලාවකට නිහඬය.

 

තමා ක්‍රියාකොට ඇත්තේ ඉතාම විශිස්ට අයුරිනි.පොලීසියේ කාලය නාස්ති නොකිරීම පිළිඹදව පොලිස් පරීක්ශකවරයා දැන් තමාට ප්‍රශංශා කරනු ඇත.ඔහුට තමා ගැනම ආඩම්බරයක් දැණුනි.

 

” තමුසෙලා මෝඩ රැල ”

 

” ඇයි පැමිණිල්ල ලිව්වෙ නැත්තේ ”

 

” තමුසෙලාගේ OIC පොලීසියේ නැති වෙලාවෙ තමුසෙලා මෙහෙමද හැසිරෙන්නේ ”

 

අනෙක් පසින් ඇසෙන ගෝරනාඩුවට සාජන්වරයා වෙව්ලා ගියේය.මේ කඩා පාත් වූයේ කුමන මරාලයක්ද ? ඔහු උන්මන්තක තරුණියට නැවතවරක් සිතින් ශාප කලේය.

 

” හොඳයි කමක් නෑ.මොකක්ද තමුසෙගෙ නම ? ”

 

” මම සාජන් වන්නිනායක සර් ”

 

” හොඳයි වන්නිනායක.තමුසේ හතර දෙනෙක්ව සූදානම් කරනවා.මම දැන්ම එනවා”

 

” හො…හොඳයි සර්.මොබයිල් එක ගෙන්වන්නද ?

ජීප් එක ඊයේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තාම නෑ.කැබ් එක මොබයිල් එකේ”

 

” නෑ නෑ අවශ්‍යය නෑ.මගෙ ජීප් එක තියනව.තමුන් හතර දෙනෙක් සූදානම් කරනව මේ දැන්ම”

 

සාජන් වරයා දුරකතනය ආපසු තිබ්බේ විපක්ශිත සිතිනි.අද රැය නම් සිද්දිවලින් අඩුවක් නැත.වෙනදා රාත්‍රී රාජකාරිවලදී ලැබේන විවේකය අද නැත.

 

ඇරත් කවුද මේ IP රණසිංහ.තමන් පොලිස් අඩිකාරී කාර්‍යයාලට නොයෙක් වර ගොස් ඇතත් රණසිංහ නම් නිළදාරියෙක් පිළිබඳ මතකයක් නැත.

 

සමහරවිට අලුතෙන් ආපු කෙනෙක් වෙන්න ඇති.මොකක්ද පිස්සියෙක්ගෙ පිස්සු කතාවක් පස්සෙ එලවන්න එයාට මෙච්චර උවමනාව.ඒකි පිස්සියෙක්නේ.

 

කොහොම උවත් තමාට වඩා ඉහල නිළදාරියෙක්ගේ අණ පිළිපැදිය යුතුය.නැතිනම් ඔහු කී ලෙස කටයුතු සූදානම් නොවූබව ඔහු මෙහි පැමිණි පසුව දුටුවහොත් ඔහු නැවතත් උරණ වී තාමාට බැන වැදීමට ඉඩ තිබේ.දුරකතනයෙන් නොව ප්‍රසිද්දියේ බැන වදින විට තමාගේ අභිමානයට මරු පහරකි.

 

එබැවින් ඔහු කී ලෙසම තමාත් ඇතුලුව නිළදාරීන් හතරක් සූදානම් කලේය්.

 

ඉක්බිති තවත් අඩ හෝරාවක අවසන වන්නිනායක ඇතුලු නිලදාරීන් සිව් දෙනෙක් පොලීස් පරීක්ශකවරයා පදවාගෙන පැමිණි ජීප් රතය තුල දැකිය හැකි විය.

 

” කොහෙන්ද සර් මේ බාණ්ඩෙ හොයා ගත්තේ.මේවා දකින්නත් ආසයි.දැං අලුතින් දීපු වාහන මෙලෝ රහක් නෑ”

 

සාජන් වරයා විමසුවේ පොලිස් පරීකශකවරයා පදවන පැරණි පන්නයේ ජීප් රතය පිලිඹඳවයි.දැන් බාවිතාවන නිල් පැහැය වෙනුවට කොල පැහැයෙන් පින්තාරු කර ඇති එම ජීප් වර්ගයේ රතය දැන් බාවිතා නොවන තරම්ය.අතීතයේ නම් සියලු පොලිස් ස්තානවල බාවිතා වූ මෙම යුරෝපා රටක නිශ්පාදනය වූ මෙම රත වෙනුවට දැන් බාවිතාවේ ඇත්තේ ඉන්දියානු ජීප් රත හා කැබ් රතයි.

 

.

” මේක තාම රනින් කන්ඩිශන්.මේව එකක් දෙකක් තාම පොලීසි වල තියනවා ”

 

” දැං ඒවයින් වැඩක් නෑ මට පාර කියනවා”

 

” කොහේටද සර් ? ”

 

” අර කිව්ව ෆැක්ටරියට ”

 

සාජන් වරයාත් අනෙකුත් නිලධාරීනුට් මුහුනෙන් මුහුණ බලාගති.

 

මේ රෑ මොන ඉලව්වකටද ඕක අස්සෙ රිංගන්නේ

අනෙක පිස්සියෙක්ගෙ පිස්සු කතාවකට

 

සියල්ලෝම එසේ සිතුවා මිස කිසිවක් මුවින් පිට කලේ නැත.

 

සාජන් වන්නිනායක නැවතත් තම ඉහල නිළදාරියාගේ මුහුණ දෙස බැලීය.

 

නැත ඔහු විහිලු නොකරයි.

දැඩි පෞර්ශත්වයට ඔබ්බෙන් වූ බැරෑරුම් ස්වරූපයක් ඔහුගේ මුහුණේ තැවරී ඇත.සිනහවක සේයාවක් හෝ ඒ ප්‍රතාපවත් මුහුණේ නැත.

 

” ඒක පිස්සු කතාවක් නේද සර්”

 

” හැමෝම මේ අහගන්නවලා,තමුන් ඔය නිල ඇඳුම ඇඳගත්තේ මහජනතාවට සේවය කරන්න.ඒකිට මානසික ආබාදයක් ඇති.ඒත් ඒත් මනුස්සයෙක්”

.

” අනික මෙහෙම හිතනවා ඒකි මෙන්ටල් හොස්පිට්ල් එකෙන් පැන්නා”

 

“ඒත් කොහොමින් හරි කිලෝමීටර් විසිපහක් දුර ගෙවාගෙන ආවෙ පොලීසියට ”

 

” ඒකත් තමුසෙලාගේ පොලීසියටම ”

 

” ඇයි ඒක එහෙම උනේ ?”

 

“ඇයි තමුසෙලාගෙ පොලීසියටම ?”

 

” එයාට තිබ්බා පොලීසියට නොගිහින් හැංගෙන්න”

 

” ඒයා මෙතනටම ආවෙ ඔය කියන ෆැක්ටරිය අයිති තමුසෙලාගෙ පොලිස් වසමට නිසා”

 

” තමුසෙලාට හිතෙන්නෙ නැත්ද ඒකිට කියන්න මොකක්හරි කතාවක් තිබ්බා කියලා”

 

” අනික තමුසෙලා කිව්වා නේද මෙන්ටල් හොස්පිට්ල් එකෙන් ආපු එවුන් කිව්වා කියලා ඒකි එහේ ඉන්නේ අවුරුදු අටක ඉඳන් කියල”

 

” ඒකි තමුසෙලා ගාවට ඇවිත් කිව්වෙත් අවුරුදු අටකට කලින් වෙච්ච මිනීමැරුමක් ගැන”

 

” තමුසෙලාට නිකමටවත් හිතෙන්නෙ නැත්ද ඇයි ඒකිට පිස්සු හැදුනේ කියලා”

 

” මගෙත් එක්ක තරහ වෙන්න එපා.තමුසෙල මහ මෝඩ රැලක්.ඒකිට නෙමෙයි පිස්සු තමුසෙලාටයි පිස්සු”

 

පරීක්ශකවරයාගේ ගෝරනාඩුව වන්නිනායක කරබාගෙන අසා සිටියේය.තමා අතින් විශාල වරදක් සිදු වූ බව දැන් දැන් ඔහුට වැටහේ.

 

මෙය බරපතල ගනයේ අතපසුවීමකි.

 

” දැං අපි මොකක්ද කරන්නේ සර්”

 

” අපි හොස්පිට්ල් එකට ගිහිං ස්ටේට්මන්ට් එකක් ගමුද ”

 

” අනිවාර්‍යයෙන්ම ගන්න ඕන”

 

” ඒත් ඊට කලින් මට මේ කතාවෙ ඇත්ත නැත්ත බලාගන්න ඕන ”

 

” සර් හිතනවද ඇත්තටම එතන අපරාදයක් වෙලා තියනම් දැං එතන හෝඩුවාවක් තියේවි කියලා.අපිට එතන හාරල බලන්න වේවි ”

 

“මොකද ඒකි කිව්වෙ වැලලුවා කියලා”

 

“ඔව් අවශ්‍ය උනොත් අපි හාරනවා”

 

” ඒත් සර් අපි කොහොමද ? අඩු තරමේ උසාවියට දන්වලා මහේස්ත්‍රාත් කෙනෙක් ඉස්සරහ නේද ?”

 

” අවශ්‍ය නෑ දැං මෙතන පැමිණිල්ලක් නෑ.

නෑ නෙමෙයි තමුසෙල ලියල නෑ.එතකොට මෙතන කිසිම නිල රාජකාරියක් නෑ.තියෙන්නේ තමුසෙලාට අනුව පිස්සියෙක්ගෙ පිස්සු කතාවක් විතරයි ”

 

” ඒත් සර් අපිට ප්‍රශ්නයක් වේවිද ? අඩුම තරමේ පොලීසියෙන් පිට වෙද්දි නෝට් එකක් දාන්නත් අමතක උනා මේ ප්‍රශ්නේ නිසා ”

 

” අනික සර් කවුද ? මම කිසි දවසක සර්ව දැකල නෑ.ඒත් මට කොහේදි හරි දැකල හුරු ගතියකුත් තියනවා ”

 

සැබවින්ම සාජන්වරයාට මේ ප්‍රතාපවත් නිලධාරියා කොහේ හෝ දැක පුරුදු ගතියක් දැනෙයි.නමුත් මුණගැසී ඇතිවග මතකයක් නැත.

 

” මම අද රෑ තමයි මෙහේට ආවෙ.හදිස්සියෙ එන්න උනා.ඔෆිස් එකේ ඉන්දෙදි තමයි අර මැසේජ් එකයි ඒවට තමුසෙල දීපු උත්තරයි ඇහුනේ.ඊට පස්සෙයි මම තමුසෙට කෝල් කලේ.

 

එතැනින් පසු සාජන් වන්නිනායක නොයෙකුත් ප්‍රශ්න විමසුවත් නිළදාරියාගෙන් පිලිතුරක් ලැබුනේ නැත.

ඔහුගෙන් ලැබුනු එකම පිළිතුර වූයේ තමා පොලිස් අදිකාරී කාර්‍යාලයේ නොවිසඳුනු අපරාද අංශයට මාරුවීමක් ලැබූ බවත් අද රාත්‍රියේ හදිස්සියේම පැමිණි බවත් පමනි.

 

අවසානයේ සාජන් වරයාත් වෙහෙසට පත් වූයේ නිහඬවම මාර්ගය පෙන්වීම පමණක් සිදු කලේය.

 

ඉක්බිති ඔවුහු පැරණි තේ කර්මාන්තශාලාව අසලට පැමිණියහ.මේ වනවිට අලුයමට ආසන්නව තිබුනත් තවමත් ගණ අඳුර හෙයින් ඔවුනට පැමිණීමට සිදු වූයේ පොලිස් පරීක්ශකවරයාගේ රථයේ තිබූ විදුලි පන්දම් ආදාරයෙනි.

දැන් නවීන විදුලියෙන් ආරෝපණය කළ හැකි විදුලි පන්දම් තිබුනත් මේවා පැරණි පන්නයේ බැටරි කෑලි දමන වර්ගයේ විදුලි පන්දම් විය.

 

මේයකාට එච්චර වයසක් නැති උනාට ඔක්කොම පාවිච්චි කරන්නේ පරණ බඩුනේ.සාජන් වන්නිනායක එසේ තමන්ටම මුමුණා ගත්තේ පරීක්ශකවරයාගේ ජීප් රියත් ඔහුගේ බඳ පටියේ පැලඳ සිටිනු දුටු පැරණි පන්නයේ රිවෝල්වරයත් දැන් මෙම විදුලි පන්ද්මුත් සිහියට නැගුනු නිසාය.

 

අතහැර දමා දිගු කාලයක් ගතවී තිබූ කර්මාන්තශාලා පරිශ්‍රයට ඇතුල්වීම සිතූ තරම් ලෙහෙසි පහසු නොවීය.ගන සැරට වැවී තිබුනු ඉලුක් හා මානා පඳුරු පොඩි කරමින් ඉතා අපහසුවෙන් මාර්ගය පාදාගෙන ඔවුන් කර්මාන්තශාලාව පිටුප්සට එන විට සෑහෙන වේලාවක් ගතවී තිබුනි.මේ මුලු කාලය පුරාවටම උක්ත උන්මන්තක තරුණියට සාප කරමින් පැමිණි සාජන් වන්නිනායක දැන් මුලු මානසික රෝහලටම සිතින් සාප කරන තරමට වෙහෙසින් හා අපහසුතාවයන්ගෙන් පෙලෙමින් සිටී.

 

එහෙත් පොලිස් පරීක්ශකවරයාට කිසිදු වෙහෙසක් නැතුවා සේය.ඔහු සුපුරුදු සිනාහවක් නොමැති ප්‍රතාපවත් මුහුණෙන් අන දෙමින් අපරාදයක් වූ බවට සැක කෙරෙන හෝඩුවාවක් සෙවීමට පොලිස් කණ්ඩායම මෙහෙයවයි.

 

ඔහුගේ අණ ඍජුය.ගැඹුරුය.අනුකම්පා විරහිතය.කොටින්ම මෙවෙලේ ඔහු දෙස බැලීම විශ්‍රාම යාම ආසන්නයේ සිටි සාජන් වන්නිනායකගේ පවා සිත සසල කරවයි.

 

අවසානයේ විදුලිපන්දම් ආදාරයෙන් සිදුකල සොයා බැලීම් වල කිසිදු ප්‍රතිපලයක් නොවූ තැන පරීක්ශකවරයා ගුගුරන හඬින් පොලිස් පිරිස ආමන්ත්‍රණය කලේය.

 

” මේක හරි යන්නේ නෑ.අපිට මොනව හරි මග ඇරිල තියනවා”

 

“ආයෙත් මතක් කරනවා එයා කියපු දේවල්”

 

” තමුසෙලා මාත් එක්ක කිව්වට අමතරව වෙන මොනවම හරි දෙයක් තියනවද අමතක වුණු”

 

සියල්ලෝම කල්පනාවේ නිමග්න වුවත් සාජන් වන්නිනායකට නම් එවැන්නක් මෙනෙහි කර ගත නොහැකි විය

 

මොහොතකින් එතැන සිටි ලාබාල පෙණුමක් ගත් පොලිස් නිලදාරියා මුව විවර කලේය.

 

” සර් එයා කිව්ව නේද වැලලුව කියල”

 

” ඔව් ඒක තමුසෙල මට කිව්වනේ”

.

” මම එයා ලඟමයි එහෙම කියනකොට හිටියේ.වැලලුව කියල අපිට කියල ගහක් පාමුල කියල”

 

එයා තමන්ටම කියාගත්තා හෙමින්.මම හිතන්නේ ලඟ හිටපු මට විතරක් වෙන්නැති ඒක ඇහෙන්න ඇත්තේ ”

 

සාජන්වරයා ඔහු දෙස නොරුස්සනා බැල්මක් යොමු කලේය.සැබවින්ම ඔහුට එවැන්නක් ඇසී තිබුනේ නැත.

 

” ගහක් මුල ?”

 

“ඔව් සර්”

 

එවර කල්පනාවේ නිමග්න වූයේ පොලිස් පරීක්ශකවරයාය.

 

කර්මාන්ත ශාලාව අසලටම වන්නට එලෙස ශාක විශාල ප්‍රමාණයක් නැත.ඇත්තේ උසට වැවීගත් ඉලුක් හා මානා පඳුරුත් කප්පාදු නොකල නිසා අඩි දහයක් පමණ උසට වැවුනු තේ පඳුරුත් පමණි.ගසකට ඇත්තේ මදක් ඔබ්බෙන් පිහිටි සමහර ප්‍රදේශවල ගිනිසීරියා,ගිනිකූරු, වැනි විවිද නම් වලින් හඳුන්වන සරුවට පදුරු දමා හැදුනු ගිනිසීරිය ශාකය පමණි.ගසේ කඳේ මහත අනුව එය නම් අවුරුදු දහයක් පහලවක් පමණ පැරණි යයි කිව හැකිය.

 

” හොඳයි ගහකට තියෙන්නේ අන්න අර ගිනිසීරිය ගහ විතරයි.මොනව හරි තියනවනම් එතන තමයි තැන.”

 

තේ කර්මාන්තශාලා පරිශ්‍රයේ මිදුල කෙලවර වූයේ එකල මනාව නඩත්තු කරන ලදැයි සිතිය හැකි ගල් වැටකින් වූ අතර ඉන් එහා කර්මාන්තශාලාව වට කොට ගෙන සිටි බෑවුමේ පිහිටියේ කලක් අලංකාරව පවත්වාගෙන යන්නට ඇති මුත් දැන් කප්පාදුවකින් තොරව උසට වැවෙන තේ පඳුරු ස්මූහයකි.

 

යතෝක්ත ගිනිසීරියා ගස පිහිටියේ එම ගල්වැට අසලටම වන්නටය.

 

” සර්, මෙතන කොහොමද මිනියක් වලලල ඇති කියල හිතන්නේ”

 

” මෙතන ගල් ගොඩක්නේ”

 

“වන්නිනායක”

 

” මේ තියන ගහ මොකක්ද? ”

 

” ගිනිසීරිය ගහක් සර් ”

 

” තමුසේ මේ පලාතෙනේ.මෙහේ ඇයි මේව හිටවන්නේ ?”

 

” තේ ගස් වලට හෙවනට සර්”

 

” එහෙනම් මේ ෆැක්ට්‍රිය වටේම තිබිල තියෙන්නෙ තේ ඉඩමක්”

 

“ඔව් සර් මට මතකයි මේ වටේටම ලස්සන තේ ඉඩම තිබ්බේ දැං මෙහෙම කැලේ වැවුනට”

 

” එහෙම්නම් තව මේ වගේ ගස් ඇති මේ ඉඩමේ තැනින් තැන”

 

” ඔව් සර් අර තියෙන්නේ”

 

” වන්නිනායක දන්නව නේද මේ ගස් හොඳට මෝරල හැදුනාම ලේසියෙන් මැරෙන්නේ නෑ කියල”

 

“ඔව් සර් අරටුව හයියට හැදෙනව මෙව්වා”

 

” අර තියන අනෙක් ගසුත් මේ ගහත් එක්ක එක කාලේ හිටවපුව වෙන්න ඇති”

 

” ඔව් සර් තේ පැල හිටවන කාලෙමයි ඉඩමේ තැනින් තැන මේවත් හිටවන්නේ”

 

” වන්නිනායකට මේ ගහේ මුකුත් වෙනසක් පේන්නේ නැද්ද ”

 

“එහෙම නෑ සර් මේක ටිකක් සරුවට මහතට හැදිල තියනව අනික්වට වඩා”

 

” ඇයි ඒ”

 

” බාගදා මෙතනට හොඳට අවුව ඇති සර්”

 

” ඔව් එහෙමත් වෙන්න පුලුවන්”

ඒත් වන්නිනායක මේ ගහට අනෙක්වට වඩා පෝර ලැබුනා වෙන්න බැරිද ? ”

 

මෙහිදී සාජන් වන්නිනායකට ඔහු අදහස් කල දෙය තේරුම් ගැනීමට තරමක් වෙලා ගත විය.

 

අවසානයේ පරීක්ශකවරයාගේ ප්‍රශ්න සමූහයේ තේරුම වටහා ගත් සාජන්වරයා බිහිසුණු අයුරින් වෙව්ලා ගියේය.

 

එයට වඩාත් හේතු වූයේ එවෙලේ පරීක්ශකවරයාගේ මුහුනේ වූ රෞද්‍ර බිහිසුණු පෙනුමය.

 

” ඒ කියන්නේ සර් එයා කියල තියෙන්නේ ඇත්තක් ? ”

 

“ඔව් වෙන්න පුලුවන්”

 

” දැනගන්න එක ක්‍රමයයි තියෙන්නේ ”

 

” හාරමු”

 

මෙහිදී සාජන්වරයා මහත් වික්ශිප්තයට පත් වූයේ තමන් සමග පැමිණි අනෙකුත් නිළදාරීන් දෙස බැලීය.

 

ඔවුන්ද කිසිදු අදහසක් නොමැතිව ඔවුනොවුන්ගේ මුහුණු දෙස බලනු පෙණිනි.

 

” බලා ඉන්න දෙයක් නෑ පටන් ගන්න”.

 

” සර් අපි ?”

 

“ඔව්”

 

එතැන් සිට සාජන්වරයා ඇතුලු පිරිසට සිදුවූයේ පරීක්ශකවරයාගේ ඍජු අණට කීකරු වීමටයි.

 

අපිට මොකෝ.අපි කොමොමත් සොක්කොනේ .ප්‍රශ්නයක් උනොත් එයාම උත්තර දෙයිනේ.සාජන් වරයාගේ සුපුරුදු තමාටම මිමිණීම එතැන සිටි වෙන කිසිවෙකුට ඇසුනේ නැත.

 

දැන් අරුණෝදය නැගී එයි.එහෙයින් විදුලි පන්දම් වල දැඩි අවශ්‍යතාවයක් නොවීය.

 

කෙසේ උවත් ඔවුනට එතරම්වෙලාවක් හැරීමේ අවශ්‍යතාවයක් නොවීය.එතැන වූ බුරුල් පසත් දින දෙකකට පෙර ඇදහැලුණු වර්ශාවෙන් ලැබූ තවමත් ඉතුරුව තිබූ තෙතමණයත් මේ වෙහෙසකර අවස්තාවේ ඔවුන්ගේ කාර්‍යය පහසු කරවීය.

 

මේ මුලු කාලය පුරා පොලිස් පරීක්ශකවරයා සිටියේ සුපුරුදු බුම්මාගත් මුහුණින් පොලිස් පිරිස හාරන වල දෙසම නෙත් යොමාය.

 

එකවරම..

 

” නවත්වන්න ”

 

ඍජු විදානයකි.

 

“ඔන්න ”

 

සැරයන් වරයා දහදියෙන් පෙගුනු මුහුණින් නැවතත් වල දෙස බැලීය.

එවර ඔහුගේ මුහුණේ නැගුනු දහදිය බිඳු වලට හේතු වූයේ සැබවින්ම වෙහෙසද එසේ නොමැති නම් සාරන ලද වල තුලින් මතු වූ දිරා ගිය රෙදි කැබලිත් සමග තවමත් දිරා නොගිය හිස්කබලක් සහ අස්ති කොටස් සමග ඉතිරිව තිබූ කලු පැහැ දිගු කෙස් කලාපය දුටු නිසාද යන්න දන්නේ ඔහුම පමණි.

 

“දෙයි හාමුදුරුවනේ ”

 

” අරකි කියල තියෙන්නේ ඇත්තනේ ”

 

එවර සාජන් වරයාට තමා පොලිස් නිලදාරියෙකු බවත් මොහොතකට අමතක විය.

 

“ඔව් ඒකි කිව්ව දේවල් සම්පූර්ණ ඇත්ත,.මේ තියෙන්නේ ඒකට සාක්ශි”

 

“වන්නිනායක”

“ඔව් සර්”

 

“තමුසේ ඒකි කිව්ව කතාව පිස්සු කතාවක් කියල හිතන්න හේතුව කෙල්ලෙක් අතුරුදහන් වෙච්ච සිද්දියක් පොලීසියට වාර්තා නොවීම නේද ?”

 

“ඔව් සර් ඇත්තටම එහෙම සිද්දියක් උනේ නෑ නේ”

 

” නැත්තේ නෑ වන්නිනායක උනා”

 

” මතක් කරල බලනව සුනාමියට දවස් තුන හතරකට කලින් ”

 

මෙහිදී සාජන්වරයාගේ සිත මදක් අතීතයට දිව ගියේය.මීට වසර අටකට පෙර සිදු වූ සුනාමි ව්‍යසනය ඔහුගේ මතකයට නැගුනි.

 

එවකට ඔහු සේවය කරමින් සිටියේ දැන් සේවය කරන පොලීසිය පිහිටි නගරයට යාබද නගරයක පොලීසියේය.

 

අවසානයේ විදුලි සැරයක් ළෙසට සියල්ල ඔහුගේ මතකයට නැගුණි.

සුනාමි ව්‍ය්සනයට දින තුනකට පමණ පෙර දිනක් රාත්‍රියේ පොලිස් පණිවිඩ විකාශන යන්ත්‍රය ඔස්සේ විකාශය කෙරුණු අවුරුදු විසි හතරක තරුණියකගේ විස්තර ඔහුට සිහි විය.පැමිණිල්ල ලැබී තිබුනේ ඇය සේවය කරනා ආයෝජන ප්‍රවර්දන කලාපයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවෙනි.

 

ඈයෝජන ප්‍රවර්දන කලාපය තම පොලිස් බල ප්‍රදේශය තුල වූවක් නොවීමත් ඉන් දින තුනකට පසුව සිදු වූ මහා සුනාමි ව්‍යවසනයත් මේ කරුණු කාරණා සාජන්වරයාගේ පමණක් නොව පොලීසියේ බොහෝ දෙනෙකුගේ මතකය තුලින් ගිලිහීමට හේතු වීය.

 

” දැං මතකයි සර්”

 

” ඔය කියන සිද්දිය සුනාමියත් එක්ක අමතක වෙලා යන්න ඇති.එතකොට මේ ඉන්නේ ඒ අතුරුදහන් වෙච්ච කෙල්ලද ?”

 

” ඔව් බොහෝ විට මේ එයා වෙන්න ඕන”

 

” මේක අමු අමුවෙ කරපු මිනී මැරුමක් ”

 

” සුනාමියට මේ කාරණාව හොයන එක පස්සට ගියා තමයි.හැබැයි අමතක උනේ නෑ.

 

” මේ කෙල්ල කලාපේ ඇතුලේ ෆැක්ට්‍රියකවැඩ කරපු කෙල්ලෙක්.ගෙවල් මෙහේ නෙමෙයි.මතක හැටියට මහියණ්ගනය පැත්තේ.”

 

“”බෝඩිමක ඉඳන් තමයි වැඩට ආවේ.”

 

“දවසක් වැඩ ඇරිලා ෆැක්ට්‍රියෙන් ගිය කෙල්ල ආපහු කවුරුවත් දැකල තිබ්බේ නෑ.”

 

“බෝඩිමට ගිහින් තිබ්බේත් නෑ.එයත් එක්ක එක ගමෙන් ඇවිත් මෙහේම වැඩ කරන යාලුවොන්ගේ මාර්ගයෙන් ගෙවල් වල හොයල බැලුවා.ගෙදර ගිහින් තිබ්බෙත් නෑ”

 

අන්තිමේදි ෆැක්ට්‍රියේ ළමයින්ගේ බලකිරීමට මැනේජ්මන්ට් එකට සිද්ද උණා පොලීසියට යන්න.

අන්න එහෙමයි මේ කේස් එක පොළීසියට ආවේ”

 

සාජන්වරයා ඇතුලු සෙස්සෝ මේ කතාවට සාවදානව අසා සිටිති.එහෙත් ඔවුන් සතුව ප්‍රශ්න නැතුවා නොවේ.

 

“එතකොට සර් කොහොමද මෙච්චර විස්තර දන්නේ? ”

 

“සර් ආවේ අද රෑ කිව්වනේ ?”

 

” එතකොට අර පොලීසියට ආව පිස්සු කෙල්ල කවුද ?”

 

“මම කිව්වනේ වන්නිනායක ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි හොයන්න ඕන එයාගෙන්මයි”

 

“මං ගැන කියනවනම් මම කිව්වනේ සුනාමිය නිසා ඔය ගෑණු ලමයගේ සිද්දිය යටපත් උනාට අමතක උනේ නැහැ.ඒ සිද්දිය ගැන දිගටම හොයපු පොලීසියේ හිටපු කීපදෙනාගෙන් එක්කෙනෙක් මම ”

 

“එහෙම අමතක නොවෙන්නත් හේතුවක් තිබ්බා”

” ඒ කෙල්ලට හිටපු එකම නෑයා අම්මා.ඒ අම්මටත් මේ ලෝකේ හිටියේ ඒ කෙල්ල විතරයි.”

 

” ඒ අම්මා මහියන්ගනේ ඉඳන් මෙහෙට ආවා”

“කොහේ නැවතුනාද කියල මම දන්නේ නැහැ”

 

“හැබැයි හැම උදේකම නොවැරදීම ඒ අම්මා පොලීසිය ඉස්සරහ හිටියා කඳුලු පෙර පෙර තමන්ගේ දුව හොයා දෙන්න කියල”

 

” හැබැයි සුනාමිය ඇවිත් ඔක්කොම කණපිට පෙරලුවා”

 

” ඒත් මම දිගටම හොයාගෙන ගියා.”

 

“එතකොට සර්…”

 

” ඔව් අපිට බොහොම වැදගත් දේවල් හොයාගන්න ලැබුණා”

” කොටින්ම අතුරුදහන් වෙච්ච කෙල්ල ආයේ හම්බ උනා”

 

” ආයේ හම්බ උනා ….?”

 

” ඔව් ආයේ හම්බ උනා හැබැයි පැය ගානකට”

 

” එයා ආයේ අතුරුදහන් උනා”

 

“දැන් මට හිතෙන විදියට එයා ආයේ මතු වෙලා …හැබැයි මේ විදියට”

 

පරීක්ශකවරයා කතාව අවසන් කලේ හාරන ලද වලත් එහි තිබූ අවසේසයන් දෙසටත් අත දිගු කරමිනි.

 

“හොඳයි දැං එලිය වැටීගෙන එනවා.දැනටමත් පරක්කු වැඩියි.දැන් මම යනවා.”

 

“සර් කොහේද යන්නේ ”

 

” මම යනවා හොස්පිට්ල් එකට”

“අර කෙල්ල හම්බ වෙන්න”

 

” මම ආයේ එන්නම් මේ ගැන පොලීසියත් දැනුවත් කරලම”

” එතකන් වන්න්නිනායක කට්ටියත් එක්කම මේ ඒරියා එකම අඟලෙන් අඟල සර්ච් කරන්න”

 

“සමහරවිට මොනවම හරි දෙයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.”

 

” වාහනේ ඇතුලේ මම ගෙනාපු වතුර බෝතල් කීපෙකුත් ශෝට් ඊට්ස් වගේකුත් ඇති.කවුරු හරි ඇවිත් ඒක ගන්න”

 

” මතකනේ වන්නිනායක අඟලෙන් අඟල”

 

“අනික ෆැක්ට්‍රි බිල්ඩින්ග් එක ඇතුල හොඳට බලන්න”

“විශේසෙන් උඩ තියන ඔෆිස් රූම් එක එහෙම”

 

මෙහීදී කොතරම් ප්‍රශ්න තිබුනත් ඉහල නිළදාරියාගේ අණට කීකරු වීම හැර කල හැකි වෙනකක් නොවුනේ සාජන් වරයා හිස වනා එයට එකඟත්වය පළ කලේය.

පොලිස් පරීක්ශකවරයා ආපසු යාමට හැරුණේ නැවත කිසිවක් මතක් වී මෙන් ආපසු සාක්කුවෙන් ගත් ලිපිනයක් ලියු කොල කැබැල්ලක් වන්නිනායකට දිගු කලේය.

 

“ආහ් වන්නිනායක මම එන්න කලින් සෝකෝ එක මෙතනට ආවොත් ඔයාලට මාව හම්බවෙන්න පුලුවන් මේ ඇඩ්‍රස් එකේදී”

 

“හොඳයි සර්”

 

ඉන්පසු පොලීස් පරීක්ශකවරයා යාමට පිටත් වූයේ ස්වල්ප වෙලාවකින් ඝන මානපඳුරුවලින් වැසුනු පාර තුල නොපෙනී ගියා වීය.ඔහු යන ශබ්දය පමණක් ඇසිණි.

 

” එයා නං ගියා,දැං කාපංකෝ කට්ට.කෑවයින් කෑවෙ නෑ මේ වගේ පෝරියල් එකක්”

 

” ඇයි යකෝ මේවා කෙරෙන්න ඕන පිළිවෙලක් තියනවා.ඒ මුකුත් නැතුව අපිත් මිනීමරුවෝ වගේ නේ වලවල් හාරන්නේ ”

 

සැබවින්ම සාජන්වරයා තමන්ගේ මුලුමහත් පොලිස් දිවිය තුලම මෙවැනි අවස්තාවකට මුහුණ දී ථිබුණේ නැත.

 

මෙහිදී සාජන්වරයාගෙ සිතට නැගුනු කිසියම් අදහසක් නිසා හේ මදක් නිහඬව කල්පනා කලේ නැවතත් මුව විවර කලේය.

 

” අයි පී මහත්තයා එනකොට අපෙන් පාර අහගෙනයි ෆැක්ට්‍රියට ආවේ.එතකොට එයා කොහොමද දන්නේ මේ ෆැක්ට්‍රියේ ඔෆිස් රූම් එක තියෙන්නේ උඩ කියලා ? ”

 

ඔහු මේ වග විමසුවේ තමන් සමග සිටි අනෙකුත් පොලිස් පිරිසෙනි.නමුත් මුහුණෙන් මුහුණ බලනවා හැරෙන්නට ඔවුනටද දිය හැකි පිළිතුරක් නොවීය.

 

සාජන් වරයා ප්‍රමුක පොලිසි පිරිස තම ඉහල නිළදාරියාගේ නියෝග ප්‍රකාරව කර්මාන්තශාලාව අවට බිම් කඩ සීරුවෙන් පරීක්ශා කලේ කිසිවක් සොයාගත නොහැකිවීය.

 

“මේක හරියන මගුලක් නෙමෙයි සාජන් මහත්තය මෙතන මොනව තිබ්බත් දැං අවුරුදු අටකට පස්සෙත් ඒව ඒ විදියටම තියෙයිද ”

 

“මේක ගිනි තියල ඊට පස්සේ උසාවියෙන් නඩු තියන දේපලක්.මේවට කවුරුවත් යන්න එන්නෙනම් නෑ.අවුවටයි වැස්සටයි අහුවෙලා දිරල ගිහින් නැත්තම් තියන මොන මගුල උනත් ඒ විදියටම ඇති”

 

” ඒත් අපි මොනවද හොයන්නේ ?”

 

“ඕනම දෙයක් ඇඳුම් කෑල්ලක් ලේ පැල්ලමක් බෑග් එකක් ෆෝන් එකක් ඕනම දෙයක් වෙන්න පුලුවම්.හොඳට හොයපල්ල උඹලත් පොලීසියේ නේද මගෙන් අහනවද හොයන්න ඕන මොනවද කියලා ?”

 

අවසානයේ මද්‍යහනයට ලං වූයේ ඔවුන් දැඩි වෙහෙසට පත් වීය.

 

“හොඳයි එලියේ මුකුත් නෑ.අපි ෆැක්ට්‍රිය ඇතුලට යමු”

 

අවසානයේ ඔවුන් කර්මාන්ත ශාලාව ඇතුලට පිවිසියහ.

 

කලකදී ඉතා කාර්‍යය බහුල නොයෙක් දෙනා ගැවසීගත් මේ පරිශ්‍රය දැන් ගින්නට බිලිවීමෙන් අතහැරදමනු ලද්දේ දැන් පාලු අඳුරු මුස්පෙත්තු ස්වබාවයක් ගත්තේය.

 

කොතෙක් පරීක්ශාකලද බිම්මහල තුලින් දිරාගිය යන්ත්‍රසූත්‍ර හැර වෙන කිසිවක් සොයාගත නොහැක.

ඉන්පසු ඔවුන් , මදක් දිරාපත් වූ නමුත් තවමත් හොඳ තත්වයෙන් පවතී යැයි පෙණුනු යකඩ පියගැට ඔස්සේ උඩු මහලට පිවිසියහ.

 

මෙහිදී සාජන්වරයාගේ සිතට මද තිගැස්මක් ඇති වූයේ හේ මදක් පසුබා ගියේය.

 

” ඇයි සාජන් මහත්තයා ”

 

“ඇත්තටම මේකෙ ඔෆිස් එක තියෙන්නේ උඩනේ.අරයා කොහොමද ඒක දන්නේ ?”

 

“නිකන් ගෙස් කරල කිව්වා වෙන්නැති සාජන් මහත්තයා ”

 

“එහෙමද එහෙම නැත්නම්….”

 

මෙහිදී සාජන්වරයා තම සිතේ ක්ශණිකව ඇතිවී නැතිවී ගිය අදහස සෙස්සන් හා පැවසුවේ නැත.

 

” මෙතනනම් පුතේ මගේ හිතට හරි නෑ.මෙතන මොනවහරි තියනව වෙන්නම ඕන.චූටි දෙයක් හරි කමක් නෑ හොඳට හොයන්න.හැබැයි කිසි දෙයක් අල්ලන්න එපා.”

 

” ඔෆිස් රූම් එකෙන් පටන් ගමු යමු.හැබැයි පරිස්සමින් මේක දිරල තියෙන්නේ කොහෙන් කඩන් වැටෙයිද දන්නේ නෑ ”

 

ඔවුන් අඩක් විවුර්ත වී ද්වාරයෙන් කන්තෝරු කාමරයට ඇතුල් වීය.

 

” දෙයියන්ට ඔප්පු වෙච්චාවේ..”

 

” මෙතන තමයි තැන”

 

සැබෑය.කාලයෙ වැලි තලාවෙන් වැසී යමින් තිබුනද කලකට පෙර සිදු වූ මහා අපරාදයක සළකුණු තවමත් එහි වීය.

ඝන දුහුවිලි තට්ටුවකින් වැසී තිබුනද එතුලින් තැන් තැන්වලින් මතුවී පොලොව මත ඇති තද දුඹුරු පැහැ පැල්ලම ලේ පැල්ලමක් බව පැවසීමට පලපුරුදු පොලිස් නිලදාරීන්ට වෙනත් සාක්ශි අවශ්‍යය නොවීය.

 

කාමරයේ තිබූ එකම පුටුව මත තිබූ දිරාගිය කඹ පොටත් මේසය මත තිබූ දුහුවිලි වැකුණු ඉස්තරම් වර්ගයක හිස් මත් පැන් බෝතලයත් හිස් වීදුරු හතරකුත් හැරෙන්නට එහි වූයේ බිම එකතැනක වූ මලකෑ බෙලෙක් පිඟානත් තැනින් තැන වූ තවමත් සොයාගත හැකි සිගරට් ෆිල්ටරුත් පමණි.

 

කලකට පෙර මෙම ස්තානයේ සිදුවන්නට ඇතැයි සැක කල හැකි මහා අපරාදය සැබැවින්ම සිදු වූවක් බව කීමට පොලිස් නිළදාරීන්ට වෙනත් සාක්ශි අවශ්‍ය නොවීය.

 

තමන් සමග සිටි තරුණ නිළධාරියෙක් කාමරයේ එක් මුල්ලක බිත්තියක් අසල කුමක්දෝ විපරම් කරනු සාජන්වරයා දිටීය.

 

” මොකක්ද සමන්ත ?”

 

“නෑ සාජන්මහත්තයා මේ බලන්න”

 

සැබවින්ම එහි වූයේ ගින්න නිසා දැලි වැකුණු බිත්තිය සූර ලියන ලද අකුරු සමූහයක් බවපෙනෙන්නට තිබිනි.

 

ඒ මත දුහුවිලි බැඳී තිබුණද තවමත් හඳුනාගත හැකි මට්ටමින් එයපැවතුණි.

 

” උ..පා..ලි ”

 

” න..ලි..න් ”

 

“උං යක්කු”

 

ඉතා ආයාසයක් ගෙන ලියන ලදැයි පෙණුනු මේ අකුරු අපහසුවෙන් උවද ගලපාගත් විට තේරුම් ගත හැකි වූයේ එයයි.

 

” මේවා ගොඩක් දුරට මේ කෙල්ල ලියපුව වෙන්න ඇති.ඒ කියන්නේ ඒකි මෙතන සෑහෙන කාලයක් හිර කරගෙන ඉන්න ඇති.”

 

මෙහිදී ඔවුන් සැම තුල මේ ස්තානයේදී අප්‍රමාන වද බන්ධන වලට ලක්ව කිසිවෙකුටත් හොරා මිහිදන්ව ගිය ඒ නාඳුනන අසරණිය ගැන කණගාටුවක් නැගී ආවේය.

 

දැන් සාජන්වරයාගේ සිතුවිලි වෙනස් ය.දැන් ඔහුට වෙහෙසක් නොදැනේ.ඒ වෙනුවට මේ නාඳුනන තරුණියට සාදාරණයක් ඉටුවිය යුතු බව ඔහුගේ හ්ර්ද ශාක්ශිය ඔහුට බලකරයි.අනිත් අයගේද සිතුවිලි එයම බව මුහුණු දෙස බැලූ විට පෙණී යයි.

 

” ගොඩක් දුරට රේප් කරල වෙන්න ඕන.මේ කාළකන්නින්ට කෙල්ලො ගෙනත් වද දිල මරන්න…. හොඳයි බලමුකෝ.මීට වැඩිය අවුරුදු ගණන් පරණ මිනීමැරුමුත් අපි හොයාගෙන තියනවනේ.”

 

“ඔව් සර්.මේකෙල්ල මේක තව ලේසි කරල.ඔය තියෙන්නේ නම් එක්කම.”

 

“ඔව් කෙල්ල උංගේ නම් දන්නව කියන්නේ ගොඩක් වෙලාවට කෙල්ල කලිං ඉඳන් උං අඳුනනව ඇති.යාලුවොන්ගෙන් විස්තර හොයාගන්න බැරි වෙන්නේ නෑ”

 

” ඔව් සාජන් මහත්තයා සරුත් මේක අතාරින පාටක් නෑ.දැක්කෙ නැද්ද හාරනකොට බොඩි එක මතු වෙච්ච වෙලාවෙ සර්ගේ මූණ.මෙන්න මෙවුං ඒ වෙලාවෙ අහු උනානං අමුවෙං කන සයිස් එකක් තිබ්බේ ”

 

“ඔව් රණසිංහ මහත්තයා මේක ගැන මීට වඩා විස්තර දන්නවා මට හිතෙන විදියට.ෆයිල් එකක් හදල කිව්වනේ තියෙන්නේ.අඩුවට තිබුනේ බොඩි එක විතරයි කිව්වා දැං ඒකත් හරිනේ”

 

” හරි කොල්ලනේ.දැං කතා කර කර ඉන්න වෙලාවක් නෑ.අනිත් තැනුත් සර්ච් කරන්න.ඉක්මන් කරමු.”

 

කෙසේවෙතත් අනෙක් කාමර වලින් හෝ ඇසිරුම් අංගනයෙන් ඔවුනට වැඩි යමක් සියාගත නොහැකි වීය.දැන් පරීක්ශා කිරීමට ඇත්තේ ඉතුරුව ඇති ගබඩා කාමරයක් පමණි.

 

එහි මල කෑ යකඩ දොර අපහසුවෙන් විවුර්ත කරගෙන එයට ඇතුල් වූ පොලිස් පිරිස දුටුවේ කර්මාන්ත ශාලාවේ විවිද යන්ත්‍ර සූත්‍ර කොටස් සහ විවිදාකාර බාන්ඩ එය තුල ගොඩ ගසා ඇති අන්දමයි.

 

එහි සැලකිය යුතු යමක් සොයාගත නොහැකිව ආපසු යාමට හැරුණු නිළදාරීන්ගේ නෙත ගැටුණු දිරාගිය බැරලයකි.

 

නිකමට මෙන් එය තුලට එබී බැලුවේ යටකී සමන්ත නම් තරුණ නිළදාරියායි.

 

” සර්,මෙන්න”

 

එය තුලට එඉන්පසු එබී බැලූ සාජන්වරයා දුටුවේ කාන්තා අත් බෑගයකි.”

 

” ග්ලවුස් දෙකක් ගනිං”

 

” පොලීසියෙන් නික්මෙන විටම සාක්කු වේ දමාගෙන පැමිණි අත්වැසුම් යුවල පැලඳගත් සාජන් වරයා දුහුවිලිවලීන් වැසී තිබුනත් තවමත් හොඳ තත්වයෙන් ඉතිරිව තිබූ ගමන් මල්ල විවුර්ත කලේය.

 

කුඩා පසුම්බියක් පැරසිටිමෝල් පෙති කාඩ්පතක් හා සෑම කාන්තා ගමන් මල්ලකම තිබිය හැකි අටෝරාශියක් දෑ එහි විය.

 

එයින් සාජන් වරයාගේ සිත් ගත්තේ එහි වූ පසුම්බිය වෙතට වූයෙන් හේ එය රැගෙන විවුර්ත කලේය.

සමහරවිට ඇය හඳුනාගත හැකි යමක් මෙහි තිබීමට පුලුවන.

 

සැබෑය.පිලිවෙලකට නමන ලද රුපියල් දහසේ නෝට්ටු දෙකක් තවත් සියයේ පනහේ නෝට්ටු කිහිපයක් කාසි කිහිපයක් සහ ජාතික හැඳුනුම්පතක් එහි වීය.

 

පසුම්බියේ තිබුනු සුලු මුදල දුටු ගොරහැඬි සාජන් වරයාගේ දෙනතට පවා හදිස්සියේ ඇතිවූ ශෝකයෙන් කඳුලක් නැගීමට සමත් වීය.

 

මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ ලිපිනයක් සහිත වූ එහි චායාරූපය ඇය පාසල් යන සමයේ ගත්තක් විය යුතු වුවත් ඇය සෑහෙන රූ සපුවකින් යුක්ත එකියක් බව සාජන් වරයාට පසක් විය.තවද ඒ රුවේ කුමක්දෝ හුරුපුරුදු ගතියක් තිබුණත් ඒ කුමක්දැයි සිහි කරගැනීමට සාජන් වරයාට හැකි වූයේ නැත.

 

” දිසානායක ගමගේ සුරංගි පූර්ණිකා”

 

සාජන්වරයා සෙස්සන්ටද ඇසෙන සේ එහි වූ නම කියවීය.සෙස්සෝ එවෙලේ ගමන් මල්ලේ ඌ අනෙකුත් දෑ පරීක්ශා කරමින් සිටියහ.

 

“හොඳට හුරු පුරුදු නමක්”

එසේ තමාටම කියා ගත් සාජන්වරයා පසුම්බියේ අනෙකුත් දෑ පරීක්ශා කිරීමට වූයේ කඩදාසි කවරයක තිබී තරුණිය ගේ යැයි කිව හැකි පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ චායාරූපයක් අතට ගති.

 

එය දෙස බැලූ සාජන්වරයාට විදුලි සැරයක් වැදුනාලෙසට සියල්ල පැහැදිලි වීය.තමන්ට ක්ලාන්ත ගතියක් ඇතිවන බවත් සියොලඟ දහදිය නැගෙන බවත් ඔහුට දැනුණි.

 

” එහෙනම් මේ එයා.ඒකයි මට මූණ හුරු වගේ දැනුනේ.”

“මට…මටම් වතුර බෝතලයක් ගේ…න්න්න”

 

මෙවෙලේ සාජන්වරයාට ඊයේ මද්‍යම රාත්‍රියේ තමන් ඉදිරියට පැමිණි ඇයගේ මුහුණ සිහියට නැගුණි.

 

මානසික රෝහලෙන් පැමිණි හෙදිය විසින් කියන ලදුව තමන් විසින් පොලිස් පොතේ සටහන් කල රෝගියාගේ නම සිහියට නැගුණි.

 

” ඩී ජී සුරංගි පූර්ණිකා”

 

“ඇයි සාජන් මහත්තයා මොකෝ මේ වෙව්ලන්නේ”

 

” ප්‍රශ්න අහන්න එපා.ඔය තිබ්බ දේවල් තිබ්බ විදියටම දාන්න අපි මේ දැන්ම මෙතනින් යනව”

 

” ඉක්මන් කරනව”

 

“එතකොට මේ සාක්ශි අර බොඩි එක”

 

” ඒවට මුකුත් වෙන්නේ නෑ.ඉතුරු හරිය සෝකෝ එක බලාගනියි.අපි ඉක්මනට රණසිංහ සර්ව හම්බ වෙන්න ඕන මේ දැන්ම”

 

අවසානයේ සාජන්වරයා එතැනින් නික්මුණා නොවේ පැන දිව්වා කිවහොත් වඩා නිවැරදිය.සිදු වූ දේ ගැන ක්ශනික වැටහීමක් නොවූ සෙස්සෝ වහ වහා ඔහු අනුගමනය කලේ පෑ කාලකින් පමන වනය මැදින් මහාමාර්ගයට පිළිපන්හ.

 

මේ අතර පොලිස්තානය කඩි ගුලක් සේ ඇවිස්සී ඇත.පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ස්තානාදිපති අසුනේය.ප්‍රදේශ බාර සහකාර පොලිස් අදිකාරී තුමා පොලිස් ස්තානයේ එකෙලවරටත් මෙකෙලවරටත් දැනට අඩ හෝරාවක සිට සක්මනේය.

 

පොලිස් ස්තානයෙන් හදිස්සියේ පොලි නිලදාරීන් සිව් දෙනෙක් අතුරුදන් වී ඇත.කිසිවෙකුට යනතැනක් දන්වාත් නොමැත.පොලීසියේ සිටි සෙසු නිළදාරීන් දැක ඇත්තේ මද්‍යම රාත්‍රිය පසු වී කිසි වේලාවකට පසුව ඔවුන් පොලිස් ස්තානය මිදුලේ කතාබස් කරමින් සිටිනවා පමනි.එහි විශේශත්වයක් නොවූයේ කිසිවෙක් ඒ ගැන අවදානය යොමුකර නැත.ආයුද කිසිවක් රැගෙන ගොස්ද නැත.කිසිදු වැටලීමකට නියෝගයක් ලැබී තිබුනේද නැත.රාජකාරි පිටවයාම්වලට සටහන් තබන පොතේ කිසිදු සටහනක්ද නැත.පොලිස් ජංගම මුර සංචාරක රතය දැනුවත් කිරීමක් කර නැත.නිළ නිවාසවල හා පදිංචි නිවාසවලද සොයා බැලුව මුත් නිවෙස්වලට ගොස්ද නැත.

 

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉංග්‍රීසි හා සිංහලෙන් කෙරුණු ගෝරනාඩුව නැවතත් ආරම්බ විය.

 

” මේක සෙල්ලමක් නෙමෙයි.හිටීගමන් පොලීසියෙන් හතර දෙනෙක් අතුරුදහන් .මොකෙක් හරි එකෙක් ඇවිල්ල තොපිටත් ගහල ආමරිය කැඩුවනම් ඒත් ඔච්චරයි.දන්නෑ සර් කියන්න තමයි වෙන්නේ”

 

” අනික තව ටිකකින් පත්තරවල ටීවීවල එවුන් මගෙන් අහද්දි මගුලෙ ගියා කියලද කියන්නේ.උං අහවි පොලීසියට පොලීසියේ එවුං ආරක්ශා කරගන්න බැරුව කොහොමද සාමාන්‍ය මිනිස්සු ආරක්ශා කරන්නේ කියලා දීපල්ල ඔක්කොම ඇවිත් උත්තර එතකොට ”

 

” අනික ඔය රෑ ආවා කියන පැමිණිල්ල ඇවිත් ඒ ගැන හොයන්න ගියානං යන්නඕන මොබයිල් එකකට දාපුවාහනේ.හොස්පිට්ල් එකට කෝල් කලහම මුං එහේ ගිහිනුත් නෑ.”

 

 

ඉතිරිය පසුවට..

 

 

✍️ ගගන් කුමාර ගුණරියන

 

 

About The Author

Leave a Reply