shutterstock_297003296

1. ලොව ඕනෑම බසක හරයේ ඇත්තේ, එම බසෙහි නිරතුරුවම භාවිතා වෙන වචන සීමිත සංඛ්‍යාවකි. ඒවා නිරතුරුවම භාවිතා වෙන වචන ලෙස හඳුනාගෙන ඇත්තේ, ඒවා එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ටික කරගැනීමට ඉවහල් වන නිසාය….අන්න ඒ වචන ටික හඳුනාගෙන, ඒවා ඒවායේ සිංහල තේරුම සමඟ පොතක පතක ලියාගෙන, දිනපතා උදේ පාන්දර 4 – 6 අතර අවදි වී ඒ වචන දිහා ඔහේ බලමින් සිටින්න….”මම මේ වචන ටික ඉගෙන ගන්නවා….මතක තියාගන්නවා…..අනේ අම්මේ මේක මම මතක තියාගන්න ඕනෑ…..හම්මෝ !” ගගා වික්ෂෝප වෙවී ඒවා බලන්න එපා….ඒවා අමතක උනාය කියා කවුරුත් ඔබේ හිස ගසා දමන්නේ නැත….ඒවා “ඉන් වන් ගෝ” මතක නොතිබුණාය කියා කවුරුවත් ඔබ ගෙලෙහි ගලක් බැඳ දියේ දමන්නේ නැත….ඒවා “ඉන් වන් ගෝ” මතක තිබුණාය කියා කවුරුවත් ඔබට නොබෙල් තෑග්ග දෙන්නේද නැත….ඒ නිසා හොඳ සැහැල්ලුවෙන් ඒවා දෙස බලමින් ඉන්න…..දින අටක් පමණ ගතවන විට ඔබට මා එසේ බලන්නට කියන්නේ මන්දැයි තේරෙනු ඇත….

ඉංග්‍රීසි බාසාවේ ඒ වගේ වචන 250 ක් තිබේ…..ඒවා ඔබට ගූගල් ඔස්සේ සොයාගත හැක…..

මා ඉගැන්වූ පන්තියේ සිසු සිසුවියන්ට මම ඒවා ඒවායේ සිංහල තේරුම් එක්ක දී ඇත්තෙමි….එක වචනයක් සඳහා එකකට වඩා සිංහල තේරුම් තිබෙන විට, ඒ සියලු තේරුම් ඔබට හමුවන හමුවන පරිද්දෙන් අර පොතේ ඒ වචනය ඉදිරියෙන් ලියාගන්න….ඒවාත් දිනපතා “බැලීමට” එකතු කරගන්න

ටික කාලයක් ගිය පසුව මේ වචන 250 ඔබට හුරු නම්, ඊළඟට තරමක් ගැඹුරු ඉන්ග්‍රීසි ඉගෙනීම පිණිස, ඒ බසෙහි ඊළඟ අදියරේ තිබෙන නිතර හමුවන වචන 2,500 ක් තිබේ….ඒ වචනත් අන්තර්ජාලයෙන් සොයාගෙන, ඒවාටත් අර මා ඉහත මුල් වදන් 250 ට කී දේමැ කරන්න…..ඒ 2500 ටම එකවර එය කෙරුමට ඔබ අසමත් නම් 250 කොටස් වලට කඩාගෙන ටික ටික ඉදිරියට යන්න….වසරක් පමණ යනවිට ඔබට ඒ වදන් 2,500 න් ද බොහොමයක් වදන් හිසේ පිහිටනවාට සැක නැත….

2. ඔබ ඉගෙන ගන්නට යන පර බසින් “හිතන්න පුරුදු වෙන්න”… ඕනම අලුත් බසක් ඉගෙනීමේ සුහුරු විජ්ජාව මෙය බව මතක තියාගන්න…..”කපුටාස් හිටින් එන්ජින්” වැනි බහුභූත කියවෙන්නේ අපි වෙනත් බසක් හරියට නොදැන, අපේ බසින් හිතා, ඒ බසට පරිවර්තනය කර කථා කරන්නට යන විටය…එවිට තමාගේ වචන මදිකම නිසා, ඔබේ මනසේ අවිඥාණය විසින් තටමන ඔබේ පිහිටට එවන්නේ මව් බසේ වචනයකි…..

ඔබට අලුත් බසක් ඉගෙනීමට අවශ්‍ය නම් ඒ බසින් හිත හිතා ඉන්න….

නිදසුනක් ලෙස – ඔබ කඩයට යනවා නම් නිවසේ සිට කඩය දක්වා ඉන්ග්‍රීසියෙන් හිතමින් යන්න….කඩ ගමන සම්පූර්ණ වන තෙක්ම, යළි නිවසට පැමිණ ඒ ගමන අවසන් කරන තුරුම ඉන්ග්‍රීසියෙන් හිතන්න…

ඔබ හිතාගෙන හිටියාට වඩා ඉන්ග්‍රීසි වදන් ප්‍රමාණයක් ඔබට පිළිවන් බව ඒ ගමනේදී ඔබට වැටහෙනු ඇත….එහෙත් දිගටම හිත හිතා යන්නට තරම් ඔබ දන්නා වදන් ප්‍රමාණවත් නොමැති බවද ඒ සමඟම වැටහෙනු ඇත….ඔබේ ගමනේ අතිශය වැදගත් අවස්ථා වලදී ඔබට යම් යම් දේ හඳුන්වන්න, ඔබ කරනා දේ හඳුන්වන්න යොදාගන්න වදන් නොතිබුණු තැන් මතක තියාගන්න….තියාගෙන ගෙදර ඇවිත්, ඒ ඒ දේවල් වලට සහ ක්‍රියා වලට කියන වචන කොහොම හරි සොයාගන්න…..උපකාරක – සින්හලෙන් වචනයක් “මධුර ඔන්ලයින් ඩික්ෂනරියේ” ගැසූ විට එහි ඉන්ග්‍රීසි වදන බොහෝ අවස්ථාවල මතුවෙයි….මේ විදියට ගමන් දහයක් දොළහක් යනවිට ඔබට සෑහෙන වචන ප්‍රමාණයක් ඔබේ වාග්කෝෂයට හෙවත් “වොකැබියුලරි” එකට එකතු කරගන්නට ලැබෙයි….ඒවා සහ ඒ ගමන නිතර නිතර මෙණෙහි කරන්න….ඊළඟ වතාවේ යනකොට, කළින් ගියාට වඩා වචන පහ හයක් හෝ වැඩියෙන් හිතන්න හැකි තරමට දියුණු වෙන්න….මාස දෙකක් පමණ මෙසේ කරනවිට ඔබට මුළු ගමනම ඉන්ග්‍රීසියෙන් හිත හිතා කරන්නට හැකි බව පෙනෙනු ඇත….

3. රටවල් ක්‍රියාත්මක වෙන්නේ කොහොමදැයි කියන නීතිය කුමක්ද?…. ඒ නීතියට අපි කියන්නේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” කියලාය…..ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වල රටේ නම, නායකයා කවුද, පාලකයෝ කවුද, ඒ අයගේ බලතල මොනවාද, ජනතාවගේ අයිතිවාසිකම් සහ බලතල මොනවාද, ඒවා ක්‍රියාත්මක කරන ආයතන මොනවාද, ආදී වශයෙන් තිබේ…..රට ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒ නීති නිඝණ්ඩුවට අනුවය….

බසකද එබඳු නීති තිබේ….අපි ඒවාට කියන්නෙ “ව්‍යාකරණ” කියාය….දැන් ඔබ අන්‍ය බසක් ඉගෙනීමේ පළමු පියවර දෙක ඔස්සේ බොහෝ දුර ගිහින් ඇති නිසා ඔබ සතුව වචන ගොඩක් තිබේ….දැන් ඔබ ඒ බසෙහි ව්‍යාකරණ අඩංගු පොතක් සොයාගෙන, ඔබ සතුව තිබෙන ඒ වදන් යෙදිය යුත්තේ කවර නීති ප්‍රකාරවදැයි උගන්න….”ග්‍රැමර්” ඉගෙන ගන්නවා කියන්නේ ඒකටය…..එතකොට ඔබ සතු වචන ගොඩ ක්‍රමයෙන් ලස්සන පිළිවෙලකට ඔබට සකස් වී ඒවි…..ඒ වගේම ඒ වචන මොනවාද, ඒවායේ ක්‍රියාපද, නාම පද, විශේෂණ පද, යෙදුම් පද, සම්බන්ධීකාරක, උක්ත ආඛ්‍යාත, පරායත්ත, ආදී වශයෙන් තේරුම් බේරුම් යාවි….ඔක්කොටොම ඉස්සෙල්ලා ග්‍රැමර් විතරක් ඉගෙන ගෙන හිටියොත් වෙන්නේ අවුලකි….ව්‍යවස්ථාව හදන්නත් රටක් සොයාගෙන, රාජ්‍යය පිහිටුවා තියෙන්න ඕනෑය….බසක් ඉගෙනීමේදීත් ව්‍යාකරණ ධාරණය වෙන්නට ඔලුවේ වදන තියෙන්න ඕනෑය…..

4. දැන් ඔබ පොත් කිහිපයක් ගෙන අර ඔලුවේ තිබෙන සියළු දෑ යොදා පුළුවන් තරම් වාක්‍ය ගොඩ නගන්න….වාක්‍ය ලියන්න….දෙබස් ලියන්න….ඕන නම් කෙටි කථාවක් උනත්, නාට්‍ය පිටපතක් උනත් දෙබස් වලින් ලියන්න….

5. පඹයෙක් හෝ බෝනික්කෙක් තියාගෙන ඌ සමඟ ඒ බසින් දිනපතා රාත්‍රියට කථා කරන්න…ඔබ සාදාගත් දෙබස් වල චරිත ඔබටත්, බෝනික්කාටත් දී ඔබේ පැත්තත්, බෝනික්කාගේ පැත්තත් කියව කියවා ඉන්න……(එවිට බෝනික්කා ඔබට කථා කළොත් පමණක් ආටානාටිය පිරිත හෝ සාන්ත මිකායෙල් යාඥාව කියවන්න….)….පඹයා වෙනුවට ෆොටෝ එකක් උනත් තැබිය හැකි අතර, ඒ සඳහා භාවිතයට ගන්නට සුදුසු ෆොටෝ කීපයක්ම තිබේ….

6. ඔබ ඉගෙන ගන්නට යන නව බසින් තැනූ කාටූන් චිත්‍රපටි හෝ දෙබස් සහිත කොමික් පොත් බලන්න….ඒ පොත්වල සහ කාටූන් වල ඉන්නා චරිත ඒ ඒ වදන් යොදාගෙන කථා කරන්නේ මොන මොන අවස්ථා වලදීදැයි මතකයේ තියාගෙන සිට, ඔබේ ජීවිතේ ඊට සමාන අවස්ථා පැමිණි විට ඒ වදන් යොදන්න…..ඒ මොහොතේ ඒ බසින් ඒ අයුරින්ම හිතන්න…

7. දැන් චිත්‍රපටි සහ ටීවී සීරිස් ඒ අදාළ බසේ උපසිරැසි පමණක් සමඟ බලන්න….එතකොට ඔබට උච්ඡාරණය සහ අක්ෂර අනුපිළිවෙල තව තවත් හුරු වෙනු ඇත…

8. ඔබ සේමැ ඒ බස හදාරන පිරිස් සොයාගෙන ඔබලා අතර “කවයක්” හදාගන්න…එවිට ඔබට ඒ කවය තුළ දිගින් දිගටම ඒ බසින් කථා කළ හැක….බසක් උගෙනීමේ ප්‍රධානම කාර්ය වන්නේ ඒ බස කොහොම හරි දිගටම කථා කිරීමැයි…ඒ හැර වෙනත් ක්‍රමයක් නැත්තේය….ඒ නිසා එය කළ යුතුමය…..

9. දැන් ඔබ ඒ බසෙහි ගැඹුරු සාහිත්‍යය පරිශීලනය කරන්නට සූදානම්ය….දැන් ක්‍රමයෙන් විශාල පොත් කියවීම අරඹන්න….පිටු දෙසීය, තුන්සීය, හයසීය, දහස ආදී වශයෙන් ඔබට ටික ටික ගැඹුරට යා හැකි අතර, ඒ ඒ ගත්කරුවන්, කවියන් අනුව ඔබට ලැබෙන ඒ බසෙහි අත්දැකීමද වෙනස් වනු ඇත….අලුතින් වදන් හමුවූ විට පොතේ ඒ හරියෙන්ම කාක පාදයක් දමා හෝ, හයිලයිටර් පෑනක් යොදාගෙන සටහන් කරගෙන, අරුතත් ලියාගන්න….

10. අවසන් අදියරේදී ටික ටික අලුතින් හමුවන වදන් වලට සින්හල වචනයම සෙවීම අතහැර, ඒ වචනය යොදා තුබුනේ කවර තැනකදැයි බලා එහි තේරුම කුමක් වන්නට ඇතිදැයි ඔබම සිතාගන්න….මේ වනාහි ඒ අලුත් බසට ඔබේ කුළ වැද්දුම බව දත යුතුය….

11. බසක් ඉගෙනීම කිසිදාක “නැවතිය හැකි ” තැනක් නැත….එය යාවජීව කෙරුමක් බව මතක තබාගන්න…..දිගින් දිගටම වදන් සොයමින්, ඒ වදන් බිහිවූ අයුරු සොයමින්, සමාන පද සොයමින් ඉදිරියට යන්න…. අලුත් බසක් ඉගෙනීම අමාරු වැඩක් නොවේ….කජු කනවා වගේ ඉතාම ලෙහෙසි වැඩකි….ඒත් එය දීර්ඝ කාලයක් තිස්සේ මනා කැපවීමෙන් සහ උනන්දුවෙන් යුතුව කළ යුතුය…. දැන් ඔබට වතුර සේ කථා කළ හැකි වෙනු ඇත….නමුත් හෙට හෙවත් පෙබරවාරි 21 වැනිදා යනු ලෝක මව්බස් දිනයයි… ඔබේ මව්බසට ආදරය කර එය නිරතුරුව පෝෂණය කරන්න වග බලාගන්න….වෙසෙසින්ම ලොව පැරණිම බසක් වන සින්හලය රකින්න….එහෙත් ඔබ උගත් අලුත් බසටත් ආදරය කරන්න, ගරු කරන්න….එයටත්, එය ලොවට දායාද කළ එහි අදියුරු, ගත්කරු, පුවසුරු සැමටත් ගරු කරන්න…..

දමිත් කේතකගේ මුහුණු පොතේ සටහනක් උපුටා පල කරන ලදී

About The Author

Leave a Reply