අපේ රටේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ වතුර පිපාසය දැනුණු ගමන් පැණිබීම බෝතලයක් කටේ හලාගන්නයි. ඒත් පැණි බීමක් බීලා මඳ වේලාවක් ගතවෙනකොට තිබුණු පිපාසයට වඩා පිපාසයක් දැනෙන්න ගන්නවා. මේ අත්දැකීම නිසැකවම ඔබත් ලබා ඇති. ඒත් සමහරු පිපාසෙට බොන්න කැමැති තැඹිලි ගෙඩියක් හෝ කුරුම්බා ගෙඩියක්. වර්තමාන වෙළඳපොළේ පොල් මිල අධික නිසා කුරුම්බා කැපීම සිදුවන්නේ ඉතාම කලාතුරකින්. ඒත් සෑම නගරයකින්ම වාගේ තැඹිලි ගෙඩියක් මිලදී ගන්න අපට පුළුවන්.
පැණි බීමවලට වඩා ඉතාම යහපත් පානයක් තැඹිලි වතුර. ඒ වගේම තමයි තාමත් ගම්වල ජීවත්වන අයට කුරුම්බා ගෙඩියක් ඉතාම පහසුවෙන් සොයාගන්න පුළුවනි. කුරුම්බා වතුර අපේ සිරුරේ හටගන්නා ලෙඩ රෝග කිහිපයකටම ගුණදෙන පානයක් බව ඔබ දන්නවා නම් අඩුම ගානේ සතියකට එක කුරුම්බා ගෙඩියක්වත් බොන්න අමතක කරන එකක් නෑ.
විෂම පරිසර ක්‍රියා, අධික ලෙස කෘමිනාශක හා වල්නාශක යොදා සිදු කරන ගොවිතැන අද අප පානය කරන ජලයේ දියවී ඇති විස නිරන්තරයෙන්ම අපේ සිරුර ලෙඩ කරන බව තවදුරටත් රහසක් නෙමෙයි. අපේ රටේ ශුෂ්ක පළාත්වල පානය කිරීමට ඇති ජලයේ ඇති කැල්සියම් බහුලතාවය අධිකවීම වැනි හේතු මෙන්ම අධිකව වෙහෙසීම, අධික නිදි වැරීම වැනි හේතු නිසා වැළැඳෙන රෝගයක් වන්නේ මුත්‍රාශයේ ගල් ඇතිවීමයි. මුත්‍රා ගල් ඇතිවීම සඳහා බලපාන තවත් ප්‍රබල සාධකයක් වන්නේ අපේ සමහර නුසුදුසු ආහාර පරිභෝජන රටාවන්.
සමහරු තක්කාලි කන්න වැඩි ප්‍රියතාවයක් දක්වති. තක්කාලි සලාද, තක්කාලි හොද්ද, තක්කාලි බැදුම ආදී වශයෙන් අධික ලෙස තක්කාලි දිනපතා ආහාරයට එකතුවීමෙන් මූත්‍රාශයේ ගල් ඇතිවෙන්න පුළුවනි. ලොව විවිධ රටවල ආහාර සම්බන්ධයෙන් සිදුකරන නවතම පර්යේෂණවලට අනුව තක්කාලි වගේම අන්නාසි, ගෝවා, නිවිති වැනි පලතුරු හා එළවළු බහුලව ආහාරයට ගැනීම නිසාත්, මුත්‍රාශයේ ගල් ඇතිවීම සුලබ වෙන්න පුළුවන්. අප ගන්නා ආහාරපාන සිරුරට ජීර්ණය වීමෙන් පසු මළ හෝ මුත්‍රා මඟින් කෑමබීමවල ඇති අනවශ්‍ය මූලද්‍රව්‍ය ඉවත් කෙරෙයි.
ඉහතින් සඳහන් කළ එළවළුවල බහුලව අඩංගුවන ඔක්සැලික් අම්ලය හා කැල්සියම් අයන බොහෝවිට මුත්‍රා සමඟ ශරීරයෙන් පිටවී යයි. එහෙත් මෙම ඔක්සැලික් අම්ලය හා කැල්සියම් අයන බහුලව සිරුරට ලැබීම නිසා අපේ බහිශ්රාවීය ඉන්ද්‍රියන්වල සිදුවන අර්බුද නිසා “කැල්සියම් ඔක්සලේට්” නම් කුඩා කැටිති මුත්‍රා මාර්ගයෙන් බැහැර නොවී වකුගඩුවල සියුම් කුහරවල රැඳී පවතින්න පුළුවන්. දීර්ඝ කාලයක් මුලින් කී ආහාර බහුලව කෑමට ගතහොත් මෙලෙස වකුගඩුවල සියුම් නහරවල බැඳෙන ඉතාම කුඩා කැල්සියම් ඔක්සලේට් කැටිති ටිකෙන් ටික විශාල වෙන්න පුළුවන්. මේ නිසා අවශ්‍ය පමණින් මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවයට බාධා පැමිණෙන අතර එලෙස ඇතිවන කැටිති මුත්‍රා සමඟ ඉවත් නොවීම තිබීම නිසා “මුත්‍රාශයේ ඇතිවන ගල්” ඉවත්කිරීමට විශේෂ ඖෂධ ප්‍රතිකාර ගැනීමට හෝ ශල්‍යකර්මවලට මුහුණදීමට අපට සිදුවේ.
සමහර අවස්ථාවල මිලිමීටර්වල සිට සෙන්ටිමීටර් දක්වා මුත්‍රා ගල් විශාලවීම සිදුවිය හැකි අතර ඒවා ඉවත් කිරීමේ ශල්‍යකර්මවලට විශාල මුදලක් වැයවන බවද නොරහසකි. මුත්‍රාශයේ ගල් ඇතිවීම නිසා දැනෙන අපහසුතාවය මෙන්ම වේදනාවන් විඳදරා ගැනීම පහසු නොවේ. මෙවැනි රෝග තත්ත්වයන් ඉවසා සිටීමට බොහෝ දුරට කෙළවර වන්නේ මරණයෙනි. මේ නිසාම මුත්‍රාශයේ ගල් ඉවත් කිරීම වෙනුවට මුත්‍රාශයේ ගල් දිය කරන ක්‍රම පිළිබඳව දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන් තවත් පර්යේෂණ සිදුවෙමින් පවතී.
ස්වීඩන ජාතික විද්‍යාඥයෙකු වන “සැන්ඩර් මාර්ක්ස්” විසින් වසර ගණනාවක් පුරා පවත්වන ලද පර්යේෂණවලින් හෙළිකරගත් තොරතුරුවලට අනුව,“කුරුම්බා වතුර සිරුරේ ගෙවීයන පටක කොටස් ප්‍රකෘතිමත් කිරීමටත්, යෞවන බව ආරක්ෂාකර ගැනීමටත් අවශ්‍ය රසායනිකයන්ගෙන් සපිරි කදිම පෝෂණීය පානයකි”
පිලිපීනයද මෙවැනි අයුරින් කුරුම්බා වතුර පිළිබඳ පර්යේෂණ රැසක් දියත් කළ රටකි. ඊට හේතුව වන්නේ පිලිපීනය යනු දූපත්වාසින් බහුලව ජීවත්වන රටක් වීමයි. ඒ වගේම එරට ජනයා ලවණ අධික ආහාර භාවිතය බහුලව සිදුකිරීමයි. ලවණ අධික ආහාර මුත්‍රා ගල් ඇතිවීමට සමීපතම හේතුවකි.
පිලිපීනයේ “භූ සම්පත් සහ පතල් සම්බන්ධ රාජ්‍ය ආයතනය” මඟින් සිදුකරන ලද පර්යේෂණවලට අනුව පැය 60 – 70 පමණ කාලයක් පොල් වතුරේ බහා තිබෙන ඛනිජ ස්පටික කුඩා කැබලිවලට කැඩී හෝ සම්පූර්ණයෙන්ම දියවී යන බව හෙළිදරව් විය. කුරුම්බා වතුර ඇසුරෙන් මෙවැනිම තවත් ඉතා සාර්ථක පරීක්ෂණයක් සිදුකරන්නට පිලිපීන ජාතික වෛද්‍ය විශේෂඥයෙකු වන එව්පෙමුයෝ මැකලල් ග්‍රේ සමත්විය. කොරියාවේ සාම්ප්‍රදායික ධීවරයන් මුහුදු බෙල්ලන්ගේ කටු තුළ බැඳී පවතින ලවණ ස්පටික දියකර හැරීමට භාවිතා කරන්නේ ද පොල් වතුරයි.
ඉහත ක්රියාදාමයන්ගේ අති සාර්ථක ප්‍රතිඵල අනුව යමින් කුරුම්බා වතුර බීමට දීම වෙනුවට ගසින් කඩාගත් නැවුම් ලපටි කුරුම්බා වතුර රෝගියාගේ වකුගඩුවලටත්, මුත්‍රාශයටත් එන්නත් කිරීමට කටයුතු කළේය. දීර්ඝ පර්යේෂණයක සැනසිලිදායක ප්‍රතිඵලය වූයේ මෙම ප්‍රතිඵල 90% – 98% දක්වා සාර්ථක වීමයි. විශේෂඥ වෛද්‍ය මැකලල් ග්‍රේට අනුව නැවුම් ළපටි කුරුම්බා වතුරෙහි අඩංගු මුත්‍රා කාරක ගුණාංග නිසා වකුගඩුවලින් මුත්‍රා පෙරීම මෙන්ම මුත්‍රාශයෙන් මුත්‍රා වහනය ද පහසුවන බව ස්ථීරයි.
කුරුම්බා වතුර පානය කිරීමෙන් ලැබෙන මේ යහපත නිසාම වකුගඩුවල හා මුත්‍රා මාර්ගයේ මුත්‍රා ගල් වර්ධනය වීමට බලපාන සාධකවන ඛනිජ ලවණ වකුගඩු තුළ හෝ මුත්‍රාශය තුළ හෝ නොරැඳෙයි.
මේ තොරතුරු අනුව මෙහි සඳහන් වූ පලතුරු හෝ එළවළු බහුලව භාවිතා නොකිරීමෙන් අඩුම තරමින් සතියකට නැවුම් ළපටි කුරුම්බා ගෙඩි දෙක තුනක් පානය කිරීමත් පිළිබඳව සමුපූර්ණ වගකීම ඔබටම පවරා දෙමි.
කීර්ති එස්. කුමාර