0-15

මෙරටට පැමිණෙන සෑම විදේශ සංචාරකයෙකුට ම සංචාරය නිමවා ආපසු යන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපළේදී ලබා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර යෝජනා කර තිබේ. අමාත්‍යවරයා විසින් මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, තේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පසුගියදා (මැයි 13) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී ය.

ඒ අනුව, Ceylon Tea නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරටට පැමිණෙන සෑම සංචාරකයෙකුට ම සංචාරය නිමවා ආපසු ගුවන් තොටුපොළෙන් නික්ම යන අවස්ථාවේදී ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් ලබා දීමට නියමිත ය.

රජය මෙන් ම, පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර සාකච්ඡාවේදී ඊට පුද්ගලික තේ කර්මාන්තකරුවන් ද සිය එකඟත්වය පළ කර ඇත.

මේ සඳහා වැය වන මුදල තේ මණ්ඩලය හා පෞද්ගලික අංශය මගින් දැරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් විශාල පිරිසක් තේ කර්මාන්ත ශාලා මෙන් ම තේ වතු නැරඹීම සඳහා පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ තේ පානය සඳහා ද විශාල උනන්දුවක් දක්වති.

මේ නිසා සංචාරකයින් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, තේ වැවිලි කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා තේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.

About The Author

Leave a Reply